Tuesday, August 31, 2010

අපි වෙන්වෙන බව
කල්තියා දැනුනිනම්......
බස් එකේ දොඩ දොඩා යන'තර
අතින් අල්ලන්න තිබුනා.
'ස්වර්ණ කුණ්ඩල' බලන අතරෙදි
උරෙහි හිසලන්න තිබුනා.
මල්පාරේ තනිවෙච්චි මොහොතෙදි
මුහුණ සිප ගන්න තිබුනා!

...කපා දැමූ බෝ ගස...
බෝ කොළ
බණ පොත් අස්සට
බෝ ඉපල්
දර ගේ අස්සට...!

Monday, August 30, 2010

ආලෝකයෙන්
අඳුරෙහි
රටා ඇඳිය හැකි සේම
අඳුරෙන්ද
ආලෝකයේ
රටා ඇඳිය හැක.
වෙනස ....,
පැහැය පමණය.
 
උස් ගස්වල
පහල අතුවල
පිපෙන මල්ද ,
නූස් ගස්වල
ඉහල අතුවල
පිපෙන මල්ද ,
සම නොවේ
කිසි ලෙස...!

Sunday, August 29, 2010

වැහැපන් මල් වැස්ස.
අමතකවෙයන් ගෙන එන්ට
පිරිමි කුඩය.
අමතක නොකර රැගෙන යමි
(කුඩා)
ගැහැණු කුඩය!

කන්ද උඩ
වලාකුළු කන්දක්.
ආකහේ මූන හරි නැත.
කෝ මගේ වැහි කබාය?

Friday, August 27, 2010

සමාන්තර පථ දෙකක වුව
යා හැක එකම අරමුණකට
එකා මත එකා නොපතිතව
එහෙත් ...
අත්වැල් බැඳගෙන...!

Wednesday, August 25, 2010

..බුදු කුටියේ  පහන..
හැමදාම පත්තු වෙනවා මිසක
නිවෙන්නට ඉඩක් නැත !

Tuesday, August 24, 2010

ළදරුය රාත්‍රිය
සිහිළැල්ය සුළඟ
අහසද කම්මුල්ද තෙමයි
සඳ දියර....!

අප දෙදෙනා සහ තරඟය

ඔබ ඉදිරියට දුවන විට
මා දුවා තිබුනේ
පසුපස හැරී.
එක්තරා විදියකට
අප දෙදෙනාම දිනුම්.

Monday, August 23, 2010

මල් පිරුණු
වතුසුදු ගස
කෙසේ දැනගනීවිද
මලක් ගිළිහුණු බව.
දරාගත් පොළොව මිස...!

වහලය උඩ සඳ ට
ඔච්චම් කරයි
ගේ තුල සඳ...!

Sunday, August 22, 2010

ඉතා සීතල
හිම
දවයි රඳනා
අත.

පැහැදිලි අහස
වළාකුල්වලින් තොර.
ඉගිලෙන වෙලාවය
තටු කපන්නට පෙර.

Saturday, August 21, 2010

ගැහැණුනි ...,
ගෙවල්වල සිටින
බත උයනු,රෙදි සෝදනු
දුහුවිලි පිසිනු,බුදුන් වඳිනු.
සක්වල කරක්ගසා එන පිරිමින්ට
පුද පූජා කරනු.
බැරිවෙලාවත් විහිළුවටවත්
කවියක් නම් නොලියනු.
මුහුණු පොත නම් නොබලනු.
ඒවා අයිති පිරිමින්ටය.
කවි ලිවිය යුතුම නම්
කවියට අධිපති මහතුන්ගෙන්
අවසර ගනු.
උන් කැමති කවි විතරක් ලියනු.
ඒත් ...
පිරිමි නමකින්...!

Thursday, August 19, 2010

කන්ද මුදුනට රැගෙනවිත්
පහලට තල්ලු කල විට
නැවත කඳු නගිනු නොහැකිය
බිඳුණු අත් පා සහිතව.

Wednesday, August 18, 2010

තදින් අල්ලා ගනිමි
අත්හැරීමේ
ධර්ම පුස්තකය ..!

Tuesday, August 17, 2010

පණුවන් ගිල දමයි
කුකුළු පැටවෙක් ,
උකුස්සකුට බඩගිනිබව
නොදැන..!

ඔබේ පා ඇඟිලි ස්පර්ශව
අලුත් තණකොළ
ලජ්ජාවෙන් මිරිකී
බිම බලාගෙන ...!

Monday, August 16, 2010

මා මුහුණ බලන
කැඩපත මත
රැළි ඇන්දේ
කවුරුන්ද?

Sunday, August 15, 2010

බිත්තරයක් ඔසවාගත්
කුඹිත්තියක්
ගෙදරින් තරහවී
ගෙදර යයි....!

..හොඳම පෙම්වතා...!
අනෝරා වැස්සකට
ඇති පදම් දියබත්ව
මං මුලාවූ දිනෙක
මාදෙසවත් නොබලා
ගත මුවා කරගන්න
සළුවක් දුන්
ඔහු....!

කල් යාවි
ඔබතට පත් වෙන්න
මා ලියූ සංදේශය.
පරෙවියෙක්,සැළලිහිණියෙක්
සොයාගනු නොවූ බැවින්
රෑ බදුල්ලෙකු අත
එවීමට සිදුවිය.

Saturday, August 14, 2010

ගොලුබෙල්ලන්ට
පුදුම උපදන
ඉබ්බාගේ
ගමන් වේගය..!

පැහැදිලි පොකුණු දිය තුල
පා ඔබා සිටින්නිය ඈ .
පාඟිල්ලක පැළඳි මුදුවට
මත්සයෝ කොටති
ලේ බිඳකැයි රැවටී..!

ඔබෙ දෙතොල් සිඹින
සුළං රැළි
මගෙ දෙතොල් සිඹින තුරු
බලා ඉමි...!

Friday, August 13, 2010

ඉරුණු වළාකුල
අතරින්
කෙලෙස දකිමිද
පිරුණු අහස..?

Thursday, August 12, 2010

වෙනස් පිහාටු ඇති
අප මැදින් හිඳගති
කළු පාට පාළුව..!

පොකුණක් තුල
කළාමැදිරි සොයති
කළාමැදිරියන්...!

**********

හීන්දෑරී හඳ
කොක්කෙන් ගිලිහෙනකල්
කට ඇරගෙන
තඩි ගෙම්බෙක්..!

Wednesday, August 11, 2010

දැක ඇත
පිළිලයන් වුව
ගස් සමග සිටින හැටි
දුක සැප බෙදාගෙන.

RearGate: උගේ වම් අත

RearGate: උගේ වම් අත
සියලු කඳුළු
ලුණු රස බව දනිමි.
මේ කඳුල
ලේ රස බැව් හැඟේ.

අගුළු

කවුළුව....
වසා ඇත.
එනමුත්
අගුළු දමා නැත.

හෂිතගේ කවියකට උත්තර..

කෙතක් වන් ගැහැණිය
දුහුල් පිළියෙන් සැරහී
පාලු කළු අඳුරෙහි
පුන් සඳක් සේ දිලිහි දිලිහී!

දැන ගනු පිණිස...!

අත් දෙකම නිල්වී ඇත...
නිතරම කොනිත්තා ගැනීමෙන්.
ජීවිතය සිහිනයක් නොවේයැයි
සැක හැර දැන ගනු පිණිස...!

Tuesday, August 10, 2010

හෙට...

විනිශ්චයකාරතුමනි
අමතක නොකරන්න
හෙට අප දෙදෙන
සුභ සහ යස
සෙල්ලම් කරන දිනය බව.

..මා සැඟව සිටින ගුහාව..


ආවොත් බලාගෙනයි!
කපුරු කට්ටකුමන්ජල් සුවඳද
සෙම් සොටු මල මුත්‍ර දුගඳද
ඉවසන්න වෙයි.

Monday, August 09, 2010

පිරිමින්ගේ ආශා..
ස්වභාව ධර්මයය.
වැළැක්විය
නොහැක.
නිරෝගී කමය.

ගැහැණුන්ගේ ආශා...
අස්වාභාවිකය.
වැළැක්විය
යුතුය.
නොදැමුණු කමය.

ප්‍රථම හාදුව...

අපි ඇවිදගෙන ගියා.
වක ගැහි ගැහී එහෙන් මෙහෙන් එබී එබී සෙවණැලි ඇවිදන් ආව අපි පසුපසින්.
විසල් රුක්ෂයක් යට සීතල පිරිලා තිබුනා.
අපි නැවතුනා.
සෙවණැලිත් නැවතුනා.
ඔබේ සෙවනැල්ල පහත්වී මගේ සෙවනැල්ලට උණුසුම් හාදුවක් දෙනු දැක මා විළියෙන් මුසපත් වුනා.
ඉන්පසු නැවතත් අපි ඇවිදගෙන ආවා.
අපේ සෙවණැලි දෙකක් නොව එකක් වී ඇති බව මා දුටුවේ එවිටයි.

පහන නිවුනම

පිනි මත ඇවිදින්න එනවද
කිති කව කවා පා යුග.
මල් රොන් අරගන්න  එනවද
එලවා සමනළුන් රැල .
වලාකුළු අල්ලන්න ආසද
අහස තරමට උඩ පැන .
මං ගාව ඇලවෙන්න කැමතිද
පහන නිවුනම සුළඟට...!

සත්තයි,
ඔබ තරුවක්ම තමයි.
සඳ තරම් එලිය නැතුවට
ඔබ තරුවක්ම තමයි.
නිවී ගොස් බෝ කලක් වුව
තවමත් එළිය ලඟාවෙමින් පවතින...!

Sunday, August 08, 2010

සිහිනයකට හසුව

තෙත තණ පලස මත
උණුසුම් උරහිසක් උඩ
හිස තබා ඇස අයා
අපරිමිත අහස දෙස බලන්නෙමි.
අසංක්‍ය තරු කිණිති
වලාකුළු හා එතේ.
මංමුලා වවුලෙක්
ක්‍රා..ස් ගා හඬ තලයි.
සඳ දියෙන් නැහැවී
සළු උනයි කඳු ශිකර.
පාව යමි මොහොතක්
සිහිනයකට හසුව
ජීවිතයට ඉහලින් ....!

....පොත් සල්පිල....

පොත් කියවන මා
දුවමින් පනිමින්
පොත් කඳු ගෙනත්
තියාගන්නැයි කියන විට
පොත් නොකියවන ඔහු
කඳුවල බරින් නැමී
තවත් කඳු ඔසවන්නට
ඉවසිල්ලෙන් බලා සිටී...!

රත්මිනි වළල්ල

මං ඉන්නවා බලාන
තවමත්..
හුඟක් කල් ගෙවීවුනත්
කුරුමිණි අකුරින් කුරුටුගෑ
හසුනක් එනකල්....
රත්මිනි වළල්ලක් දැවටු
සැබෑ ආදරයත්  අරන්  ..!

Saturday, August 07, 2010

කටු ඇනුණු තැන.

උයන අද්දර
නිදිකුම්බා ගාලේ
පැටලුනු ඔබේ පය
හිමින් උකුලට රැගෙන
කටු ගලවා දමමි.
එක කුඩා හාදුවක්
තවරමි
කටු ඇනුණු තැන.

....නොඉපදුණු ප්‍රේමය...

ඇරඹුණු විගස මියගිය
මියගිය පසුව ඇරඹුණු
අමරණීය ප්‍රේමය...
පුනර්භව ගණනක් පසුකර
තවමත් ගැබ තුල...
ඉපදෙම්ද නොඉපදෙම්ද
පෙර නිමිති බලමින්...!

Thursday, August 05, 2010

ඔරු පදින්න

මට වඩා කොටයි තමයි
වයසිනුත් බාලයි.
පැසත් හිස්.
ඒත්......
ඔරු පදින්න දක්ෂයි
ඒ නිසා කැමති වුනා.

අයිතිකරුවෙක් නොමැති රෝස මල

රෝස මලක්....
රෝස කරත්තයකින් වැටුන
පයින් පයට පෑගෙන
සියලු දුක් ගන්න.
අයිතිකරුවෙක් නොමැති හෙයින්
අහුලා ගන්න හිතෙන.

Tuesday, August 03, 2010

මඳ සුළඟට
වැහෙම්ද නොවැහෙම්ද
සිතමින් කවුළුව.
රන් වළලු ලූ
සිහින් දෑතක
නිවුණු පහනක්.
ඉකි බිඳින අඩ අඳුර.
...ප්‍රේමය....
පනාවක රැඳුනු
කෙස්ගස් කීපයක්..
මෘදු විලවුන් සුවඳක්...
කලබලයෙන් දුන්
හාදුවක්....!
දඩාවතේ දුවන
කියන දේ නාහන
දඩබ්බර හදවත
බැඳ තබන ලනුපොට
යනවිට අරං ගියානම්
ආපසු එවනවද නොපමාව.
නන්නත්තාර නොවන්නට
තදින් ගැට ගසා තබනු  පිණිස...!