Thursday, May 23, 2013

..
පෙම්වත
ළඟදීම අපි
අපිටම කියා කන්දක් ගමු.
ඉකිගසන සුළං හා වැළපෙන්න
විලෝ ගස් පේලියක් හිටවමු.
හැකිනම් කන්ද මුදුනේ
සෙල්ලම් පොකුණකුත් මවමු.
තාරවුන් කීප දෙනෙකුට
සතුටින් පිහිනන ලෙස අණ දෙමු.
කන්‍යා දිය ඇලිද , අකම්පිත ගල් කුළුද
ගැළපෙන ලෙසට සකස්කරමු.
කියඹු වැල් කිතිකවන
මඳනල පවා නොදැනෙන
ගල් පිළිම දෙකක් වී
එකිනෙකා දෙස බලාගෙනම
අපි සදාකල් පසුවෙමු.
පෙම්වත ,
අපි අපිටම කියා කන්දක් ගමු.
.
මෙන්න මේ වැනිම
තෙතබරිත හැන්දෑවක
පාෂාණිභූත වෙන්න පෙර
අප දෙදෙන
ඉඳහිට සිතෙයි
තවමත් උණුසුම්දැයි
ඔබේ දෙකොපුළ
පෙර මෙන්ම .

.
උස් තුරක්
ලොම් ගස්සා
අතහරී
හිම මල්
මීදුමට.
.
තවමත්
සම සුදුමැලිව ඇත
වෙදැඟිල්ලෙහි
මුදුවක ලකුණට.
.
සින්ඩරෙල්ලා ,
නොදන්නවා වගේ උන්නට
අප තවම
අළු දැරියන්ය
පාන්දර හතරේ  කණිසම
වැදෙන විට.
.
හයයි විස්සේ
රේල්ලුව ගිය පසුව
යළිත් මල් නොපිපුණි
සිල්පර කොටන් උඩ .
.
ඉර බැස යයි .
කවුළුවට පිටුපා
දෙවන මහලේ කෙල්ල
හිසකේ තඹපාට ගැන්වුන .
.
ඇඟිලි
වැඩෙයි
මුදු
එහෙමමයි.
.
කොතරම් සන්තෝෂද
මට
මගේමයි කියා
දුකක් ඇති එක.

Tuesday, March 26, 2013

.
තනිවුනු හිම මිනිසෙකුගේ
මෆ්ලරය වැනෙයි සුළඟට
සිහින් වැස්සක් මෙන්
හිම පියළි විසිරෙයි අවට.
.
කියන් ...!
ඔබේ දෙතොලට
හිරිහැරද
මගේ ගෙල බැඳි
රන්දම.
.
උස ගිහින් ඉවරවුන
නිහඬ කඳු පවා සුසුම්ලයි
හුදකලා වලාකුළක්
ගෑවී නොගෑවී යන විට.
.
නොබලාම යා යුතුය
වෙරළෙහි අඩි ළකුණු දෙස
සද්දන්ත රළක් විත්
මතක සෝදාලන තුරුම.

Thursday, February 21, 2013

.
තෙත ගවුම
ඇඟට ඇලුනට
හුළඟ දොස් කියයි
වැස්සට.
.
රෝස කම්මුලක්
ඉහළ පහළ යේ
මවිල් පපුවක්
ඉහළ පහළ යන
හැමවිට.
.
රෑ කෑමෙන් පසුව
සීනි වැඩි කෝපි බඳුන
අල්ලසක් බව හැඟුනද
නොපෙන්වා ඉනු මැනව
හිමියනි
අමනාප දෙදිනකට පසුව. .
.
කෙලෙස දල්වමිද
ගිණිමැල
පිදුරුත් දරත්
වැස්සේ තෙමුණු කල.
.
පෙණ ගොබයක් සැළුණු හඬක් මිස
දෂ්ඨ කල තැනක් නැත.
සොඳුර
කිළිටි විය එහෙත්
මලසුන.
.
දහයෙ පංතියෙ
සුදු බැලරිනා සපත්තුවක්
තදින් පොළොව සාරයි
එකොළහේ පංතියෙ
සුදු දිග කලිසමක් ළඟ.
"පස්සෙ කියන්නම්" කියයි
ඇහෙන නෑහෙන ගානට.
.
අතුරුදන්වූ පෙම්වත
කවුරුන් හෝ පැමිණ ඇත
ඔබේ උස මහතම ගෙන
සිනාසිය යුතු ,සිඹිය යුතු ජවනිකාවල
රවන ,ගොරවන,දත් කූරු කන.
.
කුඩා රිදී තෝඩුව
නිතර එහෙ මෙහෙ
සෙළවෙයි
ගෙළ සිඹින හැමවර .
.
හිමියනි
කාලයේ ඇවෑමෙන්
එක තැන පල්වී
දිය සිඳි ජලාශය මම.

තෝරා ගත මැනව
උණුසුම් ගිනි කන්ද දිදුලන.
මහත් අභිරුචියෙන්
දැවෙනු හැක රිසි ලෙස.

ඉනික්බිති
මඳ කලක් පැවතෙමි
සිහිල් දිය ඉල්ලා
ඔබ හඬත්දැයි
ඇහුම්කන් දෙනු පිණිස.
..
මුව දොවා
ඉවර නැත
කුඩා උඳුපියලිය
මොහොතක් පමාවෙන්
ඉර.

.
ප්‍රියය ,
මේ සැන්දෑ හෝරාවය
නිතර දැක නුපුරුදු
අමුතු සෙවනැළි මැවෙන
දැනහුන් එකිනෙකා
හඳුනා ගත නොහැකිවන
නාඳුණන අමුත්තන්
හඳුනන සේ හැඟෙන
නිමේෂයකින් පවා
අතරමං විය හැකිවන
ප්‍රියය ,
මේ සැන්දෑ හෝරාවය
අප දෙදෙන ප්‍රවේසම් විය යුතු.
පහන් දැල්වෙන තුරු
එකිනෙකා වැළඳගෙන සිටිය යුතු.
.
මේ සුළඟ
හමන හැටි සර සර ගගා නිතරම
කෙහෙල් අතු ඉර ඉර
හාදු දී මල් ගස් වලට
කොතනින් අවුත්
කොතැනට යනවාද නොදැන
වැස්ස මෙන්ම
ආනන්දයෙන් පුරවා
මගේ සිත
රහස් සිනාවක් රැගෙන
මුව මත තබන!

.
 රහසක් කියා ඇත ගඟ
අසල උන පඳුරකට
මියුරු හඬ මවන
බට නලාවක් වේයැයි නොදැන!
..
එක් අකල් වැසි දිනෙක
කාසයෙන් වැටුන හීනයකි
ඔබ
දුවිළි ටිකක් අවුස්සා
නිහඬ වුන.
.
ඉරිදා පාන්දර
සඳත් නිදියයි
වැඩිපුර.
හිරු ඇවිත් කූද්දා
හාදුවක් දෙයි
කොපුළට!
.
මුතු බෙල්ලෙකුට ඵල නැත
අහස කොඳුරන හඬ
දිය වැලක සිළි සිළියද
කවුරුන් කාට හාදු දුන්නේද යන වග .
කටු ඇනෙන ළය තුළ
සොඳුරු රහසක්
සදා සුරකිනවා මිස.
.
කමිසයේ තැවරුණු කඳුළු
වේලෙයි
පැය දෙක තුනක් ගියපසු.
.
සුදු රිබන් පටියක
දියමන්ති අල්ලා
නික්ම යයි
සැන්දෑව.
.
පෙණ බුබුළු නගා
බොරු ආඩම්බරකම්
නොපෙන්වයි
ලාබ බීර මෙන්
වයින් !
.
තරු පිපේ තවමත්
නියමිත තැන්වල
නියමිත පරිදිම .
සෙමෙන් මියයන හෙයින්
දීප්තිය මඳක් අඩුව.
එන්න! අපි තරු කියවමු
නියමිත තැනක හිඳ
නියමිත වෙලාවක.
.
අත්හළේ
එකම එක වරක් පමණය .
අහිමි වූයේ
සදාටමය!
.
.......ඉන්පසු........
ඉන්පසු
සියල්ල නිසළ වනු ඇත.
හිම මත තැබූ අඩි මෙන්
මැකී ගොස් අළුත්වනු ඇත.
නුපුරුදු නම් වලින්
අලුත් මල් පිපෙනු ඇත.
කනට ලංකර
සුළඟ කියනා විහිළු බසකට
අපට ආයෙත්
සිනායනු ඇත.
.
ප්‍රියය
මුදු බව සැබවි
සඳ එළිය මෙන් මාද .
එහෙත් නොගනිමි
කවුළුවල හැඩය
සඳ සේම.
.
සියළු සල්ලාලකම් කර
කුඩාවෙකු මෙන් නිදයි
කොස් ගසේ අතු අතර
සුළඟ !
.
කොතෙක් කාරණා දැන සිටියත්
නොරැඳෙන ගඟුලකට
ප්‍රේමයෙන් බැඳෙයි
එක වරක් හෝ
ගල් කුළත්!
.
තවමත්
අත් අල්ලා ඇවිදිති
පෙම්වතුන්
මල් පාර දිග.

රබර් කොළ වැටී
පහළටම ඇදී යයි
කළු ගඟත්
සමග.

මැටිණි දර්ශන පෙන්වයි
ජෝති ශාලාවේ
සුඛාන්තයක් ඇති
කථාවන් සහිත .

වෙලාවට හඬ තලයි
ඉපැරණි සීනුවම
පාසල ඇරෙනු
පිණිස .

ඈ අදත් ඇවිදින්
ගේට්ටුව ළඟ හිඳියි
ඔබේ පොඩි දියණිය
කැටුව යනු පිණිස.
.
සුළඟටත් වඩා සැහැල්ලුයි
කියා අප පෙම් බැන්දත්
සුමුදු මල් පෙත්තකට
බරයි සමනළ තටුවත්.
.
වාළුකා කතරක
අතරමංවූ මිනිසෙක්
කොතරම් දිලිසුනත් මිණක්
ජළ බිඳක් සේ අගය නොකරත්.

ඔබ අතුරා ගිය මල් ඇත තවම!

.
දම්පාට කඳු මත
ඔබ හෙමින් අතුරා ගිය
රිදී පැහැ මල් ඇත
ඔබේ පහසම අයදින .

සිඟිති දිය කඳුරක්
මුණු මුණු ගගා මුමුණන
ඔබ නැවත ඒදැයි
විටින් විට විමසන.

මළානික සඳ කිරණක්
මගේ කොපුලක් පිරිමැද
හිත හදා ගන්නයැයි
නෑහෙන හඬින් කොඳුරන ..
.
ප්‍රියය
නිමී ඇතැයි සිතු පෙමක් වුව
බුර බුරා දැල්විය හැක
නැතුව එක ගිනි පුපුරක් වුව
සන්හුන් බැල්මකට එක.
.
අඩි පාර නැවතින
මඳක් ඈතින්
රෝස යායට!
.
අඩ කවයක් අඳී
වවුලෙක්
රෑ බෝ වූ අහසක.
.
ගෙඹි අඳෝනාවක
ගිළෙයි
විල් දිය ගයන ගීතය.
.
නග්න පියොයුරු
ගිරි හිස
නික්ම යයි
මිහිදුම..
.
......බත ඉදෙන තුරු.....
එකම එක මොහොතක්
සියලු බර පොදි දමා ඉවතට
පෙම්වතුන් සේ තුරුළුව
මෘදු නැටුමකට අවසරද මට.

මඳක් හිස ඔසවා
දෙනෙත් දෙස බලා රහසෙම
මියගිය පෙම්වතා හා
සිනාසෙන්නට අවසරද මට.

හිමියනි කියන් මට
සුසානෙක වැළලුව වුව
ප්‍රේමයේ සොහොනක
මලක් පීදෙන්න ඉඩ නැතිද වග.
.
අද නොඑන හැඩ
කුඩා සුරඟන
පාට ගිය අත්තටු සමග .
සිත්තරා මා
පින්සලය අතින් ගත්
බිඳුණු හර්දය සහිත.
.
....වැස්ස පායලා....
ඉතිරිවුණ
මුතු ඇත
වත මත
තවම..
.
තදින් බිම හෙලුවත්
ආයෙ අහසට යන්න
කැමතියි
වැහි බිඳු වුනත් !
.
විළ කැළැඹින.
මිණි ඇතැයි සිතූ පත්ලෙහි
මඩ පෙනින.
.
කන්ද බැස යන'තුර
නතර වූ සියුමැළිය
කුමට වැළපෙනවාද
පහුරු ගෑ තැන් සිහිකර
අත්හැරුණු තැන් ඇත
වැටුණු බොරු වලවල් අස
ඉතිරි ටික දුර යෑමට
යලිත් අල්ලා ගනිමු අතිනත.