Saturday, March 29, 2014

ගිලගත් සියුම් ඉකියක් !!

.
හෙවණැලි ඇදී 
වක්වී ඉතා දික්වී 
යනයුරු නරඹනවාද 
හෙවනැල්ලද අහිමිවී.

රාත්‍රිය සෙමෙන් පියමැන 
කරගැට පිරිමදී දහවල 
මට හිමි කඳුළු එක්කර 
බහාලනු මැන රිදී බඳුනක.

ඝණ්ටා හඬක් මෙන් 
දුර ඈත පල්ලියක 
ඇසෙනු ඇත ප්‍රතිරාව 
ගිලගත් සියුම් ඉකියක.

Thursday, March 27, 2014

දළඹු ස්නේහය!!



Carrie Vielle_

සමනළයෙක් වෙන්න බැරිවුණු 
ස්නේහයක් ඇත අද ද නොමැකුණු
සමහර පාළු සන්ධ්‍යාවන්හිදී 
දළඹු බූටෑව ළයේ තැවරුණු . 

Wednesday, March 19, 2014

රෝස කම්මුල් සහිත දෙවඟන!!




.
ප්‍රියය ,
මා මිය යන්න පෙර 
ඔබේ උණුසුම් දෙතොලින් 
මගේ කම්මුල් සිප ගන්න.
ඉන්පසු හැකිවෙයි මට 
රෝස කම්මුල් සහිත දෙවඟනයැයි 
නම් ලබන්න.
කොතෙක් දෙවිවරු සිප ගන්න ආවත් 
'බැහැයි'කියා ඔලුව සොලවන්න.

මේ ඒ ශාපයයි !

                                                           
Pavel_Guzenko  

මේ ඒ ශාපයයි !
සැඩ රළ අස 
පිදුරු ගස 
අත්හල

හරියටම අන්න එතැන!

Natalia Bryliova


.
මියුරු හඬකින් ගැයුන 
ඉමිහිරිම ගීයක 
ශෝකී පද පේළියක 
බිඳුණි කටහඬ. 
නතරවිණි වෙණ නද.
හරියටම අන්න එතැන 
පහළවිණි 
ප්‍රේමය.

Monday, March 17, 2014

මා සහ සඳ!

.

මා එක තැනක තියා 
 ඇවිද යයි
සඳ.

පහන් නිමන්නෙකු!


.
පහන් නිවන්නකු පැමිණ 
ලන්තෑරුම් නිවයි 
අහස මත.

Saturday, March 15, 2014

ශෝකාකූළ මිනිසුන්!!



.
සුරා බොති 
ශෝකාකූළ මිනිසුන් 
උස් සිනා හඬ නගමින් 
ගිම්හාන අහස යට.

නිරුවත් ඇඳුම්!!

                                                                  Bogdan-Prystrom-___

ඇඳුම් සොයා ගන්න පෙර 
නොතිබුණි 
නිරුවත කියා දෙයක් 
ලොව .

ලුණු රසැති චුම්බන!


                                                                 


දීර්ඝ සෙවනැළි සහිත 
අඳුරු පැහැ සැන්දෑව 
සර සර හඬ නගයි සුළඟ 
වෙහෙසින් ම්ලාන ව 

දුම් ගසන ලිප් අසල 
කිහිළි යට දහදිය පැල්ලම් ඇති ගැහැණු 
හොදි සමග බත් පිසිති 
පිටුපා එළඹෙන රාත්‍රියට.

මත්පැන් සුවඳ සමග 
ඉදිරිපස දොර ඇරෙන හඬ 
නිදි කිරන ළමයින්
කම්මැලි පාඩම් පොත් සමග.

ලුණු රසැති චුම්බනද 
අනුරාග කෙඳිරිලි ද 
නිවෙයි තෙල් මඳ පහනක් 
කර ගඳක් ශේෂ කර. 

හෝරා යතුරක ටිකි ටිකිය 
වළප්නා සඳකි අහසක 
කාගේදැයි නොදත් 
හුදකලා කඳුලකි තණ මත.

ශාප ලද සර්පයා !!





                                                                   Alex Stevenson

ශාප ලද සර්පයා 
ගෙදරවුව සිටිය හැක 
දම්රෝ සෝෆාවේ වාඩිගෙන
කිං සයිස් ඇඳේ ඇලවීගෙන 
කණ්නාඩියෙන් මුහුණ බලමින් 
මඟතොට දුටු ගැහැණු ගැන සිතමින් 
බත ඉදෙනතුරු ගොං විහිලු කරමින් 
ශාප ලද සර්පයා 
ගෙදරවුව සිටිය හැක.

Tuesday, March 11, 2014

හුවමාරුවකට කැමැත්තෙමි!

Anila Ciccone
.
සිරවී සිටිය යුතුමද 
නීරස කුළගෙයක 
හිමිවුවද අත්තටු 
ඉගිල්ලෙනු තහනම් කළ 
ආසියාතික ගැහැණු සිරුරක 
ගොරහැඩි සළු තුළ වහන්වී 
රහසේම කුඩා පව් කරමින් 
බැඳෙමින් බිඳෙමින් යළිදු බැඳෙමින්.

සිහිල් කළ වයින් බඳුනක 
තිත්ත මුසුකල රසය විඳිමින් 
ඉර හඳ තරු සමග 
නිදහස් රමණයක යෙදෙමින් 
සිහින් දිග කකුල් පෙන්වන 
යුගල නැටුමක යෙදෙමින් 
හුවමාරු කරගත හැකිනම් ජීවිතය
ප්‍රංශ යුවතියක සමගින්.

Wednesday, March 05, 2014

වසැංගූ දුක!!

.
Josephine Wall.__

අඳුරු පැහැ කඳු මත 
පහන් දල්වන්න පෙර 
කදෝකිමි 
වරක් කියවූ ඔබේ කවිපොත 
නැවත නැවතත් 
හොඳින් කියවමි.

කොමා,ප්‍රශ්ණ ලකුණු,ඉස්පිලි හා ඇලපිලි 
ඝන කළුවරකවුව ඉවෙන් මෙන් හඳුනමි.
නම් ගම්ද මුහුණුද පසුකර පැමිණි 
කලක සිට දන්නවුන් සේ සලකමි.

කුඩා කුරුමිණි අකුරු අතරේ සිරවී 
රහස් බසකින් ලියු කවියක් හසුවේ 
මට වසැංගූ දුකම කඳුලක කැළලේ 
සොඳුර ඔබ මෙන් මා පවා වල්මත්වේ.

සොඳුර ඔබ කවිපොත 
අවසන් වරට කියවමි.

Sunday, March 02, 2014

අකාළයේම !!






මඳ දුරක් ඉගිළ ගොස්
හති වැටෙන්නට කලින්
නතරවූ අත්තටුව.


ගං දියේ පාව ගොස්
වැලිතලය බදා ගත්
කොස් කොළය.

බිම වැටෙන්නට පෙරම
තුරු හිසක හිස හෙවූ
පිණි බිඳුව.

උනන්නත් පෙරාතුව
වියලෙන්න නියමවූ
උණු කඳුළ !

Saturday, March 01, 2014

එය රහසකි!

Claudia Lucia Mckinney-


කම්මුල් රතුවුන කරුණ 
නොදුටුවා සේ හිඳී 
දෙඅදර .