Thursday, May 23, 2013

..
පෙම්වත
ළඟදීම අපි
අපිටම කියා කන්දක් ගමු.
ඉකිගසන සුළං හා වැළපෙන්න
විලෝ ගස් පේලියක් හිටවමු.
හැකිනම් කන්ද මුදුනේ
සෙල්ලම් පොකුණකුත් මවමු.
තාරවුන් කීප දෙනෙකුට
සතුටින් පිහිනන ලෙස අණ දෙමු.
කන්‍යා දිය ඇලිද , අකම්පිත ගල් කුළුද
ගැළපෙන ලෙසට සකස්කරමු.
කියඹු වැල් කිතිකවන
මඳනල පවා නොදැනෙන
ගල් පිළිම දෙකක් වී
එකිනෙකා දෙස බලාගෙනම
අපි සදාකල් පසුවෙමු.
පෙම්වත ,
අපි අපිටම කියා කන්දක් ගමු.
.
මෙන්න මේ වැනිම
තෙතබරිත හැන්දෑවක
පාෂාණිභූත වෙන්න පෙර
අප දෙදෙන
ඉඳහිට සිතෙයි
තවමත් උණුසුම්දැයි
ඔබේ දෙකොපුළ
පෙර මෙන්ම .

.
උස් තුරක්
ලොම් ගස්සා
අතහරී
හිම මල්
මීදුමට.
.
තවමත්
සම සුදුමැලිව ඇත
වෙදැඟිල්ලෙහි
මුදුවක ලකුණට.
.
සින්ඩරෙල්ලා ,
නොදන්නවා වගේ උන්නට
අප තවම
අළු දැරියන්ය
පාන්දර හතරේ  කණිසම
වැදෙන විට.
.
හයයි විස්සේ
රේල්ලුව ගිය පසුව
යළිත් මල් නොපිපුණි
සිල්පර කොටන් උඩ .
.
ඉර බැස යයි .
කවුළුවට පිටුපා
දෙවන මහලේ කෙල්ල
හිසකේ තඹපාට ගැන්වුන .
.
ඇඟිලි
වැඩෙයි
මුදු
එහෙමමයි.
.
කොතරම් සන්තෝෂද
මට
මගේමයි කියා
දුකක් ඇති එක.