Tuesday, October 20, 2015

.....දළඹු ෆොසිල.....







 ඇය අසුනේ හරිබරි ගැසෙමින් ඉයර්ෆෝන් කන් දෙක තුළට රුවා ගත්තා.තව පැය දෙකක් නියමිත යානය එනතුරු රැඳී සිටිය යුතුයි.ඉන්පසු තව පැය දාසයක ගමනක්.එයාර්පෝට් එකට පුතා ඇවිත් ඉඳී . 
ඔහු හරියටම ඒ වෙලාවේ එතැන පසුකර යමින් උන්නා.වෙනත් යානයකට. විදුළියක් කෙටුවාක් මෙන් ඇය අසල නැවතුනා.'සමහරවිට අඳුනා ගන්න එකක් නෑ .' 
ඇය මඳක් වෙව්ලුවා.ඉයර්ෆෝන් කන් තුළ රුවාගෙනම ඉද්ද ගැසුවාක් සේ නැගිට්ටා. "ඔයා....?"
 කාලය ඉරුණු තැන් පුරුද්දමින්,රිදුනු තැන් අතගාමින් ටිකි ටිකි හඬ නගන්නට වුනා. සම මඳක් රැලිවී ,කම්මුල් දිස්නය තුනී වී,තැන තැන ඉදුණු කෙස් ගස් සහිත කුඩා ළමයින් දෙදෙනෙක් එකිනෙකා දෙස ඇසි පිය නොහෙලා බලාගත්වනම බලාගෙන උන්නා.

 'මට දුවෙක්. ලබන මාසෙ වෙඩින් එක.'

 "පුතා බැඳලා .මම බබා බලාගන්න යනවා."

 'පැය එක හමාරක් තියෙනවා ෆ්ලයිට් එකට.සති දෙකක ටුවර් එකක්.' 

ඇය සිනාසුනා.විසි පස්‌ වසරකට පෙර මෙන්ම කම්මුලේ සුළියකුත් සමග.

 'මට වෙලාවකට හිතෙනවා ඔයා උත්තරයක් එවන්න ඇති. තැපෑලෙදි නැති වෙන්න ඇති කියලා. එක්කෝ තැපැල් කාරයා ලියුම කඩන්න ඇති.ඔයාගේ ලියුම් කොහොමත් බර නේ. වටිනා කියන මොකවත් නැති හින්දා අකුලකට විසි කරන්න ඇති.'
 ඇය නැවතත් සිනාසුනා. තරමක් ශෝකයෙන්. 

"ඇත්තම කියනවනම් මම ලියුමක් එව්වේ නෑ ."

 'එහෙනං '

 "මම පැනල ගියා."

 'පැනල ගියා? කොහෙටද?'

 "වෙන තැනකට ." 

'කවුද අර බොකුටු කොණ්ඩ හාදය ළඟටද ? මිනිහට හරි හමන් රස්සාවක් තිබුනෙත් නෑ නේද ඒ කාලේ?'

 "ඔව් වෙන්න ඇති. ඒ වුනාට මිනිහට ගිටාරයක් තිබුනා.මට හරියටම පිළිවෙල මතක නෑ .එතනින් වෙන තැනකට,ඉන් පස්සේ තව තැනකට." 

'ඔයා කිය කියානේ හිටියේ,ඔයාට ඔයාව හොයා ගන්න ඕනි කියලා, ඉතින් ඔයාව හම්බ වුනාද?'

 "නෑ .වෙලාවකට හම්බ වෙන්නම ඇවිත් මගෑරුනා .වෙලාවකට ඒ මමෙයි කියලා හම්බ වෙච්චි කෙනාට මං කැමති වුනේ නෑ .

" 'ඉතින් ඔයාට මුකුත්ම ලැබුන් නැද්ද?'

 "ලැබුනා.අන්තිමට. ට්‍රංක පෙට්ටියක්."

 'ට්‍රංක පෙට්ටියක්.???'

 "ඔව්.මම ඒක ගෙදර අරං ගිහිං ඇඳ යටට තල්ලු කළා."

 'ඇරලා බලන්නෙත් නැතුව?'

 "බැලුවා."

 'ඉතිං මොනවහරි තිබුනද?'

 "ඔව්.තිබුනා.දළඹු කෝෂ ෆොසිල හත අටක්"

 'දළඹු කෝෂ ෆොසිල ??

 ' "ඔව්.සමනළයින් වෙන්න කළින් නැවතුණු .එහෙමම ෆොසිල වුනු." 'සමනළයින් වෙන්න ඇරියනම් ඉවරනේ.'

 "සමනලයින්ට බඩගිණි වෙනවනේ."

 'ඉතිං ?' 

"ඉතිං එයාලා ඉගිලෙන්න පටන් ගන්නවා.එක මලක වුනත් ඒ හැටි පැණි නැහැ නේ.මලින් මලට යන්න පටන් ගත්තම මල් මතක වියැකිලා යනවා." 

'ඉතිං දළඹු කෝෂ වලට වුනත් ආහාර ඕනි නේ.' 

"ඔව්.නමුත් ඒවට හෙලවෙන්න බෑ නේ. ඒ නිසා ටික කාලයක් ගියාම ෆොසිල වෙනවා."

 'ඊට පස්සේ?' 

"ඊට පස්සේ බැලින්නං කාලය ගෙවිල ඉවරයි.මගේ ශරිරයෙත් හෝමෝන තිබුනනේ. අම්මල හොයල දුන්න. හා කිව්වා."

 'ඔයාට තිබුනා මට ලියුමක් එවන්න.නැත්නං ටෙලිග්‍රෑම් එකක්. මම එතකොටත් බලාගෙනයි හිටියේ..'

 "එතකොට එස්.එම් .එස් යුගය ඇවිත්."

 'ඔයා දන්නවද මම තාමත් බලාගෙන ඉන්න වග.මොන තරම් බැඳීම් තිබුනත් මම සම්පුර්ණයෙන්ම හිස්වුනු හර්ද වස්තුවක් තියෙන කෙනෙක්. ඔයාට මතකද මම ඒ දවස්වල බස් එකේ යනකොට නවකතා පොත් අරන් ගියා.ඔයා කොන්ඩේ පැත්තට පීරලා යුනිෆෝම් ඇඳලා ගිය කාලේ. මම කවදාවත් පොත් කියෝපු කෙනෙක් නෙමේ.ඔයා ඉල්ලයි කියලයි ඒ අරං ගියේ.'

 "මට මතකයි."

 'ඔයා ඒවා ඉල්ලුවා.කියවලා ආපහු දුන්නා,තියාගන්න කියලා කොච්චර කිව්වත් . මට තේරෙන්න තිබ්බා.ඔයා මාවත් ආපහු දෙයි කියලා.'

 "ඒ කියන්නේ ඔයා දැනගෙන හිටියා."

 'ඔව්.ඒත් මම මාව ආපහු බාර ගත්තේ නැහැ.ඒක නීති විරෝධියි. කුයින්තාන්සියක්වත් නැතුව ආපහු දෙන එක.'

 "ඉඳහිට වෙලාවක මම ට්‍රංක පෙට්ටිය ඇරලා බැලුවා. ඒක ඒකෙ තිබුනා.කුයින්තාන්සිය."

 'සැරෙන් සැරේ ඔයා ඒක දිහා බැලුවද? ඒ වෙලාවකට මටත් එන්න තිබුනා.'

 "ඔයාට එන්න වෙන එකක් නෑ .අපේ ගෙදර සැර බල්ලෙක් හිටියා. අවසරලත් අයට විතරයි එන්න පුළුවන් වුනේ.බල්ලා කුයින්තාන්සි ගැන දැනගෙන හිටියේ නෑ ."

 'ඔයා කවියක් ලියපු පුංචි කොළ කෑල්ලක් මගේ ළඟ තාම තියෙනවා.මට ඒක කට පාඩම්.දැන් කවි ලියන් නැද්ද ඔයා?'

 "කියවන්න කෙනෙක් නැතුව කවි ලියන එක මහා වෙහෙසකාරී වැඩක්. කවි වෙනුවට මම චෙක් ලියන්න පුරුදු වුනා. ඒක හරි විනෝදයි.ප්‍රතිපලත් ලැබුනා.ඉන් පස්සේ මට සතුටින් ඉන්න පුළුවන් වුනා.චෙක් හරි වටිනවා.පිටිපස්ස පැත්තේ කවියක් වුනත් ලියන්න පුළුවන්."

 'ඉතිං අර අම්මලා හොයාදුන්නු කෙනා? එයත් ෆොසිලයක් වුනාද?'

 "නෑ .එයා ඒකට කැමති වුනේ නෑ .එයා සමනළයෙක් වුනා."

 'ඒ කියන්නේ??' 

ඇය ඔරලෝසුව බැලුවා.සිනාසුනා.වෙලාව හරි.
 
'ඔයා මාස හයකින් ආපහු එනවද? අපිට දවසක හම්බ වෙන්න පුළුවන්ද? ඔයා ෆේස් බුක් ඉන්නවද? ස්කයිප්? වට්ස් ඇප් ? මට ටෙලිෆෝන් නොම්මරේ දෙනවද?' 

"මට දැන් පනස් හතක් .ඔයාට හැටක් ."

 'නිකං දුක සැප අහන්න විතරක්.ඔයා හොඳින් ඉන්නවද දැන ගන්න විතරක්.'

 ඈ නැගිට්ටා. ඔහුගේ හිස පහලට ඇද නළල මත දිගු හාදුවක් තැබුවා.උණුසුම්.තෙත.තොල් සායම් පැහැය මඳක් තැවරුණු . 
පසු නොබලා ඉදිරියට ගියා.

සමනළියක් විලසින්. 

ඔහු තව බොහෝ වෙලාවක් එක තැන නතරව බලා සිටියා. 

දළඹු කෝෂ ෆොසිලයක් විලසින්.

17 comments:

  1. මං මොකුත් කියන්නෙම නැ මයි
    ඒත් කියන්නම ඕන...
    මිනිස්සු පරණ වෙනව ඒත් ආදරේ අලුත් වෙනව...
    පිස්සු හැදෙනව හරි අපූරු කතාවක්

    ReplyDelete
    Replies
    1. ආදරෙත් හරියට මීදුම වගේ. දැවටෙනවා.ඉන් පස්සේ දාලා යනවා.
      ස්තුතියි!

      Delete
  2. කවියක් වගේම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තරු රාශි !!

      Delete
  3. Replies
    1. ස්තූතියි ගී පවුර!

      Delete
  4. මේ අද්දැකීමට ටිකක් සමාන එකක් මම කවියකින් ලිව්වා මතකයි. මේක හරිම ලස්සන සිදුවීමක්.

    ReplyDelete
    Replies
    1. සුළු සිදුවීමක් ! කොතැන හරි කාට හරි සිදු වෙන්න පුලුවන් .

      Delete
  5. අපොයි.....
    මේක තවත් ඇත්ත කතාවක්ද? මට දැන් බයක් දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතා වලට බය වෙන්නෙ මොකෝ?

      Delete
  6. පත්තරේ දාලා පස්සේ බ්ලොගට දාපු එකක්ද??? පරණ කතා කිපයක්ම මතක් උනා..

    ReplyDelete
    Replies
    1. අද දිනමිණ e paper එකේ තිබුනේ.

      Delete
  7. හිතට දැනෙන විදියට ලියලා තියනවා සින්ඩරෙල්ලා .ලස්සනයි.
    වේලාවක් තිබ්බොත් අපේ පැත්තටත් ඇවිත් යන්න http://aseniwesi.blogspot.com
    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි .මම දැන් හිතන් ඉන්නේ දවසට පැය තිස් පහක් වත් ඕනි කියල ආණ්ඩුවට කියන්න.

      Delete
  8. රසී!
    ඔයාගේ කතා හද රිදවනසුළුයි. දීර්ඝ කවියක් වගෙයි ගලායන්නේ. මම මේකට පුදුම තරම් ආසයි!

    මම කැමති අත්තටු දෙකක් ණයට ගත්තු දළඹු පොසිලයක් වෙන්න. මොකද හිතන්නෙ ඒ ගැන.

    ReplyDelete
    Replies
    1. ඔයා වැඩේ කාගන්නයි හදන්නේ. පොසිල තමයි හොඳ! උවමනා වෙලාවට අරගෙන බලලා ආයෙම හංගලා තියන්න පුළුවන්.

      Delete
  9. එතකොට එයා සමණළියක් !!

    ReplyDelete