Thursday, December 24, 2015

ක්ෂුද්‍ර!!



.
වසන්නන් විසින් අත්හළ 
බොහෝ ඉපැරණි නිවසක 
තිබී හමුවූ රන්දමක් මෙනි 
නුඹේ සෙනෙහස.

බිඳුණු කවුළුවකින් 
පෙරී ආ එළිය බිඳකට 
තවත් ලොබ බඳිනු නොමැනය 
සකි සඳ.

මනරම් ගිම්හාන සවසක 
වැතිර තණ ඇතිරිල්ලක 
ඔබ සෙමෙන් මුමුණන කවි 
අසා ඉමි නිහඬව.

හමුවූවන්ද ,වෙන්වූවන්ද 
මුනගැසුම් හා සමුගැනුම්ද 
අවිශේෂද ,ක්ෂුද්‍රද ,තුනීදැයි 
වටහාගමි එවිට.

Sunday, November 01, 2015

උරහිසක් නැතිව!!


.

පිරී ඇතිවිට බඳුන 
ඉතිරි දිය ඉවත යනබව 
කියාදී ඇති හෙයින් ඔබ 
ශෝකයක් නොගෙනෙයි 
වර්ෂාව.

කුරුඳු තේ බඳුනක 
ඉහළ යන වාෂ්පය දෙස 
බලා ඔබ කී කුඩා කවියක් 
මෙනෙහි කර 
ප්‍රීති විය හැක.

සුවහසක් තාරුකා පිපි 
ආකාස තටාකය මත 
සියුම් දිස්නයක් තිබූ තරුවක 
වියෝගය 
දරාගත හැක.

වැසි වැටී අහවරව 
අඳුරු පැහැ සැන්දෑවක 
තෙත් සඳළුතලයක 
උරහිසක් නැතිව හෝ 
මෙතැන් සිට හිනැහිය හැක,

Tuesday, October 20, 2015

.....මේ නපුරු කාලයකි....






සිනායන තැන්හිද 
මහත් සේ දුක දැනෙන
ජය කනුව පෙනි පෙනී 
පරාජිත සේ හැඟෙන 
රෑ සිහිනයෙන් පවා 
ඉකි බිඳුම් හඬ ඇසෙන 
මේ නපුරු කාලයකි 
වහා කළුවර වැටෙන .

සාගරය අගිස්සෙන් 
වේලපහ හිරු බසින 
සඳ එන්න ප්‍රථමයෙන් 
තාරුකා ඇස් අරින 
අළු පාට පසුබිමක 
ගහ කොලද හති අරින 
මේ නපුරු කාලයකි
මල් පවා ඉකි බිඳින.

පමා ඇයි පෙම්වත
නොපමාව මෙහි එන්න 
පිපී ඇති සියලු මල් 
අප වෙතට කැන්දන්න 
දෙසැම්බරයට නැවත 
නොඑන්නැයි පවසන්න 
පොරෝනාවක් ලෙසින් 
මා වසා පැතිරෙන්න.

.....දළඹු ෆොසිල.....







 ඇය අසුනේ හරිබරි ගැසෙමින් ඉයර්ෆෝන් කන් දෙක තුළට රුවා ගත්තා.තව පැය දෙකක් නියමිත යානය එනතුරු රැඳී සිටිය යුතුයි.ඉන්පසු තව පැය දාසයක ගමනක්.එයාර්පෝට් එකට පුතා ඇවිත් ඉඳී . 
ඔහු හරියටම ඒ වෙලාවේ එතැන පසුකර යමින් උන්නා.වෙනත් යානයකට. විදුළියක් කෙටුවාක් මෙන් ඇය අසල නැවතුනා.'සමහරවිට අඳුනා ගන්න එකක් නෑ .' 
ඇය මඳක් වෙව්ලුවා.ඉයර්ෆෝන් කන් තුළ රුවාගෙනම ඉද්ද ගැසුවාක් සේ නැගිට්ටා. "ඔයා....?"
 කාලය ඉරුණු තැන් පුරුද්දමින්,රිදුනු තැන් අතගාමින් ටිකි ටිකි හඬ නගන්නට වුනා. සම මඳක් රැලිවී ,කම්මුල් දිස්නය තුනී වී,තැන තැන ඉදුණු කෙස් ගස් සහිත කුඩා ළමයින් දෙදෙනෙක් එකිනෙකා දෙස ඇසි පිය නොහෙලා බලාගත්වනම බලාගෙන උන්නා.

 'මට දුවෙක්. ලබන මාසෙ වෙඩින් එක.'

 "පුතා බැඳලා .මම බබා බලාගන්න යනවා."

 'පැය එක හමාරක් තියෙනවා ෆ්ලයිට් එකට.සති දෙකක ටුවර් එකක්.' 

ඇය සිනාසුනා.විසි පස්‌ වසරකට පෙර මෙන්ම කම්මුලේ සුළියකුත් සමග.

 'මට වෙලාවකට හිතෙනවා ඔයා උත්තරයක් එවන්න ඇති. තැපෑලෙදි නැති වෙන්න ඇති කියලා. එක්කෝ තැපැල් කාරයා ලියුම කඩන්න ඇති.ඔයාගේ ලියුම් කොහොමත් බර නේ. වටිනා කියන මොකවත් නැති හින්දා අකුලකට විසි කරන්න ඇති.'
 ඇය නැවතත් සිනාසුනා. තරමක් ශෝකයෙන්. 

"ඇත්තම කියනවනම් මම ලියුමක් එව්වේ නෑ ."

 'එහෙනං '

 "මම පැනල ගියා."

 'පැනල ගියා? කොහෙටද?'

 "වෙන තැනකට ." 

'කවුද අර බොකුටු කොණ්ඩ හාදය ළඟටද ? මිනිහට හරි හමන් රස්සාවක් තිබුනෙත් නෑ නේද ඒ කාලේ?'

 "ඔව් වෙන්න ඇති. ඒ වුනාට මිනිහට ගිටාරයක් තිබුනා.මට හරියටම පිළිවෙල මතක නෑ .එතනින් වෙන තැනකට,ඉන් පස්සේ තව තැනකට." 

'ඔයා කිය කියානේ හිටියේ,ඔයාට ඔයාව හොයා ගන්න ඕනි කියලා, ඉතින් ඔයාව හම්බ වුනාද?'

 "නෑ .වෙලාවකට හම්බ වෙන්නම ඇවිත් මගෑරුනා .වෙලාවකට ඒ මමෙයි කියලා හම්බ වෙච්චි කෙනාට මං කැමති වුනේ නෑ .

" 'ඉතින් ඔයාට මුකුත්ම ලැබුන් නැද්ද?'

 "ලැබුනා.අන්තිමට. ට්‍රංක පෙට්ටියක්."

 'ට්‍රංක පෙට්ටියක්.???'

 "ඔව්.මම ඒක ගෙදර අරං ගිහිං ඇඳ යටට තල්ලු කළා."

 'ඇරලා බලන්නෙත් නැතුව?'

 "බැලුවා."

 'ඉතිං මොනවහරි තිබුනද?'

 "ඔව්.තිබුනා.දළඹු කෝෂ ෆොසිල හත අටක්"

 'දළඹු කෝෂ ෆොසිල ??

 ' "ඔව්.සමනළයින් වෙන්න කළින් නැවතුණු .එහෙමම ෆොසිල වුනු." 'සමනළයින් වෙන්න ඇරියනම් ඉවරනේ.'

 "සමනලයින්ට බඩගිණි වෙනවනේ."

 'ඉතිං ?' 

"ඉතිං එයාලා ඉගිලෙන්න පටන් ගන්නවා.එක මලක වුනත් ඒ හැටි පැණි නැහැ නේ.මලින් මලට යන්න පටන් ගත්තම මල් මතක වියැකිලා යනවා." 

'ඉතිං දළඹු කෝෂ වලට වුනත් ආහාර ඕනි නේ.' 

"ඔව්.නමුත් ඒවට හෙලවෙන්න බෑ නේ. ඒ නිසා ටික කාලයක් ගියාම ෆොසිල වෙනවා."

 'ඊට පස්සේ?' 

"ඊට පස්සේ බැලින්නං කාලය ගෙවිල ඉවරයි.මගේ ශරිරයෙත් හෝමෝන තිබුනනේ. අම්මල හොයල දුන්න. හා කිව්වා."

 'ඔයාට තිබුනා මට ලියුමක් එවන්න.නැත්නං ටෙලිග්‍රෑම් එකක්. මම එතකොටත් බලාගෙනයි හිටියේ..'

 "එතකොට එස්.එම් .එස් යුගය ඇවිත්."

 'ඔයා දන්නවද මම තාමත් බලාගෙන ඉන්න වග.මොන තරම් බැඳීම් තිබුනත් මම සම්පුර්ණයෙන්ම හිස්වුනු හර්ද වස්තුවක් තියෙන කෙනෙක්. ඔයාට මතකද මම ඒ දවස්වල බස් එකේ යනකොට නවකතා පොත් අරන් ගියා.ඔයා කොන්ඩේ පැත්තට පීරලා යුනිෆෝම් ඇඳලා ගිය කාලේ. මම කවදාවත් පොත් කියෝපු කෙනෙක් නෙමේ.ඔයා ඉල්ලයි කියලයි ඒ අරං ගියේ.'

 "මට මතකයි."

 'ඔයා ඒවා ඉල්ලුවා.කියවලා ආපහු දුන්නා,තියාගන්න කියලා කොච්චර කිව්වත් . මට තේරෙන්න තිබ්බා.ඔයා මාවත් ආපහු දෙයි කියලා.'

 "ඒ කියන්නේ ඔයා දැනගෙන හිටියා."

 'ඔව්.ඒත් මම මාව ආපහු බාර ගත්තේ නැහැ.ඒක නීති විරෝධියි. කුයින්තාන්සියක්වත් නැතුව ආපහු දෙන එක.'

 "ඉඳහිට වෙලාවක මම ට්‍රංක පෙට්ටිය ඇරලා බැලුවා. ඒක ඒකෙ තිබුනා.කුයින්තාන්සිය."

 'සැරෙන් සැරේ ඔයා ඒක දිහා බැලුවද? ඒ වෙලාවකට මටත් එන්න තිබුනා.'

 "ඔයාට එන්න වෙන එකක් නෑ .අපේ ගෙදර සැර බල්ලෙක් හිටියා. අවසරලත් අයට විතරයි එන්න පුළුවන් වුනේ.බල්ලා කුයින්තාන්සි ගැන දැනගෙන හිටියේ නෑ ."

 'ඔයා කවියක් ලියපු පුංචි කොළ කෑල්ලක් මගේ ළඟ තාම තියෙනවා.මට ඒක කට පාඩම්.දැන් කවි ලියන් නැද්ද ඔයා?'

 "කියවන්න කෙනෙක් නැතුව කවි ලියන එක මහා වෙහෙසකාරී වැඩක්. කවි වෙනුවට මම චෙක් ලියන්න පුරුදු වුනා. ඒක හරි විනෝදයි.ප්‍රතිපලත් ලැබුනා.ඉන් පස්සේ මට සතුටින් ඉන්න පුළුවන් වුනා.චෙක් හරි වටිනවා.පිටිපස්ස පැත්තේ කවියක් වුනත් ලියන්න පුළුවන්."

 'ඉතිං අර අම්මලා හොයාදුන්නු කෙනා? එයත් ෆොසිලයක් වුනාද?'

 "නෑ .එයා ඒකට කැමති වුනේ නෑ .එයා සමනළයෙක් වුනා."

 'ඒ කියන්නේ??' 

ඇය ඔරලෝසුව බැලුවා.සිනාසුනා.වෙලාව හරි.
 
'ඔයා මාස හයකින් ආපහු එනවද? අපිට දවසක හම්බ වෙන්න පුළුවන්ද? ඔයා ෆේස් බුක් ඉන්නවද? ස්කයිප්? වට්ස් ඇප් ? මට ටෙලිෆෝන් නොම්මරේ දෙනවද?' 

"මට දැන් පනස් හතක් .ඔයාට හැටක් ."

 'නිකං දුක සැප අහන්න විතරක්.ඔයා හොඳින් ඉන්නවද දැන ගන්න විතරක්.'

 ඈ නැගිට්ටා. ඔහුගේ හිස පහලට ඇද නළල මත දිගු හාදුවක් තැබුවා.උණුසුම්.තෙත.තොල් සායම් පැහැය මඳක් තැවරුණු . 
පසු නොබලා ඉදිරියට ගියා.

සමනළියක් විලසින්. 

ඔහු තව බොහෝ වෙලාවක් එක තැන නතරව බලා සිටියා. 

දළඹු කෝෂ ෆොසිලයක් විලසින්.

Monday, August 31, 2015

අනුන්ගේ ඇඳුමක්!!!













.
බොහෝ දිනවල 
මහත් අපහසුවක් දැනේ. 
අනුන්ගේ ඇඳුමක් ඇඳ ඉන්නවා මෙන්
හිර ගතියක් දැනේ.

සමහර වෙලාවට
කකුල් හිරවෙනු දැනේ 
නොගැළපෙන පාවහන් පැළඳ ඉන්නවා මෙන් 
අපහසුවක් දැනේ.

නොහිතන වෙලාවක 
මහ අමුත්තක් දැනේ 
අනුන්ගේ වචන දොඩනවා මෙන් 
නුහුරු ගතියක් දැනේ.

නිතරම සිත යට 
ප්‍රශ්න මාලාවක් නැගේ 
මේ මාද අනුන්දැයි 
කොනහා බලන්නට සිතේ.

Thursday, August 27, 2015

අගෝස්තුව මත අගෝස්තුව !!!






හැම අගෝස්තුවකම 
ග්‍රීෂ්ම ඉර අව්ව මැදින් විත් 
කවුළුව යටින් තබා යයි 
සුබ පැතුම් ලිපියක් ඔබ.

එවූ ලිපිනයක් නොමැතිව 
ලබන ලිපිනය සඳහන්ව 
දකුණට ඇලවූ අත් අකුරු 
දැන් මඳක් විරූපිය වියපත්ය.

කියන්නට කොතෙක් දේ වේද 
නොකියාම නිහඬ වෙමි. 
පෙර අගෝස්තුව ලිපිය මත 
මේ අගෝස්තුව අතුරමි.

ග්‍රීෂ්මය,වසන්තය,සිසිරය 
තව වරක් පසු කරමි 
ඊළඟ අගෝස්තුව තෙක් 
ළය හැඬුම් වළකමි.

පියවර හඬක් ඇසුනත් 
කවුළු දොර නොඅරිමි 
ඔබට රිසි අයුරින් 
ප්‍රේමයට ඉඩ දෙමි.

ආදරෙයි,ආදරෙනි 
බොඳවූ වදන් කියවමි. 
ආදරෙයි,ආදරෙනි 
සිහින් ස්වරයෙන් මුමුනමි .

Sunday, July 19, 2015

කෝපි මංඩි!!!





වැහිදාක හවසට 
බැරිස්ටාවේ මුල්ලක 
ඔබ ඉතිරි කල කෝපි මංඩි බොන 
මගේ සිත.

Tuesday, July 14, 2015

කේ -ඕ හැටයි විසිපහ!!!





ඉඳහිට මග බලමි 
තට්ටු කර නිදිමත කවුළුවට 
ඔබ පැමිණ සොරෙකු සේ 
රැඳී ඇත්දැයි ඉදිරි දොර ළඟ.

හැපි කව් චීස් ගෙන පුතුට 
චොක්ලට් මෆින් මගේ ප්‍රියතම 
කටගැස්මක් සමග බීර ඔබට 
සොඳුරුවේ සන්ධ්‍යාව අපමණ .

වළාකුල් කැටියකින් 
සරා සඳ වත වැසෙයි 
හදිසි සුළඟක් ඇවිත් 
මතක කවුළුව වැසෙයි .

නුවරවල් ගානකට එහා 
ක්රීස් ගා දොරක් ඇරෙයි 
කේ -ඕ හැටයි විසිපහ 
මිදුල මැද නතරවෙයි.

Monday, July 13, 2015

පශ්චත්තාපයේ සෙවණැල්ල!!!





පව්කාරයෙකැයි පිටුවහල් කල විට පවා 
ඔබට රැඳී සිටිය හැකියි 
සොල්දරයට නගින පඩි පෙළ යට 
ත්‍රිකෝණාකාර ඉඩ තුළ .

දූශිතයෙකැයි පහර දෙන දිනකද 
ඔබ සඟවා තැබිය හැකියි 
පොත් අල්මාරියත් බිත්තියත් අතර 
මකුළු දැල් වැවුන අවකාශය තුළ .

සොරෙක්ය,මං පහරන්නෙක්ය වුව 
උයනේ මල් ආරුක්කුව යට 
ඔබට වෙන්කළ ඉඩක් ඇත 
සීරුවෙන් සැඟවෙනු පිණිස .

දඬුවම් නියම නොකරමි 
හොඳින් දැකිය හැකි බැවින් 
ඔබේ ඇස් තුළ පැතිර පවතින 
පශ්චත්තාපයේ සෙවණැල්ල .

Sunday, July 12, 2015

ශෝක ගත යුතු නැත.!!!




ප්‍රියාවිය,
නම කියා අමතනු නැතැයි 
ශෝක ගත යුතු නැත.

දිනකට එක බැගින් 
නම් තියේ නම් රාත්‍රියට 
සිහි තබා ගනු නොහැකිය.
සුළඟ සුළඟම මිස 
විශේෂණ පද නුසුදුසුය.
අහසට වෙන නමක් කිව්වොත් 
සිනා යන සුළු නොවේද?

ප්‍රියාවිය,
බොහෝ නම් ඇති ගැහැණුන් 
පෙමින් බැඳුනෝය පෙර කල.
අත්හැර දමා ගියවිට 
ශෝකවූයෙමි බොහෝ කල් 
නම් තිබූ හෙයින් ඔවුනට.
නමක් නැති කිසිවෙකුත් 
මතකයේ රැඳෙනු උගහටය.

එහෙයින් ප්‍රියාවිය,
නම කියා අමතනු නැතැයි 
ශෝක ගත යුතු නැත.

සඳ රැසක් මෙන් වැතිර හිඳ 
නිසසලව නික්මෙනු මැනවි .
මඳනලක්‌ සේ හමාවිත් 
රහසේම පිටවෙනු මැනවි .
වෙණ නදක් සේ ගලාවිත් 
හිතුමතේ නවතිනු මැනවි .
සිහිනයක් සේ රෑ පුරා 
පැමිණ ආපසු යනු මැනවි .

දැල්විය යුතුමද ප්‍රේමය ???






නිලා කූරක් මෙන් 
දැල්විය යුතුමද ප්‍රේමය 
කළුවර එතැයි දැන දැනම .

ගංගාවක් වගේ 
ගලා යා යුතුද දිගටම 
නියඟයක් පැමිණෙන තුරුම .

දේදුන්නක් ලෙසට 
පහළවිය යුතුමද අහසක 
මඳින් මඳ ක්ෂයවෙන තුරුම.

කළු කුහරයක් මෙන් 
වහන්වී හිඳිනු නොහැකිද
පැවතෙමින් හා නැතිව.

ඇතුගලත් වැළපෙනවා!!!


.
""ඔයා දන්නවද 
මං ඉන්නේ ඇතුගල්පුරේ යන මග.""

'සිළි සිළි ගගා 
මල් මුතුළැල් වහින්නෑ නේද අද?'

""කලුපාට වලාකුල් මෝදුවෙනවා 
ඇතාගල උඩ .""

'නම නොදන්නා ගස්වල 
මල් පිපෙන් නෑ නේද තව?'

""කඳුළු ඇස් බිම නමාගෙන 
ගස් ඉන්නකොට දුක හිතෙනවා මට.""

'අපේ ඉස්කෝලේ ළඟ 
නෑ නේද අඹ අච්චාරුකාරයෝ හෙම?'

""බොකුටු කොණ්ඩයක් තියෙන කොල්ලෙක් 
බලා ඉන්නවා ගේට්ටුව ළඟ.""

'වැව රවුමෙ අතින් අත ගෙන
පෙම්වතුන් ඇවිදිනවද?'

""අඳුනන්නත් බෑ නුග ගහ යට 
අපි සිප ගත්තු තැන .""

'දුක් ගන්න නරකයි 
ඇතුගල වගේ ඉන්නව මිස '.

""වැළපෙනවා ඇතුගලත් 
හැම වැස්සකට පස්සෙම .""

Saturday, July 11, 2015

රූටා වැටෙමු !!!






.
කඳු මුදුණින් රූටා වැටෙමු 
මීදුමට
පිණි කලම්ඹා 
ලිලී මල් යාය මත.
ඔබ හිඳී නම් මා සමග 
අතින් අත බැඳ 
ආදරේ යැයි මුමුණමි 
සිහිසුන් වෙන්න පෙර!

Thursday, July 09, 2015

හුඟක් බොන් නෑ නේද?




"ඔබ මා දමා ගිය තැන 
රැඳී ඉමි තවම 
වැඩිවිය පවා නොපැමිණ.

ගිණි ගොඩකි ජීවිතය 
සඳුන් දර වුව 
දැවෙන විට දැවෙයි හද."

'දැන් හුඟක් රෑ වෙලා 
ඔයා ගිහිං නිදියන්න
ඉක්මනට ලොකු වෙලා 
ආයෙ දවසක එන්න.

මේව දැන ගත්තොතින් 
ගෙදර අය පව් නේද?
ඉඳහිටක මිසක ඔබ 
හුඟක් බොන් නෑ නේද?'

Sunday, July 05, 2015

ඉතින් ඔබ !!!!





ඔබ ළඟ ඇතැයි 
ඔබ සිතා සිටියාට 
කොහේනම් වේද මගේ හදවත?

අයාලේ යන වළාකුලක ද 
යාත්‍රා කරන මුහුදු රළක ද 
පියාසර කරන වැසි බිඳුවකද 
නතර වූයේ යළි නොඑන ලෙස ?

අරුණෝදයේ තුසර බිඳු මෙන් මල් මත 
සන්ධ්‍යාවෙදී මිහිදුමක් මෙන් ගිරි හිස 
රෑ මැදියමේ අන්ධකාරයව මිහි මත 
පහළ වූයේ මගේ හදවත විය හැක.

මා ළඟ ඇතැයි 
ඔබ සිතා සිටියාට 
මා ලඟද නැත මගේ හදවත.

නොඉල්ලනු මැනැවි 
නොසොයානු මැනැවි 
නොවැළපෙණු මැනැවි
ඉතින් ඔබ .

මුද්‍රා තබමි!!!




රාත්‍රිය 
නතර වී ඇත 
ගිලන්ව .

ලුහු බඳින අත්හරින 
බැඳීමකි 
විටින් විට මතුවන.

සිහින් චලනයකි 
නිද්‍රාව අතරතුර 
වළා පෙළ .

ඉකියකින් 
මුද්‍රා තබමි 
මතකයට.

Thursday, July 02, 2015

ලා රෝස නිය වර්ණ !!

.


ලා රෝස පැහැයෙන් 
නිය වර්ණ ආලේප කළ 
සිහින් දිගු අතැඟිල්ලෙන් 
ඇය ලියා තිබුණා කවියක්.

"මේ මෙතැන කවුළුව අස 
ඔබ ප්‍රියකරන ඇසළ සඳ. 
මදි පාඩුවක් වුණහොත්
අනන්ත තාරුකා අතරින් 
කිහිපයක් ඇහැරවා ගනු මැන."

ඇය ලියා තිබුනා කවියක් 
මා වෙතින් නික්මෙන්න පෙර!

සුලැඟිල්ල !!!

.

.
අත හැරියාද 
අත හැරුනාද 
නොදැන 
උණුසුම පමණක් සිහිකරයි 
සුලැඟිල්ල .

Saturday, April 11, 2015

කිරි තේද ?නිකම් තේද?



"අද රෑට කන්නෙ මොනවද?
මාළු හොදි ඇති 
ගමුද පරාට?
කිරි තේද ?නිකම් තේද?
සීනි අඩුවෙනුයි දැම්මෙ ඔන්න.
ඔයා රෙදි මදිනකොට 
මගේ හැට්ටෙත් මදිනවද?

මට නිදිමත නෑ 
තව ටිකක් ඉඳල එන්නං 
ඔයා නිදාගන්න.
කොට්ටෙ පැත්තකින් තියන්න 
බෙල්ලට හොඳ නෑ දන්නවනෙ .
ඇස් වලට බේත් දාගන්න.
කොලේස්ට්‍රෝල් පෙත්ත අමතකවෙයි."

ඉනික්බිති දෙබස් අවසන් වෙයි.
පලක් නැති පද පෙළක් ලියවෙයි.
කවුළුවෙන් එපිට සඳරැස් වැටෙයි 
කවුළුවෙන් මෙපිට ඝන කළුවරයි.

හිස පීරන කෙල්ල!!!


.
සරතයේ 
අවසාන රාත්‍රිය.

මහත් වෙහෙසැති 
සර සර ගාන තුරු අග 
පාණ්ඩු පාටින් සඳ .

වහල උඩ උයනක 
සිහින් උස බඳුනක
බිඳෙන ඉපදෙන පෙණ .

කවුළුවක් අද්දර 
සේද රෑ ගවුමක් ඇඳ 
හිස පීරන කෙල්ලක.

සිසිරය එතැයි 
මෙලෝ ගානක් නැති 
තාරුකාවක දිස්නය.

බටනලා කවිය!!

.
බටනලා හඬ ඇහෙනකොට 
අදත් එනවා වෙරළට 
සෝ ගී අසනු පිණිස 
රළ නග නගා මුහුද.

"මාත් රැල්ලක් විතරයි 
ජිවිතේ ලුණු රහයි කටුකයි 
ආපහු යන්න ආසයි 
පාර තාමත් මතකයි "

බට පඳුරක් වී සිටි 
සොඳුරුතම මතකය ඇති 
ගංගාවකට පෙම්බැඳි 
බටනලාවට දුක ඇති.

'හැමදාම හවසට 
ගීයක් ගයනවා මිස 
නුඹේ ළඟ දැවටෙන්නට 
නොමැත දැන් මට අවසර.
උඩු ගං බලා යන්නට
වාරුවක් නැති හින්දම 
උදම් රළ සේ සපැමිණ 
මා වසා පැතිරෙනු මැන'.



කෙහෙල් කොළ!!!

.


ඉස්සරම දවසක 
තුරුළුව වෑ බැම්ම මත 
ස්නේහයෙන් බැඳුනු මොහොතක 
මගේ දිගු කෙහෙ රොදක් ගෙන 
ඔබේ කම්මුල පුරා තැවරුව 
නොහික්මුණ හුළඟ .

නාඳුනන කෙනෙක් වගෙයි අද 
ඉන්න හැටි 
කෙහෙල් කොළ ඉර ඉර.

පිරිමි සුවඳක් !!!

.


ඔබෙන් නොලැබුන 
කුළුඳුල් හාදුවක 
සිහිල් පහසක 
මඳක් නවතිමි.

යළිත් නොඑවන 
ආදර හසුනක 
කුරුටු ගෑ කවියක 
අතරමං වෙමි.

මතක කළඹන 
පිරිමි සුවඳක 
ඉව අල්ලමින් 
විඩාපත් වෙමි.

සිහින කුමටද 
විගස එළිවෙන 
සඳට පිටුපා 
පහන් දල්වමි.

සිගරෙට්ටෙක නිමිලා!!!

.

නොරටක හිඳ 
ගමරට බලා එන හැමවිට 
ඔබේ නිවසට ලංව 
සිගරට්ටුවක් බොනු පිණිස 
නවතිමි.

මහලු වුව දං ගස 
ඉඳහිට ඵල දරයි.
දම්පාට දත් ඇති
ජංගියක් හැඳ සිටින කෙල්ලක 
මා දැක කෝළ වී පැන දුවයි.

මල් ගවුමක් හැඳි 
ළපටි යෞවනියක්
බිම් මල් නෙළනු වස් 
කුල්ලක් අතින් ගෙන 
යුහුසුළුව පිය මනියි.

සුන්දරම තරුණියක් 
වක් ඔයෙන් දිය නා 
දිගු ගෙළ පෙන්නමින් 
තෙත කෙහෙ පිස දමයි
රෝස තොල් උල්කර ආදරේයැයි කියයි.

"සර් සිගරෙට්ටෙක නිමිලා" 
රියදුරු කොහේදෝ හිඳ කියයි .
ජීවිතය ගලා යා යුතු තමයි
ඒත් ...........,

'ඔව්.අපි යං '.

ඔබේ මාපටැඟිල්ලක පිංතූරය .!!

.
කොහේදෝ තැනක දුටුවෙමි 
ඔබේ මාපටැඟිල්ලක පිංතූරය .

මගේ දබරැඟිල්ල
තද කොට අල්ලාගත්
බියක් දැනුන විට 
කටේ ඔබාගත් 
ක්‍රිකට් තරඟ නරඹන විට 
නියපොතු හප හපා දිරිගත් 
කොහේදෝ තැනක දුටුවෙමි 
ඔබේ මාපටැඟිල්ලක පිංතූරය .

සම රන්වන්ව 
නිය පැහැපත්ව 
මඳක් වියපත්ව 
තව දුරටත් 
අල්ලා සිටින්නට තහනම්ව.

ඉන්පසු කළුවර.!!

.
ඉර හැරෙන්නට පෙර 
අවසන් රැස් දහර 
මඳක් තද රෝස පැහැයට 
ඉන්පසු කළුවර.

දොළහේ පංතිය 
දුරස්ථ හා සමීප රූප 
තද සුදු පැහැති සමනළුන් 
බර නැති පුළුන් ගුළි .

ඔබ පැමිණියේ ඉන්පසු 
විචිත්‍ර වර්ණ ගෙන 
මෘදුම ස්පර්ශයෙන් යුතුව 
ප්‍රේමයේ වර්ණ සහිතව.

හද සැළෙයි අද ද 
තාරුකාවක ඔබ දැක 
සුලඟක සුවඳ ඉවකර 
කැඩපතෙහි මහලු විය දැක.

අවුරුදු මාස් හෝ දවස් 
මෙලෙසම ගෙවී යනු ඇත 
නොබෝ දිනකින් මේ කව 
සුරඟනන් කියවනු ඇත.

ඉරි කෑලි සේ ලියවුන කවි !!

.
කර්කශ ඉඩෝරෙක
ගසකින් අත්හැරෙන පතකද 
ඉරි කෑලි සේ ලියවුන 
කවි තියෙයි.

එකක් මත එකක් අතුරා 
කදිම පිළිවෙලකට 
සුළඟට ගසායන තුරු 
එහි තියෙයි.

ඔබ අසල වැටුනත් 
හඳුනා නොගත් කවි
අනන්තාකාශයේ 
සැරි සරයි.

මගෙ මැණික !!!

.


මෘදුම කම්මුලක 
ලා රෝස තොල් සළකුණක 
ආදරෙයි වස්තුව ය ලියා ඇත.

අහස් නිල් දෑසක 
දිළිසෙනම කෙළවරක 
නාඬන් රත්තරං ය අලවා ඇත .

සුවඳම පිටි අත්ලක 
එක එක ඇඟිල්ලක් ගානේම 
මගේ ජීවිතය තියා ඇත.

නැලවෙන් මගෙ මැණික 
ආත්තම්මා අත 
කිරි දොවා සුරැකිව තබා ඇත.

ඔබ එනවිට!!!

.
නැවත නැවතත් 
එලෙස සිදු වෙන්ට පුළුවන.

වියළි දහවලක 
පැහැදිළි දේදුන්නක්ව 
නිසළ රාත්‍රියක 
පිනි පතිතවෙන හඬක්ව
මියගිය තාරුකාවක 
ලඟා නොවුණු දිස්නයක්ව 
එක්තරා දවසක 
ඔබ එන්ට පුළුවන.

උණුසුම් කුස්සියක 
මාළු පිණි ඒදන්නියක්ව
දුහුවිළි සාලයක 
ඉපැරණි මල් බඳුනක්ව 
නිදන කාමරයක 
නොසලකාහල යුගල පිංතුරයක්ව
දෑස් යට අව පැහැව,තරව 
මා ඉන්ට පුළුවන.

කවියකට තරම්වත් 
දෙයක් නැති වෙන්ට පුළුවන.

ඇහැට රොඩ්ඩක් ගියා කියන්න.!!

.
දුවේ!
අද හවසට තාත්ති එයි 
ඔයාලව ඇවිදින්න එක්ක යන්න. 
අළුත් අම්මත් එක්ක 
හිනාවෙලා කතා කරන්න.
මල්ලිට මුකුත් තේරෙන් නෑ 
පරිස්සමින් උත්තර දෙන්න.

මැක් ඩොනල්ඩ්ස් හරි කේ.එෆ්.සී හරි ගියොත් 
ආස දේවල් අරගෙන කන්න. 
ඒ වෙලාවට නිකමටවත් 
මං ගැන එපා හිතන්න. 
බැරිවෙලා හරි දුක හිතුනොතින් 
ඇහැට රොඩ්ඩක් ගියා කියන්න.

කවුරු වගේද කියලා කවුරුහරි අහයි .!!!

.
බය වෙන්න එපා ළමයෝ !

ළමයි ඇහුවොත් උත්තර දෙන්න. 
සෙනසුරාදට ස්කයිප් කරනව කියන්න
සිංහල අවුරුද්දට එනව කියන්න 
චොක්ලට් ගෙනාවොත් දෙන්නං කියන්න.

ටීචට සාරියක් මං අරන් දෙන්නම් 
තාත්ත ගෙනාව කියල ගිනිහිං දෙන්න.
ලොකු රස්සාවක් කරන හිංදා 
නිවාඩු ගන්න අමාරුයි කියන්න.

කවුරු වගේද කියලා 
කවුරුහරි අහයි .
කෝකටත් ..,
මාමගෙ ෆොටෝ එකක් 
ළඟ තියාගන්න.

ආස්මී මෙච්චෙර ලොකු මොකද???

.
ඇවිදින කරත්තයක 
අවුරුදු රැස් කරමි.

අප්පච්චී කැමතිම 
මාමයිට් බඳුන් ගෙන 
අතගා ආපසු තබමි.
ඉහළම රාක්කවල හිනැහෙන 
සස්ටජන් දෙස නොබලාම යමි.
ජෙලි පැකට් වලින් වැඩක් නැත 
පුතා කොහෙ එන්නද අවුරුද්දට.

කැවුම් කොකිස් දහය දහය 
පිඟන්වල තියා දෙනු පිණිස 
ආස්මී මෙච්චෙර ලොකු මොකද 
තලගුලි නිකම් පෙනුමට.

කරත්ත පුරෝගෙන 
බිල් කඩන මිනිසුන් අතර 
පුංචිම මිනිසෙකුව 
ගෙදර එමි.

හොරෝ!


.
හඬ පටියක් නැති කවියක 
ස්වරයක වෑංජනයක හැංඟී
කොතෙක්නම් දෙබස් තියෙනවාද 
ඔබට ඒ බව දැනෙනවාද?

තාලයක් නැති ගීයක 
ස්වර ප්‍රස්ථාර තුල සිරවී 
කොතෙක් මියුරු හඬවල් නැගෙනවාද 
ඔබට නිකමට ඇහෙනවාද ?

හ්ම් ශබ්දයක්වත් නොනගා 
සාගරේට බිළිවෙන ගඟකට 
තමන්ටම කියා ප්‍රේමයක් 
තිබුණු බව ඔබ දන්නවාද ?

හොරෝ!
එහෙනං ඔහොම බුකවාගෙන 
තවත් බලාන 
ඉන්නවාද ??

කිරි කිරි ගාන දොර!!!


.
එදින සැන්දෑවේද 
දිගු සෙවනැළි පතිත වී තිබිණ. 
අඩක් විවර දොරකින් 
කිරි කිරි හඬ නැගින .
ඇල්වූ කෝපි බඳුනක 
පිරී තිබුනේය තනිකම.

"ඉතිං අපි යමු 
තව හිටියත් එච්චෙරයි " 
ඉනික්බිති අපි පිටවුනෙමු.
කිරි කිරි ගාන දොරකින් 
දිගු සෙවනැළි අතරින්.
රාත්‍රී එළඹෙන්න පෙර.

තවමත් දිගුය සෙවනැළි 
සමහර සැන්දෑවල.

තාරුකා කියවන අසුන!!!



.
කනින් ඇද වීසිකර සඳකත 
නිමන්නෙමි පහන් හනි හනිකට 
තාරුකා කියවන අසුනක 
වැතිර ඉමි සඳළුතලයෙහි මම.

ඈත තරුවක නිහඬ කුටියක 
කවුළුවක් ඇරේ සුපුරුදු ලෙස 
ඉඳී කිසිවෙකු සඳළුතලයක 
මා මෙන්ම තාරුකා කියවන.

සිනිඳු කෙහෙ සෙලවෙයි සුළඟට 
මධු විතක් හිස්වෙයි මඳ ලෙස 
ශාප කරමින් රැයේ අඳුරට
හීන පොත දිග හැරේ හෙමිහිට.

නොදන්නා කෙනෙක් ඇත තරුවක 
අත නොපොවනා ඉතා ඉහළක 
නිවී යන්නට ප්‍රථම රාත්‍රිය 
ඉතින් සැනසෙන් බලා දුර සිට.

එක තාරුකාවක් නිමුනොත් 
දිදුළන තාරුකා ඇත තව 
එහෙත් ඉන් ලද මිහිරි උණුසුම 
ගින්දරක් සේ දවනු ඇත හද.

කන්පෙති පිටුපස!!!

.
.
සඳ ගෙවෙයි.
ඔබ කැමති 
ජැස්මින් සුවඳ සමග 
කන්පෙති පිටුපස .

ගර්භාෂයක් !


.

හීනිම හුළඟකට වුව 
අවදිවෙන නාටු මල් ගස 
කවුළුවට සන්කොට 
බිඳී කළු සුදු සිහින ලොව.

ලේ සිඳුණු සඳ පළුවක් 
තාරුකා දෙක තුනක් හතරක් 
වලාකුළකින් කොටසක් 
පෙනේ කවුළුවක හැඩයට.

කලබලයෙන් එවන ලද 
චෝදනා පතක් බඳු 
විද්‍යුත් ලිපියකට 
සිතින් බඳිනෙමි උත්තර.

"අන්තිම පින්තූරෙ
ඔයා ඩිංගක් මහතයි. 
පුතා දැන් උස ගිහිං. 
දූ නම් ඔයාමයි.

එයාගෙ එකකුත් එවන්න 
දුක හිතෙන් නෑ දැන් මට 
පපුව හිරවෙන එක 
දැන් අඩුයි, මට පුරුදුයි.

මං නැවතිලා හිටියට 
ඔයා ගිය එක තමයි හොඳ 
මට විඳ ගන්න පුළුවන් 
ගර්භාෂයක බොල් හඬ.

මගෙ ළඟ තියේ තාමත්
ඔයා මට එව් කවියක් 
තැපෑලෙදි පොඩි වුනත් 
කුරුමිණි අකුරු රසවත්.

තවදුරටත් පලක් නැති වුව 
කසාද සහතිකේ පිටපත් 
දික්කසාද සහතිකේ එක්ක 
එකම කවරයක තවමත්. "

උසම කන්දක මුදුනකට වුව 
ඔබ වෙසෙන දෙස නොපෙනෙයි 
මහාද්වීපෙක වෙසෙන ඔබහට 
දුපතක දුක නොදැනෙයි.