Friday, December 31, 2010

නිව්ටන්ට වැරදීමක් වී ඇත.
සමාන බර වස්තු වුව
ඇද වැටෙන වේගය
වෙනස්ය!

Monday, December 20, 2010

අතීත කතා වලට
පිළිතුරු නැත.
ප්‍රශ්නාර්ථ සහ විශ්මයාර්ථ මිස!
සඳ එයි.
ඇවිත් යයි.
ඉන්පසුව කළුවරයි.
හරියටම
ඔබ වගෙයි!.

Friday, December 17, 2010

කුඩා ඉදිකටුව
සියලු ඇඳුම් මසාදෙයි
තමා නිරුවතින් බව
නොදැනම!

Thursday, December 16, 2010

කුඩා වුව
හිඩැස
විශාලය
අඩුව!

Wednesday, December 15, 2010

මැළවුණ කඳුවල
හෙලුවැලි ගහ කොළ
තුරුලට ගන්නට
කළුවර එනකොට

තනිවුණ කිරලෙක්
වැලපෙන දුක් හඬ
යළි යළි නංවයි
කඳුලැලි නෙතගට.

Sunday, December 12, 2010

මැරුණු උන් වීරයෝය
ඉපිද නැති උන් සූරයෝය
ඉන්න උන් මාරයෝය!

Friday, December 10, 2010

..මධු සාද..
අශ්වයින් සේ අරඹා
බූරුවන් සේ හැසිරී
ඌරන්සේ නිමා කරයි!

Tuesday, December 07, 2010

බඳුන් දනී
උවමනා තරම් පිරෙන්නට.
ජලය නොදනී
අපතේ නොයා රැකෙන්නට!

Monday, December 06, 2010

...සිතුවමක් අඳිමි මම...
කොළපාට ගොයම් ගස්
පසුබිමට
සුදුපාට කොක් රෑන.
දම්පාට කඳුයාය
ඉහළින්ම
කහපාට හඳ පළුව.
කිරිපාට දොළ පාරෙ
ඝනසැරට
රතුපාට මල් යාය.
හිනැහෙන්න අණ ලැබූ
මගෙ මුනෙ
අඳුරු පැහැ හිස් දෑස.

Sunday, December 05, 2010

ලාවුලු ගහේ පොරකන
වවුලන් අදත් ඇවිදින්
ලාවට සුවඳ අරගෙන
මී මල් හිනාවෙයි දැන්
උර මත හිස හොවාගෙන
පීදෙන සඳට බණිමින්
එනවද ඉගිලෙන්න මා හා
නිදිබර කන්ද ඉහළින්!

Saturday, December 04, 2010

මුදුන් මුල ගැලෙව්වත්
සියලු දේ ඉවර නැත
ඉතුරුවූ කේශ මුල්
යලිත් පන දෙවනු ඇත!

Thursday, December 02, 2010

හස්තියෙකුගේ දෙපා
පැළඳ ගත් ගෙම්බෙකුට
හැකිවේය රවටන්න
ටික කලක් ලෝකයම.

අඩි කෝදුවක් රැගෙන
එරී ඇති තරම මැන
නිගමනය කල හැකිය
හස්තියෙක් නොවන බව.

Sunday, November 21, 2010

වයින් වැනි ප්‍රේමය
පරණවෙන තරමටම
පැසෙන !

Monday, November 15, 2010

බැරෑරුම්ව සිතුවාට
ජීවිතයෙ මහ දෙයක් නැත.
සෙවනැළි ටිකක් හා
ආළෝකය ටිකකි!

Sunday, November 14, 2010

ඔරු පාරු හා විසල් නැව් යති
ලකුණු නොසිටිති.
මඳ සුළං සැඩ සුළං ඉගිළෙති
කැළැල් නොසිටිති.
වලාකුළු හිරු සඳුද බැසයති
මතක නොසිටිති.
බොහෝ කලකින් නුදුටු දෑසක්
සිතේ ඇමිනෙති!

Saturday, November 13, 2010

මං එක දිගටම
ලොකුවුනා..ලොකුවුනා .ලොකුවුනා.
අනේ එක දවසක
හිතුවෙවත් නැති මොහොතක
මං ආයෙමත්
පොඩිවුනා!

වියලී ගිය පිණි බිඳුව
කොහි ගියෙද?
මෙතනත් නැත
අතනත් නැත!

Thursday, November 11, 2010

එම්බාම් කරුවකුගෙන්
ඉගෙන ගත යුතුව ඇත
මැරුණත් හිනාවීගෙන
සතුටින් ඉන්න අන්දම...!

Tuesday, November 09, 2010

....නව සොයා ගැනීමක්...


විසල් රික්තයකි
මා තුල.
අධික පීඩනයෙන්
පිරුණු!

දැනගනිල්ලා
පවිත්‍ර කරන්නෙනි.....!
නුඹලාය ඉක්මනින්
අපවිත්‍රවිය හැකි.

Sunday, November 07, 2010

ගුගුරයි අහස.
තණපතක් යට
මැඩියෙක්
භාවනාවක !

අකීකරු සුළඟ
අවුස්සා මතක
ඇහැරවා සිහින
පැනගියා දුරක....!

Saturday, November 06, 2010

..
හිම පියළි
තට්ටු කරයි කව්ළුවට.
ඇතුලත
ගිනිමැලයකි උණුහුම්!

Thursday, November 04, 2010

මහ වැසි
ගසාගෙන යයි
ශේෂ නොකරම.

මඳ වැසි
කැළලි සාදයි
ධූළි තිර මත!
මඩ පාට වතුරෙ
කිරි පාට හඳක් !

Wednesday, October 27, 2010

ආදරේ නිවුන් සොහොයුරිය
රාගය.....
අන්ධකාරයේ දුටුවිට
හඳුනාගැන්ම අමාරුය.
නිතරම හදවතේ
පහන් දල්වා තබනු!

පමාවී පැළවුන
රෝස අත්තක
මලක් පිපෙන්නට
කලක් නැතිවිය.

Tuesday, October 26, 2010

....වෙන්ව යන ප්‍රියයාට ....
සෙමෙන් අඩි තබනු මැන
නොතැළෙන සේ
විසුළ මල් පෙති!

සිහිනත් අරන්
මං එනවිට
ඔබට
ඇහැරිලා...!

Sunday, October 24, 2010

ශූන්‍යත්වයට
මඳක් එපිටින්
පරිපූර්ණත්වය ඇති හෙයින්
නිතර ඒ දෙක
පටලැවෙයි!
අලුතින් සොයාගනු ලැබූ
සියලු දේ
පරණ දේවල්මය.
කිසිවෙකු ඇස නොගැටුනු
කිසිවෙකුත් ගණන් නොගත්ත !

Saturday, October 23, 2010

මසාදෙන්නට තිබුණි
ඔබෙ ඉරුණු හදවත
සන්නාලියක්ව සිටියානම්...
පිරිසිදු කල හැකිව තිබුණි
ඔබ කිලිටි හදවත
සෝදන්නියක්ව සිටියානම්...
පුරුද්දන්නට තිබුණි
කැඩී බිඳී ගිය හදවත
වෙදැදුරියක්ව සිටියානම්...
කියවා දෙන්ට තිබුණි
අකුරු මැකුණු හදවත
ආදරය දැන සිටියානම්...!

Friday, October 22, 2010

පුදුමයි....,
කාලය හරියටම දන්නා හැටි
කුමන කලට
කුමන ඇඳුම
සැපයිය යුතුද යනබව...!

Tuesday, October 12, 2010

වැර වෑයමින්
සුළං පුම්බති
කුඩා සිදුරක්
ඇතැයි නොදැනම
ජීවිතේ!

අඳුරු පැහැති
විසල් මසුන්
ලෙහෙසියෙන් හසු නොවෙති.
රිදී පැහැති
කුඩා මසුන්
පහසුවෙන් ගොදුරුවෙති.
බඩගිනි පිළිහුඩුවන්ට!

Wednesday, October 06, 2010

....මැකීයාම..

මට ප්‍රථම පැමිණිවුන්
තබා ඇති අඩි මතම
මම මගේ පා ලකුණු පිහිටුවමි.
උදෑසන ඔබ පැමිණ
ඒ මතින් අළුත් රූ
ලකුණු කරනා බවද
දැන හිඳිමි!

Tuesday, October 05, 2010

තෙල් සිඳී
තිරය දැවුණවිට
පහන නිමෙයි.
නමුත්
නොදැවෙයි!

Monday, October 04, 2010

ගිලන් ඇඳ..

සුදු බිත්ති
මෘදු හිරු රැස්
නිහඬ පාළුව
අලස සුළං....

මැනිය හැක
කිරිය හැක
දැකිය හැක
අවුල් හැරගත හැක.

පසු කල දේ
පසු කරන දේ
පසු විය යුතු දේ
සියල්ල අවර්ණය.

නිහඩ බව ඝෝෂාවකි
නිසල බව චලනයකි
සැබෑ දේ මායාවකි
පිරුණු දේ හිස් බවකි!

Sunday, October 03, 2010

හිසරදයද හොඳයි
මාරු කළහැකි
කොට්ට ඇත්නම්!

Sunday, September 26, 2010

ජීවත්වෙමින්ම
මියගිය හැක.
ලියන කියවනවිට
කන බොන නිදනවිට
සිනාසෙනවිට හඬනවිට
ඇවැසි කුඩා නිමේශයක් පමණය .
මා මියගිය ලෙසම...,
ජීවත්වෙමින්!
ගල්කුලක්....
ඔසවන්න බර වැඩි
වටෙන් යනු දුර වැඩි
උඩින් යනු උස වැඩි
හද මත!
මියගිය අර්ධයය
හොඳම අර්ධය!

Saturday, September 25, 2010

කුඩා අතක්...
අතරමග අත හැරුණු
දමා එන්නට සිදුවුණු
දැන් ලොකු ඇති.
සිනිඳු නැතුව ඇති!

Friday, September 24, 2010

ඔබ හෙට
එනු ඇත.
හෙට යළි
නොඑනු ඇත!

Thursday, September 23, 2010

සැඩ සුළඟකට
නිවුන ගින්නක
අළු අතර රැඳි
ගිනි පුපුරු ඇත
මුදු සුළඟකට
වහා ඇවිලෙන...!

Wednesday, September 22, 2010

....ලෙනින්ටත් වැරදුණි...
මිනිසා දුටුවාට
මිනිසා තුළ සිටින
සත්වයා දුටුවෙ නැත.

සඳ
ඇවිත්
ගිහින්.
දැන් ඉතින්
දිගටම
කළුවර...!

Tuesday, September 21, 2010

කිසිදින නොතිබුණි
හැන්ද මා අත.
හැමදාම තිබුණේ
පිඟාන පමණමය!

Sunday, September 19, 2010

සොහොන් පාලකය..,
අමතක නොකර
පහන් දල්වන්න
මළවුන්ට මග නොවරදින ලෙස!

මෙදා පාරත්
නොගැලවෙන ලෙස
මඩේ හිටවමි
ඉතුරු ඉනි ටික..!

Saturday, September 18, 2010

ඇට මැස්සෝ
මං එනකල්
ඉගිල්ලෙන්න
බොට තහනම්.

බොවාරි මැඩම්
කවුරු නාවත්
මං එනවා
නුඹ බලන්න.

කැලැන්ඩරේ
දුවල ගිහින්
සොඳුරු දවස
අරන් එන්න!

Wednesday, September 15, 2010

මගේ
කණකොක් ප්‍රේමය
ඉගිලෙන්න
තහනම් කල !

Tuesday, September 14, 2010

ඔබ මගේ සිත
කැබලි කල පසු
හැම කැබැල්ලෙම
ඔබේ රුව ඇත.

පෙරට වැඩියෙන්
දහස් ගුණයක්
මගේ සිත තුල
ඔබ රැඳී ඇත!

තරණය කරයි
ගවයා
චණ්ඩ ගංගාව.
එගොඩට යයි
ගොණු පිට
ගව පල්ලාද!

සත්‍යය බොහෝවිට
අන්තිමට පැමිණෙයි.
සෙමෙන් අඩි තබා
සොරෙකු මෙන්!

Monday, September 13, 2010

සඳ....,
කොස් ගස උඩ
අඩක් නිරුවත්ව
හඬමින්.

වවුලන්....,
කොස් අතු අග
සඳ නිදියනතුරු
තරහින්.

Sunday, September 12, 2010

ඉතා උස මිනිසුන් මැද
ඉතා මිටිවී සිටීමේදී
දෙපැත්තක් ඇත.
කකුල් වලට පෑගිය හැක
(ප්‍රවේශම් වුවහොත්)
කකුල් අතරින් රිංගිය හැක.

Saturday, September 11, 2010

කවුඩන් ගාල් වෙති
කැදැලිවල.
රොස් වෙන බතක සුවඳක්.
බඩගිනි පොඩි උන්!

අත්...!
මිට මොලවාගෙන
උපදී.
අල්ලාගෙන
නැගිටියි.
වෙලාගෙන
සැරිසරයි.
දිග හැරගෙන
යන්ට යයි!

Friday, September 10, 2010

...එකම ලුණු....
කන විට
රස
බොන විට
විස!

Thursday, September 09, 2010

වැලි කැටය
හද තුල
ඉවසමි.
මුතු ඇටයක්
වෙන බැවින්..!

Wednesday, September 08, 2010

අඳුරේ
පහනක් අතින් ගත්
අන්ධයෙක්
ගෙදර යයි.

Tuesday, September 07, 2010

බිය වන්න
ඔබ ඔසවා තබන අය ගැන
නොසිතන තරම් ඉහලට.
පොලවේ ගසන වේගය
නොසිතන තරම්
දරුණු විය හැක....!

පිටව ගියපසු
සියලු බැතිමත්හු
සැනහී ගිය සිතැතිව...
දෙවියන් වහන්ස!
හෙමිහිට වැතිරෙන්න
අල්තාරය මත
ඔබේ තුවාළවල
සැරව පිහිදන්න!

Monday, September 06, 2010

අපි සිහින දකින්නෝ වෙමු.
මේ අහන්න !
සිහින බිඳෙයි.
සිහින එළිවෙයි.
සිහින විකිනෙයි.
එහෙත් ...,
ඒ සිහින හැරුනුකොට
තවත් සිහින ඇත.
සිහින නැත්නම්
අපත් නැත!

ගැහැණුනි...,
සිරුරට ගැසූ ඇන
ගැලවිය හැක
සුවකළ හැක 

හදවතේ ඇනුණු ඇන
ගැලවිය හැකි
වෙදැදුරෙක් නැත.

Sunday, September 05, 2010

කළුවර
කඳුවල
තැන තැන
පත්තුවේ
පවුල්..!

මීදුම...
උගුලකට හසුව
රබර් වදුලේ,
කෙසෙල් කොළ ඉරෙන සුළඟටද
කැටුව යන්නට නොහැකිව.

වලාකුළු..
කඳු මත වැතිර
හිරු එළියේ,
කුරිරු රැස් දහරින්ද
සැඟව ගත නොහැකිව.

මගේ සිත...
කඳුළු ඇස් ඇතිව
ඉතා ගැඹුරු,
ප්‍රපාතයකට ඇද වැටී
ගොඩට එනු නොහැකිව.

Saturday, September 04, 2010

දර මිටියක් හිසින් ගත්
කුඩා කෙල්ල...
ගවුමේ ඉරුණු තැනට
ලොකු කටුවක්ද
අවුල් වූ වරල පුරා
මල්ද ගසාගත්...!

Thursday, September 02, 2010

ගබඩාවේ
වෙස් මුහුණු හිඟ බැවින්
විකටයාගේ මුහුණ පැළඳගෙන
ඉලව් ගෙවලටද යාමට සිදුවේ!

ඇගෙ සිනිඳු වරලස
මගේ රළු මුහුණ මත
මල් සුවඳ වගුරවයි
මට මා මතක නැතිකර..!

පුදසුන මත
සියලු මල් අතරින්
එක් කුඩා සුදු මලක්
සුදීප්තව
පරව යන බව දැන දැන
පරව යන්නට නොබියව
නිවුන හෙයින්......,
නොනිවෙන ලොව.

Wednesday, September 01, 2010

ඔබේ ලොකු උරහිස
ඉඩ ඇති නේද
අප දෙදෙනාටම
වැළපෙන්න?
පෘතග්ජන ගැහැණියට
පළමු ගල
පෘතග්ජන පිරිමියෙකුගෙන්!

Tuesday, August 31, 2010

අපි වෙන්වෙන බව
කල්තියා දැනුනිනම්......
බස් එකේ දොඩ දොඩා යන'තර
අතින් අල්ලන්න තිබුනා.
'ස්වර්ණ කුණ්ඩල' බලන අතරෙදි
උරෙහි හිසලන්න තිබුනා.
මල්පාරේ තනිවෙච්චි මොහොතෙදි
මුහුණ සිප ගන්න තිබුනා!

...කපා දැමූ බෝ ගස...
බෝ කොළ
බණ පොත් අස්සට
බෝ ඉපල්
දර ගේ අස්සට...!

Monday, August 30, 2010

ආලෝකයෙන්
අඳුරෙහි
රටා ඇඳිය හැකි සේම
අඳුරෙන්ද
ආලෝකයේ
රටා ඇඳිය හැක.
වෙනස ....,
පැහැය පමණය.
 
උස් ගස්වල
පහල අතුවල
පිපෙන මල්ද ,
නූස් ගස්වල
ඉහල අතුවල
පිපෙන මල්ද ,
සම නොවේ
කිසි ලෙස...!

Sunday, August 29, 2010

වැහැපන් මල් වැස්ස.
අමතකවෙයන් ගෙන එන්ට
පිරිමි කුඩය.
අමතක නොකර රැගෙන යමි
(කුඩා)
ගැහැණු කුඩය!

කන්ද උඩ
වලාකුළු කන්දක්.
ආකහේ මූන හරි නැත.
කෝ මගේ වැහි කබාය?

Friday, August 27, 2010

සමාන්තර පථ දෙකක වුව
යා හැක එකම අරමුණකට
එකා මත එකා නොපතිතව
එහෙත් ...
අත්වැල් බැඳගෙන...!

Wednesday, August 25, 2010

..බුදු කුටියේ  පහන..
හැමදාම පත්තු වෙනවා මිසක
නිවෙන්නට ඉඩක් නැත !

Tuesday, August 24, 2010

ළදරුය රාත්‍රිය
සිහිළැල්ය සුළඟ
අහසද කම්මුල්ද තෙමයි
සඳ දියර....!

අප දෙදෙනා සහ තරඟය

ඔබ ඉදිරියට දුවන විට
මා දුවා තිබුනේ
පසුපස හැරී.
එක්තරා විදියකට
අප දෙදෙනාම දිනුම්.

Monday, August 23, 2010

මල් පිරුණු
වතුසුදු ගස
කෙසේ දැනගනීවිද
මලක් ගිළිහුණු බව.
දරාගත් පොළොව මිස...!

වහලය උඩ සඳ ට
ඔච්චම් කරයි
ගේ තුල සඳ...!

Sunday, August 22, 2010

ඉතා සීතල
හිම
දවයි රඳනා
අත.

පැහැදිලි අහස
වළාකුල්වලින් තොර.
ඉගිලෙන වෙලාවය
තටු කපන්නට පෙර.

Saturday, August 21, 2010

ගැහැණුනි ...,
ගෙවල්වල සිටින
බත උයනු,රෙදි සෝදනු
දුහුවිලි පිසිනු,බුදුන් වඳිනු.
සක්වල කරක්ගසා එන පිරිමින්ට
පුද පූජා කරනු.
බැරිවෙලාවත් විහිළුවටවත්
කවියක් නම් නොලියනු.
මුහුණු පොත නම් නොබලනු.
ඒවා අයිති පිරිමින්ටය.
කවි ලිවිය යුතුම නම්
කවියට අධිපති මහතුන්ගෙන්
අවසර ගනු.
උන් කැමති කවි විතරක් ලියනු.
ඒත් ...
පිරිමි නමකින්...!

Thursday, August 19, 2010

කන්ද මුදුනට රැගෙනවිත්
පහලට තල්ලු කල විට
නැවත කඳු නගිනු නොහැකිය
බිඳුණු අත් පා සහිතව.

Wednesday, August 18, 2010

තදින් අල්ලා ගනිමි
අත්හැරීමේ
ධර්ම පුස්තකය ..!

Tuesday, August 17, 2010

පණුවන් ගිල දමයි
කුකුළු පැටවෙක් ,
උකුස්සකුට බඩගිනිබව
නොදැන..!

ඔබේ පා ඇඟිලි ස්පර්ශව
අලුත් තණකොළ
ලජ්ජාවෙන් මිරිකී
බිම බලාගෙන ...!

Monday, August 16, 2010

මා මුහුණ බලන
කැඩපත මත
රැළි ඇන්දේ
කවුරුන්ද?

Sunday, August 15, 2010

බිත්තරයක් ඔසවාගත්
කුඹිත්තියක්
ගෙදරින් තරහවී
ගෙදර යයි....!

..හොඳම පෙම්වතා...!
අනෝරා වැස්සකට
ඇති පදම් දියබත්ව
මං මුලාවූ දිනෙක
මාදෙසවත් නොබලා
ගත මුවා කරගන්න
සළුවක් දුන්
ඔහු....!

කල් යාවි
ඔබතට පත් වෙන්න
මා ලියූ සංදේශය.
පරෙවියෙක්,සැළලිහිණියෙක්
සොයාගනු නොවූ බැවින්
රෑ බදුල්ලෙකු අත
එවීමට සිදුවිය.

Saturday, August 14, 2010

ගොලුබෙල්ලන්ට
පුදුම උපදන
ඉබ්බාගේ
ගමන් වේගය..!

පැහැදිලි පොකුණු දිය තුල
පා ඔබා සිටින්නිය ඈ .
පාඟිල්ලක පැළඳි මුදුවට
මත්සයෝ කොටති
ලේ බිඳකැයි රැවටී..!

ඔබෙ දෙතොල් සිඹින
සුළං රැළි
මගෙ දෙතොල් සිඹින තුරු
බලා ඉමි...!

Friday, August 13, 2010

ඉරුණු වළාකුල
අතරින්
කෙලෙස දකිමිද
පිරුණු අහස..?

Thursday, August 12, 2010

වෙනස් පිහාටු ඇති
අප මැදින් හිඳගති
කළු පාට පාළුව..!

පොකුණක් තුල
කළාමැදිරි සොයති
කළාමැදිරියන්...!

**********

හීන්දෑරී හඳ
කොක්කෙන් ගිලිහෙනකල්
කට ඇරගෙන
තඩි ගෙම්බෙක්..!

Wednesday, August 11, 2010

දැක ඇත
පිළිලයන් වුව
ගස් සමග සිටින හැටි
දුක සැප බෙදාගෙන.

RearGate: උගේ වම් අත

RearGate: උගේ වම් අත
සියලු කඳුළු
ලුණු රස බව දනිමි.
මේ කඳුල
ලේ රස බැව් හැඟේ.

අගුළු

කවුළුව....
වසා ඇත.
එනමුත්
අගුළු දමා නැත.

හෂිතගේ කවියකට උත්තර..

කෙතක් වන් ගැහැණිය
දුහුල් පිළියෙන් සැරහී
පාලු කළු අඳුරෙහි
පුන් සඳක් සේ දිලිහි දිලිහී!

දැන ගනු පිණිස...!

අත් දෙකම නිල්වී ඇත...
නිතරම කොනිත්තා ගැනීමෙන්.
ජීවිතය සිහිනයක් නොවේයැයි
සැක හැර දැන ගනු පිණිස...!

Tuesday, August 10, 2010

හෙට...

විනිශ්චයකාරතුමනි
අමතක නොකරන්න
හෙට අප දෙදෙන
සුභ සහ යස
සෙල්ලම් කරන දිනය බව.

..මා සැඟව සිටින ගුහාව..


ආවොත් බලාගෙනයි!
කපුරු කට්ටකුමන්ජල් සුවඳද
සෙම් සොටු මල මුත්‍ර දුගඳද
ඉවසන්න වෙයි.

Monday, August 09, 2010

පිරිමින්ගේ ආශා..
ස්වභාව ධර්මයය.
වැළැක්විය
නොහැක.
නිරෝගී කමය.

ගැහැණුන්ගේ ආශා...
අස්වාභාවිකය.
වැළැක්විය
යුතුය.
නොදැමුණු කමය.

ප්‍රථම හාදුව...

අපි ඇවිදගෙන ගියා.
වක ගැහි ගැහී එහෙන් මෙහෙන් එබී එබී සෙවණැලි ඇවිදන් ආව අපි පසුපසින්.
විසල් රුක්ෂයක් යට සීතල පිරිලා තිබුනා.
අපි නැවතුනා.
සෙවණැලිත් නැවතුනා.
ඔබේ සෙවනැල්ල පහත්වී මගේ සෙවනැල්ලට උණුසුම් හාදුවක් දෙනු දැක මා විළියෙන් මුසපත් වුනා.
ඉන්පසු නැවතත් අපි ඇවිදගෙන ආවා.
අපේ සෙවණැලි දෙකක් නොව එකක් වී ඇති බව මා දුටුවේ එවිටයි.

පහන නිවුනම

පිනි මත ඇවිදින්න එනවද
කිති කව කවා පා යුග.
මල් රොන් අරගන්න  එනවද
එලවා සමනළුන් රැල .
වලාකුළු අල්ලන්න ආසද
අහස තරමට උඩ පැන .
මං ගාව ඇලවෙන්න කැමතිද
පහන නිවුනම සුළඟට...!

සත්තයි,
ඔබ තරුවක්ම තමයි.
සඳ තරම් එලිය නැතුවට
ඔබ තරුවක්ම තමයි.
නිවී ගොස් බෝ කලක් වුව
තවමත් එළිය ලඟාවෙමින් පවතින...!

Sunday, August 08, 2010

සිහිනයකට හසුව

තෙත තණ පලස මත
උණුසුම් උරහිසක් උඩ
හිස තබා ඇස අයා
අපරිමිත අහස දෙස බලන්නෙමි.
අසංක්‍ය තරු කිණිති
වලාකුළු හා එතේ.
මංමුලා වවුලෙක්
ක්‍රා..ස් ගා හඬ තලයි.
සඳ දියෙන් නැහැවී
සළු උනයි කඳු ශිකර.
පාව යමි මොහොතක්
සිහිනයකට හසුව
ජීවිතයට ඉහලින් ....!

....පොත් සල්පිල....

පොත් කියවන මා
දුවමින් පනිමින්
පොත් කඳු ගෙනත්
තියාගන්නැයි කියන විට
පොත් නොකියවන ඔහු
කඳුවල බරින් නැමී
තවත් කඳු ඔසවන්නට
ඉවසිල්ලෙන් බලා සිටී...!

රත්මිනි වළල්ල

මං ඉන්නවා බලාන
තවමත්..
හුඟක් කල් ගෙවීවුනත්
කුරුමිණි අකුරින් කුරුටුගෑ
හසුනක් එනකල්....
රත්මිනි වළල්ලක් දැවටු
සැබෑ ආදරයත්  අරන්  ..!

Saturday, August 07, 2010

කටු ඇනුණු තැන.

උයන අද්දර
නිදිකුම්බා ගාලේ
පැටලුනු ඔබේ පය
හිමින් උකුලට රැගෙන
කටු ගලවා දමමි.
එක කුඩා හාදුවක්
තවරමි
කටු ඇනුණු තැන.

....නොඉපදුණු ප්‍රේමය...

ඇරඹුණු විගස මියගිය
මියගිය පසුව ඇරඹුණු
අමරණීය ප්‍රේමය...
පුනර්භව ගණනක් පසුකර
තවමත් ගැබ තුල...
ඉපදෙම්ද නොඉපදෙම්ද
පෙර නිමිති බලමින්...!

Thursday, August 05, 2010

ඔරු පදින්න

මට වඩා කොටයි තමයි
වයසිනුත් බාලයි.
පැසත් හිස්.
ඒත්......
ඔරු පදින්න දක්ෂයි
ඒ නිසා කැමති වුනා.

අයිතිකරුවෙක් නොමැති රෝස මල

රෝස මලක්....
රෝස කරත්තයකින් වැටුන
පයින් පයට පෑගෙන
සියලු දුක් ගන්න.
අයිතිකරුවෙක් නොමැති හෙයින්
අහුලා ගන්න හිතෙන.

Tuesday, August 03, 2010

මඳ සුළඟට
වැහෙම්ද නොවැහෙම්ද
සිතමින් කවුළුව.
රන් වළලු ලූ
සිහින් දෑතක
නිවුණු පහනක්.
ඉකි බිඳින අඩ අඳුර.
...ප්‍රේමය....
පනාවක රැඳුනු
කෙස්ගස් කීපයක්..
මෘදු විලවුන් සුවඳක්...
කලබලයෙන් දුන්
හාදුවක්....!
දඩාවතේ දුවන
කියන දේ නාහන
දඩබ්බර හදවත
බැඳ තබන ලනුපොට
යනවිට අරං ගියානම්
ආපසු එවනවද නොපමාව.
නන්නත්තාර නොවන්නට
තදින් ගැට ගසා තබනු  පිණිස...!

Friday, July 30, 2010

අතීතය...!

සුදුමැලි මුහුණින්
දුබල අඟ පසඟින්
වැනි වැනී එයි කෙනෙක්
යන යන තැන තනියට....!

එලෙව්වත් නොදුවන
බැන්නත් ඉවසන
රැව්වත් සිනාසෙන
ඒ මගේ අතීතය...!

Thursday, July 29, 2010

දමාගිය පියාපත

ඔබ දමාගිය පියාපත
සුරැකිව තබා ගමි  මම.
ඉගිලෙන සිතක් ආවිට
     සවිකරගනු පිණිස එය....!

Thursday, July 22, 2010

නැතිවුණු සපත්තුව සොයන
සින්ඩරෙල්ලා වෙමි...
හමුවූ  අයෙක් වෙත්දැයි
සොයාගත යුතු වෙමි..!