Wednesday, August 31, 2011

ගිලෙන්නට ආසන්න
මල් පෙත්ත
වැර යොදා පදිනු මැන
තොටමුණට
කුණාටුව යළි එන්න
පළමුව
පමාවී ගොඩවැදුණු
කුහුඹුව!
බිඳෙන හැමවර
ජීවිතය
කෑලි අලවමි
පුරුදු ලෙස.
එහෙත් මගහැරේ
නිතරම
කුඩා කොටසක්
වඩා ප්‍රියකළ.
මගේ හද පොකුණකි.
කුඩා වැහි බිඳටද
විසල් ගල් කුලටද
රැළි නගන අඩු වැඩි ලෙස.
මතුපිට කම්පනය පෙන්වන
ඇතුලත කම්පාව සඟවන.
අමදින්නෝ අමදිත්.
ඒ බව දැන දැනත්
තුරු...
හෙලති මල්
නැවත නැවතත්
පාගනු පිණිසත්!

Monday, August 29, 2011

උදයේම පිපී
පැය අටක් වෙහෙසව
පරමලක් සේ ඒවි
අපේ අම්මා
හන්දියේ බේකරියෙන්
ආදරය ටිකක් ගෙන
ආයෙමත් කුස්සියේ
පිපෙන්නට.

Wednesday, August 24, 2011

....පතිනි- පති ....
ඇය
කළු ගලක් බැඳගෙන
ගෙළ වට
සුළඟට ගතු කියන.

ඔහු
කුරුසයක් තබාගෙන
උර මත
කන්දට බැන වදින!

වැස්ස
පතිතව
රිය කවුළුවක
ඇවිද ගිය
අප දෙදෙන
පෙනෙන
මැකෙන
යළි පෙනෙන
යළි මැකෙන!

Sunday, August 21, 2011

...හුදකලාව....
සිහින් සර සරය
සුළඟ විය හැක.
පහන නිවන්නට ඇත්තේත්
ඒ සුළඟමය!..
ගිම්හානයය මුලටම.
අතු ඉති වියළවනු පිණිස.
ඉක්බිති සුළඟය
කොළ හලා පිරිසිදු කරන්නට.
හිම පැමිණේ අන්තිමට .
පිරිසිදු සුදු ඇඳුම් ගෙන.

සියල්ලෝ පසසති හිම
මුලින් ආ අය මතක නැතිකර!

Thursday, August 18, 2011

දවස
මුදු ලෙස ඇරඹ
කුරිරු ලෙස ගතකර
පරාජිත ලෙස නික්ම යයි.

Wednesday, August 17, 2011

.
ඇය සිටියාය
සෙවනැල්ලකුදු අහිමිව
කුස්සියේද ආලින්දයේද
රෙදිවැල අසලද
මල් ගස් මුලද
නිහඬව.බිම බලාගෙන.
හදිසියේම
තැපැල්කරු විසින්
සොයා ගන්නා තුරු.

Tuesday, August 16, 2011


පින්වතිය
පව් මේ විසල් ගස් වැනිය
ගස් ගලවා දමන්න.
ස්වාමිනි
ගස් ගැලවුවද
කුඩා පැ ඇත.
පින්වතිය
කුඩා පැළද ගලවන්න.
ස්වාමිනි
කුඩා බීජ තිබේ.
පින්වතිය
පොළොව පෙරළා දමන්න.
ස්වාමිනි
කපුටු වසුරින් යළි  පැල ඇතිවේ.
පින්වතිය
කපුටන් එළවාදමන්න.
ස්වාමිනි
උන් ගස් අතර සවේ.
පින්වතිය
මේ විසල් ගස් ගලවා දමන්න.
ස්වාමිනි
.......!!









කුඩා මුහුදු රැල්ලක්
ඔළුව ඔසවා බලයි
උස්  කන්දක් මත
උල්පත තවම ඇත්දැයි!
.
මගේ උකුලත පිපුන
කුඩා උල්පත ඔබ.
වැඩුණි නොසිතු අයුරින්
තවත් රඳවනු නොහැක උකුලත.

අවසර පදය පවසමි

නොනැවතී  ගලා යනු මැන 
ඉවුරු අද්දර සිරි නරඹමින්
මහා ගඟුලක්ව  ඇදී යනු මැන.

බොහෝ දුරු කතර ගෙවමින්

මහ සයුර හමුවූ දින
කෙතරම් කුඩා දැයි නුඹ
මුල් වතාවට පසක් වෙනු ඇත.

ආයෙත් එකම  සැරයක්

උකුලතෙහි නැළවෙන්නට
හිත රිදෙන මොහොතක
හිතෙනු ඇත ඒ කිසි සැකක් නැත.

ගඟුලක්ව සයුරට ගිය

සයුරෙහි රළ පෙළක්වු
නුඹට යළි උල්පතක් වීමට
නොහැකි බව දන්නෙමිය මම අද!

Monday, August 15, 2011


"මේ මගේ හර්දේ වස්තුව
මේ කුටීර
මේ කපාට
මේ නාල"

'මේ කවුද?
මම නෙමෙයි ,වෙන කෙනෙක් නේද?'

"ආ..., ඔව්
මේ මං මැරෙන්න කලින් එක නොවැ"

Friday, August 12, 2011


...සඳ....
හෙට රෑ එනවනම්
සුදු ගවුමක් ඇඳන් එන්න.
පන්සල් ගෙනියන්න
තරු ටිකකුත් කඩන් එන්න.
වෙල්යායේ මැද්දටම ඇවිදින්
ඇබිත්තක් කමතකට මුවාවෙන්න.
නළලතේ හාද්දක් තියන්නම්
කාටවත් නොපෙනෙන්න පාත්වෙන්න.

Monday, August 08, 2011

දල්වන්න ගිනිමැලය
ගල්වෙන්න කලින්
අප
සීතලට.

Sunday, August 07, 2011

සුදු ගවුම් ඇඳගෙන
බාල් නැටුමට ප්‍රමාදව
ලහි ලහියේ දිව යති
වලාකුළු කෙල්ලන්.

දොරවල් අගුළු ලා
යතුරුත් අතට ගෙන
උන් එනතුරු නිදි මරති
වයසක බස්සන්.

තැනින් තැන දුවගොස්
දූවිලි නාගෙන
ඇඟ සෝදගන්න යති
දඟ සුළං කොල්ලන්

මේ විසල් විශ්වයේ
අසිරි දේ නරඹමින්
මං මුළා වී නමුදු
ඉතා සතුටින් මං.
ස්තුති කරමි
බොහෝ තත් සිඳුනද
පෙරමෙන් හොවා ළයමත
සුසර කරමින් අවසාන තත
ඉතිරිවූ ප්‍රේමය සුරකින
ඔබේ මුදු දෑතට!
ලොකු ගෙයක්
කුඩා මේසයක්
වියපත් යුවළක්
රස විඳිති උණු බතක්.

පිඟන් රාක්කය මත
පිඟානක් ඇත තවත්
වසර ගණනක සිට
බත් කන්න නාවත්!
අලියන්ටත් සිහින ඇත
හෙන්ඩුව අහලක නැතිවිට
පුංචි ඇස් වලට පෙනෙන.
කුහුඹුවන්ගේ සිහින මෙන්ම
අහිංසක!
.
භාවනායෝගීව නුඹ
ගං ඉවුර මත
නිහඬය ගඟද ගහකොළද මසුන්ද
ඔබේ හඬ අසනු රිසිව!

Monday, August 01, 2011

නැවතුනොත්
නවතිනවද?