Tuesday, February 17, 2015

ප්‍රේමය සිදුවෙයි.!!!

.
ප්‍රේමය සිදුවෙයි.
ඔව්! ඇත්තටම.

පාන්දර පහට 
"උයන්න කම්මැළිනං නිකං ඉන්න" කියද්දී 
එය සිදුවෙයි.

බස් රියට නගින විට 
"පරිස්සමින් නගින්නැ"යි කියන විටද 
එය සිදුවෙයි.

"ඔයා කන්න කැමතිම" කියා 
වඩේ දෙකක් ගේනකොටත් 
එය සිදුවෙයි.

"ඩිංගක් මහත් වුණාට 
ඔයා තාමත් ලස්සනයි "
කියන විටත් එය සිදුවෙයි.

"මං කියන මෙලෝ මල ඉලව්වක් 
ඔයාට තේරෙන් නෑ" 
කියන විට පවා එය සිදුවෙයි.

ප්‍රේමය සිදුවෙයි.
විශේෂ කාරණාවක් නැතිව 
විශේෂ දිනයක් නැතිව 
විශේෂ ආටෝපයක් නැතිව 
එය සිදුවෙයි.

Wednesday, February 11, 2015

හදවත නැති සිතියම්!!!


.
මගේ උකුළෙන් 
මගහැරුණු දින සිට 
පුත නුඹ සොයමි 
ලෝක සිතියම ගෙන.

සඳද මියගිය රාත්‍රී නගරෙක 
දැවෙයි සෙනෙහස 
හදවතක හැඩ ගෙන.
කොතෙක් වෑයම් කලත් සෙවුමට එය 
කිසිම  සිතියමක 
හදක හැඩයක් නැත.

බියර් බොන කවිය!


.

ඔයාට තේරෙන් නෑ ළමයෝ!
මක් වෙනවද 
බියර් ඩිංගක් බිව්වට?
වෙරි වෙනවයැ 
අනික නිවාඩු දවසේ 
ගෙදර ඉඳන්.

ඉස්සර බිව්වෙ නෑ තමයි 
ඔයා කැමති වුනෙත් ඒ හින්දනේ .
කොච්චර කාලයක් ගතවෙලාද 
හති හල හල දුව දුව.

මතකද ගේ හදන දවස්සල 
ඔයාගෙ කරාඹු උගස් තිව්ව හැටි 
කරපිංච නැටි ගහගෙන හිටියෙ 
හරි වේදනයි මතක් වෙනකොට.

හැමදාම රෑට කෑවෙ පාන් 
පඩි දවසට කලින් දවසේ 
කැටේ සල්ලි අරන් ගියේ 
ගානට ගැනගෙන .

පුතාට සැප දුන්න තමයි 
තව කොච්චර දේවල් දෙන්න තිබුනද? 
කවදාවත් ඇඬුවෙ නෑ 
අරව ඉල්ලල මේවා ඉල්ලල.

ඔයාට අඳින්න නැති වුනාම 
නංගිලා දෙන්න ගවුම් අරං දුන්නෙ .
එතකොට ඒ ගොල්ලෝ බැඳල නෑ 
මට මැරෙන්න හිතුන එදානම්.

බියර් නම් මොකද 
කිරි තේ බිව්වෙත් උදේට විතරයි 
අම්මත් සල්ලි එව්ව පෙන්ෂන් එකෙන් 
අප්පච්චි හිටියෙත් හරි දුකෙන්.

ඔයාට මතකද වත්සලා 
ඇඳුම් දැම්මෙ කාඩ් බෝඩ් පෙට්ටියක .
කළුවරේ පිපුණු තරුවක් වගේ 
ඒත් ඔයා හිටියෙ හිනාවීගෙන.

දැන් කරදරයක් නැති වුනාට 
මට ඒව මතක් වෙනවා 
ඔයාට දුක් විඳින්න වුනාට 
වැරදිකාරය මමද වත්සලා?

ඔයා කැමතිම නැත්නං 
මම බියර් නොබී ඉන්නම්. 
ඒත් මේ නිවාඩු දවසේ 
බියර් ඩිංගක්,ගෙදර ඉඳන්!

Monday, February 09, 2015

දුඹුරු කහ මිශ්‍ර ගවුම!!



.
ඔබේ අතේ එල්ලී 
මුහුණ බල බලා හිනැහෙන 
දුඹුරු කහ මිශ්‍ර ගවුම හැඳි 
කුඩා ළදැරිය මා විය හැක.

අළුයම මල් නෙලන මොහොතක 
ගසින් ගසට පැන පැන විත් 
නහය මත පතිත පිණිබිඳ 
ඔබ නොදත් වුව මා විය හැක.

අඩක් විවරවූ කවුළුවක 
නිරන්තරයෙන් වැළපෙන
අව් වැසි වැදී මහළු වුන
සුළං සීනුව විය හැකිය මම.

මේ භවයෙහි දිනෙක 
අත් හැරුණු ශෝකයෙන් පීඩිත 
නොයෙක් වෙස් ගෙන පැමිණෙමි 
මතු භවෙක හමුවෙනු පිණිස .

"වෙන්කර ඇතැ"යි 
දැන්වීමක් අලවනු මැනව .

Wednesday, February 04, 2015

ඩෙනිම් කමිස!!!!


.
මට අහන්න බැරිවුණා.

ඔයා දැන් අඳින්නේ 
සුදු පාට අත් දිග කමිසමද ?
ඩෙනිම් අත්කොට කමිස වෙනුවට. 
මට ඔසරිම අඳින්නලු 
ගවුමට නේද මම ලස්සන?

Monday, February 02, 2015

දුක හිතෙන කවුළු!!!

.

රෙදි වැල්වල 
උඩ පැන පැන හිටි 
රෙදි නැමෙයි 
ගෙට යමං කියයි.

දුක හිතෙන කවුළුවල 
තිර වැසෙයි. 
කි.රි.ස් ගා 
අගුලු පහතට වැටෙයි.

නිශ්ශබ්ද සාලයට 
පහන් එළියක් එබෙයි. 
පුටු මේස පින්තූර 
බිම බලාගෙන හිඳියි.

කොහේදෝ ගෙදරක 
උස් සිනාවක් ඇහෙයි 
සීනි සම්බෝලයක් 
බැදෙන සුවඳක් දැනෙයි.

හෙමි හෙමින් සඳැල්ලට 
අන්ධකාරය ගලයි 
"වහල දාන්න දොර"
ඔබ සෙමෙන් දොර වසයි.