Tuesday, September 12, 2017

Sunday, May 14, 2017

සුකුරුත්තන් !!






.
අත් පසුම්බිය දිගහැර 
කිළිටි නෝට්ටු,තොල් අඳුන් කූරු 
සුකුරුත්තන් හා යතුරු 
ඈත් මෑත් කර සොයමි 
ඒ මනරම් රැයෙහි 
බොහෝ සේ දිළිසී වෙහෙසී 
බිම වැටි පරවූ 
තාරුකාවක් තවමත් 
තියේදැයි අමතකවී.

Saturday, May 13, 2017

දඬුවම් ......!!




ඔබ විසින් කියවන 
විටෙක නොකියවා ඉවතලන 
විස්මයාර්ථ ලකුණු ඇති 
ප්‍රශ්නයාර්ථ නොනගන 
අක්ෂර වින්‍යාස හා 
ව්‍යාකරණ දෝෂ බහුල 
මා එවන කුඩා ලිපි 
එහෙත් ඒ මගේ කවි ය.


ප්‍රේමයේ මග දිග 
අන්ධයෙක් සේ ඇවිදින 
මිහිරිතම වදන් ගිලගෙන 
ගොළුවකු සේ හැසිරෙන 
සුවඳ ඉවකර සැනහෙන 
ඔබේ දෙපයට පෑගෙන 
සිහිනෙකින්වත් නොලැබෙන 
එහෙත් ඒ මගේ ස්නේහය.


සෙල් ටැඹක් වෙනු පතමින් 
වාරු කරගනු පිණිස 
මල් වැටක් වී හිඳිමින් 
සිරස මත මල් හලන 
කල් අරන් ළඟ රැඳෙමින් 
අදිසි වෙන්නට තනන 
ඔබට නොහැඟේ තවමත් 
මා ඔබේ සොඳුරු දඬුවම.

සැළසුම් !!



'මේ ගිම්හාන සෘතුවේ
ඔබේ සැලසුම් මොනවාද?'

"රෝස පෙති ඉලිප්පෙන තටාගයක 

කර වටක් 
ගිලී ..ගිලී ...ගිලී ඉන්න."


'මේ වස්සාන සෘතුවේ
ඔබේ සැලසුම් මොනවාද?'

"කපුරු පෙති ඉලිප්පෙන තටාගයක 
කර වටක් 
ගිලී ..ගිලී ...ගිලී ඉන්න."

'මේ සිසිර සෘතුවේ
ඔබේ සැලසුම් මොනවාද?'

"සමන් මල් ඉලිප්පෙන තටාගයක 
කර වටක් 
ගිලී ..ගිලී ...ගිලී ඉන්න."'

'මහත්මිය, 
මහත් ඒකාකාරීය 
ඔබේ මුළු දිවියම
හිස් ය ,අවර්ණය .'

"මහත්මයා,
ලොම් ඇඳුම් නැත අපට ඔබ මෙන් 
එකම කපු ගවුම 
හරව හරවා අඳිනු මිස."

Sunday, May 07, 2017

කපුටෝ!!







.
කුරුල්ලන්ට 
ජල බඳුන් තබමි.
කපුටෝ පැමිණ දිය බොති.
ගල් කැබළි විසිකර එලවමි.

උන් කුරුල්ලන් නෙමේද ?
නෑ ! උන් කළු කැත සත්තු.

ඇලෙන සුළුය,පිපාසිතය,නින්දිතය!!




අවසන් විය යුතු හෙයින් 
පටන්ගත් සියලු දෙය 
නොඇඳ ඉන්නද චිත්‍රය? 
නොගයා ඉන්නද ගීතය?

හැකිවේනම් ඔබට 
දැල්වෙන්න අමතර මොහොතක් 
සපථ වෙමි පිළිස්සෙන්නට 
දෙඅදර රඳවා මඳහසක්.

අරුණෝදය මෙන් 
පැහැදිළිය,මනස්කාන්තය,බිඳෙන සුළුය 
මධ්‍යාහ්නය මෙන් 
ඇලෙන සුළුය,පිපාසිතය,නින්දිතය
සන්ධ්‍යාව මෙන් 
සෞම්‍යය,රාගන්විතය,ශෝකාන්විතය 
පෙම්වත ,මගේ ප්‍රේමය .

අවසන් කපුරු පෙත්ත!!







ඔබ සෙමෙන් බැස යන්න.
අවසන් හිරු කිරණ සේ සිසිර කල.
මොහොතක් පමාවී 
වහ වහා බැස යන්න.

පොකුණ තුළ ගිලීහුන් 
 යටිකුරු සෙවනැල්ලක්ව 
බොඳවූ චල චිත්‍රයක් ලෙස 
අවසන් කර ඔබ යන්න.

සුළඟට ඉබේ නැළවෙන 
ළදැල්ලක්ව ප්‍රාණවත්ව 
හදිසියේ ගිලිහෙණු රුචිව 
හඬක් නොනගා ඔබ යන්න.

යායුතු වුව මා ද
දල්වමි අවසන් කපුරු පෙත්තද 
වහා නිමී ගිය පසුවද 
ඉවකර සැනහෙනු පිණිස අත්ල මත.

මොකද්ද බං ඒ කවිය?







මොකද්ද බං ඒ කවිය?
මතක් කලාට කලාට 
මතක් නොවෙන 
පැයක් තිස්සේ මාන්සි වෙලා ලිව්ව 
ඒ කවිය?

අන්තිම වාරෙ ගණන් උගන්නන්න ආවෙ 
සුදුම අඳින සුදුම සුදු 
අර ගීතානි යාළුවෙලා හිටියේ
එයා ගැන නේද ලිව්වෙ අපි 
සුදුනි ඔබෙ හිතත් සුදු ද අනං මනං වගයක්.

කොහෙද බං යන්නේ මේ?
කට්ට කලුවෙලා තට්ට තනියම
බැන්දා නේද උඹ ඒ කාලෙම 
බොදු ගොවි ඉඩම් හිමි 
කෝ දැන් පැනල ගියාද ඌ ?

මං බැන්දෙ නෑ බං 
මං ඉගෙන ගත්තා 
ඊට පස්සෙ කාර් එකක් ගත්තා 
මහ ගේ නම් හම්බුනානේ 
අම්මයි තාත්තයි මැරුණ බං .

මං ආපහු ඉගෙන ගත්තා 
ඉහළට,ඉහළට,ඉහළට
ඉහලට ගියාම බය හිතනවා බං 
පහළ බලන්න 
වැටෙයි කියලා,රිදෙයි කියලා.

දවසක කුණාටුවක් ආව 
හිල් වුනානේ බං විමානේ 
 කෙලින්ම බිමම තමයි.
තුවාළයි,බිඳුම් ගොඩයි.
හර්දේ වස්තුවත් කෑලි,කෑලි.

මොකෝ උඹ හිනාවෙන්නේ 
මටත් තිබුණා හර්දේ වස්තුවක්.
දැනගත්තෙත් එතකොට මං 
 කොහෙන්ද මිනිහෙක් ඇවිත් 
අහුලලා දුන්න බං කෑලි .

මිනිහ කෑලි අහුලලා මට දුන්නා 
මං කිව්වා ඔයාම තියාගන්න 
ඉල්ලපු දවසක ආපහු දෙන්න 
සින්නක්කර දෙන්න බෑ බං 
දූලම දෙන්නයි.

මට ඉල්ලන්න හිතෙන්නෙත් නෑ 
එයා ආපහු දෙන්නෙත් නෑ 
මට ආයෙ ඉහළ යන්න හිතෙන්නෙත් නෑ 
එයාට මා එක්ක රැඳෙන්නත් බෑ 
මට පව් ද බං , නැත්නං මම පව් ද?

ඔන්න ඔව්වයි විස්තර 
ඒවායින් වැඩක් නෑ බං 
මොකද්ද කියපං අර කවිය 
වෙන මොකටවත් නෙමෙයි බං 
කවි ලියන්න හිතෙනවා ආපහු මට.

අසනීපයක්ද බං මට?

නාඩි වැටෙන තැන!!




.
නන්නත්තාර සැඳෑවක
උමතුවෙන් මෙන් බලාඉමි 
ඔබේ සීතල ඇඟිලි තුඩු 
හිස පිරිමදිනතුරු පමාවෙමි.

ඔබ හිඳී තැන්පත්ව 
පබඳිමින් මියුරු කවිපද 
සෙමින් දොර වසා නික්මෙමි 
කළුවරේ හිස ගසා වැළපෙමි.

ප්‍රියේ!
කල් ඉකුත් නොවන මතක ඇත 
ප්‍රේමයෙන් බැඳුනු එදවස 
නාඩි වැටෙනා තැන සොයා 
සිඹ සිඹ සැනැහුණු අත්ලක.

නිශ්ශබ්ද!!



.

සුරඟනන් ඇස් වසා 
නිශ්ශබ්ද හෝරාව අරඹයි 
තණ පළස හිසනමා 
වැහි බිඳක කිතිකැවුම උහුලයි 
තාරුකාවක එළිය 
පහන් දැල්වෙන තුරුම දිදුලයි 
ඔබ නොකී දේ සිහිව 
මගේ සිත ශෝකයෙන් වෙව්ලයි.