Friday, July 29, 2011

අපේ අල්ලපු ගෙදර
නිතරම සාද පැවැත්වෙන
නෑ මිතුරන් නිතර යන එන
පොඩි උනුත් දුව පැන ඇවිදින
බැදුම් සුවඳ කටට කෙල උනවන
හිනා හඬවල් හරිම සද්දෙට
ඕවා මහ බොරු වැඩ!
මට බෑ
සරත්චන්ද්‍ර කියන විදියට
වැද්දට කඩුව දෙන්න.
මං දෙන්නෙ
රාමට!

Wednesday, July 27, 2011

දෙවියන් අතරද
සිටිය හැක ඉඳහිට
මනුස්සකම් ඇති අය
බෙහෙතකට ගන්නට!
අපි මුලින්ම
හෙණ්ඩුවක් ගත්තා.
කවදාහරි දවසක
අලියෙක් ගන්නකන්!
ප්‍රියය
නින්ද නොඑයි.
මටසිළිටි ඇතිරිලිය
සුවඳ පැන් ඉස ඇත
ඔබ හිස තැබූ තැන
ලකුණකි වළගැසුණු .

ප්‍රියය
නින්ද නො එයි.
සඳ පහන මායාකාරීය.
මඳ නළද සීතය
ඔබ වැතිර හුන් තැන
සුවඳකි පිරිමි.

ප්‍රියය
නින්ද නො එයි.
ඉක්කා ගසයි වවුලෙක්
සර සර හඬකි අතු පතර.
ඔබ ස්පර්ශ කල තැන්හි
රිදුමකි මිහිරි.

ප්‍රියය
නින්ද නොඑයි.
දොරක් වැසෙන හඬ ඇසෙයි
පියවර හඬක් වියැකෙයි
යලි හෙට දිනක් ඇත්දැයි
නොසිතා හිඳිමි.


ප්‍රියය
නින්ද නො එයි!!!!
.
අනවසරයෙන් ගෙට පනින
උතුරු දිග සිහිලැල් සුළඟ
නිරතුරුව මතක් කරදෙයි
මගේ දෑසේ පටු බව.

දුර ඈත කොදෙව්වල
හමු නොවූ මිතුරන්ද
නොගිය මං මාවත්ද
තව බොහෝ ඇති බව.

පහන් දැල්වෙන නිවෙස් තුළ
නවකතාවල චරිත ඇති බව
පල්ලිවල පන්සල්වල
ඝණ්ඨාර නද දෙන බව

මෙතෙක් පෙම් නොකළ පෙම්වතුන්
මඟ බලා සිටිනා බව
මෙතෙක් පා නොතැබූ කඳුවල
වර්ණවත් මල් පිපෙන බව

උඩු සුළඟට හසුව
සියොතුන් පාව යන බව
මගේ ජීවිතය බැඳගත්
මුදුන් මුල් තිබෙනා බව

අනවසර උතුරු සුළඟ
මතක් කර දෙයි නිතරම!!!!

Thursday, July 21, 2011

....ඒ දෙදෙන .....
ඇය සිතා සිටියාය
සියල්ල සතුටින් කෙලවර වෙතැයි.
ඔහු කියා දුන්නේය
එය එසේ නොවෙතැයි!
මම
සියලු වීදිවල පහන් දල්වමි.
ඇය
නිවසේ පහන දල්වනු ඇති!
අද නඩු දිනයය.
පැමිණිලිකරුත්
විත්තිකරුත්
විනිශ්චයකරුත්
මා වෙන!

....පොරොන්දු.....
ගොඩවෙන්න පළමුව
ඔබ හා ඈ සිටින ඔරුවට
පිළින දිය යුතුය ඔබ
සමබර බව රකින බව .

බැරිවෙලාවත් හෙම
සිදුවුවහොත් ගිලෙන්නට
පළමුව කර තබාගන්නේ
මා බව සපථ කල මැන.

ගිරි කුලක් නගින විට
පා ලිස්සා යන විටෙක
පළමුව අත හරින්නේ
ඈ සුරත බවකිව යුතුය මට!

Monday, July 18, 2011

........තොටියා......
සියල්ලන් එතෙර කළ පසු
තුමූම එතෙර විය යුතු!

Sunday, July 17, 2011


මේ මල් පොකුර
ඔබ මට දුන් දේවල්වලට.
මේ මල් වට්ටිය
ඔබ මට දෙන දේවල්වලට.
මේ මල් වත්ත
කවදාවත් නොදෙන දේවල්වලට!!!
ජීවිතේ
දිගයි මෙන් පෙනෙන
කොටයි මෙන් දැනෙන!..

Saturday, July 16, 2011

.

ඉදින්...,
අප ඇවිද යමු
සමතලා පහත් බිම්වල
කඳු නගින විට දැනුන තෘප්තිය
එකිනෙකාහට මතක් කර කර!..
දිය පහර
තිබිය යුතු තැන තබා නැත.
මල් පඳුර
පිපිය යුතු ලෙස පිපී නැත!

සොඳුරිය...,
බත් පත බෙදන විට
මඳක් වැඩියෙන්
ආදරය බෙදන්න.

හිමියනි...,
මා උයා ඇත්තේ
ගෙදර එනවිට
ඔබ ගෙනා දේවල් පමණි!
......ටෝකියෝ මතක....
හිම කබා පොරෝගත් සුදුම සුදු අහසක්
රතුපාට බල්බ් දැමු ඇපල් වතු යායක්
විදුලි දුම්රියක් තුල ගෙවුන පැය ගානක්
දෑත මත නතරවුණ අනවසර දෑතක්!

Thursday, July 14, 2011


හිස් කළගෙඩි
කොයිතරම් නම් සතුටින්ද
ඉහිරෙයි කියා
කිසි බයක් නැතිවිට !
*****
රත්නපුර පෙරහැරෙන්
සොරකම් කලෙමි
මහබඹාගේ මුහුණු දෙක.
හිනැහෙන එක
ලෝකෙට.
අඬන එක
ගෙදරට!