Saturday, March 15, 2014

ලුණු රසැති චුම්බන!


                                                                 


දීර්ඝ සෙවනැළි සහිත 
අඳුරු පැහැ සැන්දෑව 
සර සර හඬ නගයි සුළඟ 
වෙහෙසින් ම්ලාන ව 

දුම් ගසන ලිප් අසල 
කිහිළි යට දහදිය පැල්ලම් ඇති ගැහැණු 
හොදි සමග බත් පිසිති 
පිටුපා එළඹෙන රාත්‍රියට.

මත්පැන් සුවඳ සමග 
ඉදිරිපස දොර ඇරෙන හඬ 
නිදි කිරන ළමයින්
කම්මැලි පාඩම් පොත් සමග.

ලුණු රසැති චුම්බනද 
අනුරාග කෙඳිරිලි ද 
නිවෙයි තෙල් මඳ පහනක් 
කර ගඳක් ශේෂ කර. 

හෝරා යතුරක ටිකි ටිකිය 
වළප්නා සඳකි අහසක 
කාගේදැයි නොදත් 
හුදකලා කඳුලකි තණ මත.

2 comments:

  1. කදුළු කවදත් හුදකලා වන්නේය.......

    ReplyDelete