Thursday, June 26, 2014

ඔබ පිපී හිඳිතැයි සිතා!!!

.....ඔබ.....

දිළී හිඳිතැයි සිතා 
ඝන රැයක 
තරු ගනිමි.

පිපී හිඳිතැයි සිතා 
අතු පතර 
ඉව කරමි.

එතී හිඳිතැයි සිතා
මඳනළක 
එහි වෙළෙමි .

යළිත් ඒයැයි කියා 
කැඩපතට 
බොරු කියමි.

Tuesday, June 24, 2014

සිප ගැනීමෙන් පසුවද !!!

.
මතකද එකල 
බොහෝ ඉස්පාසු තිබුන වුව 
ජීවිතය විඳින්නට 
කලබල කල තරම අප.

අතින් අල්ලා ගිය වුව 
නොසෑහී දුක්වූ අයුර 
සිප ගැනීමෙන් පසුවද 
හෙලූ සුසුමන් අපමණ . 

හැල්මේ දුවන අතරමග 
සැතපුම් කුළුණු පසුකර 
දුෂ්කරම මොහොතක 
බැඳ තිබූ බැමි ගිලිහිණ .

තාරුකා යට වැතිරී 
අතීතය සොයන මොහොතක 
ප්‍රියේ නුඹ හමුවෙයි 
මා මෙන්ම කවුරුන්ද සොයමින.

Monday, June 23, 2014

දෛවයේ සිතියම!!!

.
අපි පාට කළෙමුය 
දෛවයේ සිතියම
ප්‍රේමයේ පැහැයෙන්. 
මුහුදු යැයි සිතාගෙන 
රළු කාන්තාර.

Sunday, June 22, 2014

නාඳුනන,හඳුනන!!

.
නාඳුනන සිත්තරෙක් 
අහම්බෙන් සිතුවම් කළ
ඔබේ චිත්‍රයක් ඇත තවම
මඳක් පාටගිය,එහෙත් පොඩිනොවුණ .

වම් කම්මුළෙහි
නිතර නැගෙනා සිනා සුළිය 
කොතරම් හොඳින් ඇඳ ඇත්ද එහි 
නාඳුනන තැනැත්තෙක්,හඳුනන මට වැඩිය.

Thursday, June 19, 2014

නුඹටත් මහන්සිද??



.
මා ප්‍රිය........!

දුකකට හිස අතගාන 
අත 
තනිවට අතැර නොයනා 
සිත 
රිදෙව්වත් කඳුළු නොඑනා 
නෙත 
මහන්සියි නේද නුඹටත් 
මිත.

එය ගණන් ගත යුතු නැත!!


.
සොඳුර,
ඔබ කැමතිම විදියට 
(මගේ ප්‍රියතම)
වසන්ත කුසුම් මත 
අතුරවා ඇත 
හිම.

Tuesday, June 17, 2014

අප කුමක් කරන්නද පෙම්වත!!!





.
විඩාබර ඉඩෝරය නිමාකර 
මුදු හඬින් වැසි බිංදු වැටුනාට 
පෙම්වතුන් එකිනෙකා තුරුළු වී 
වර්ෂාවෙ ප්‍රමෝදය වින්දාට 
අප කුමක් කරන්නද පෙම්වත 
දෙඅතකට වෙන්ව ගිය හින්දාම.

අළුපාට වලාකුළු පෙළ ගැසී 
සඳ පාන මොහොතකට නිවුවාම 
සීත සුළඟක් ඇවිත් රහසේම 
සිල් බිඳෙන කතාවන් කිව්වාට 
අප කුමක් කරන්නද පෙම්වත
බැඳෙන්නත් පෙර බැඳුම් බිඳුනාට .

අතර මග නතරවෙන හැම විටම 
මතක සලකුණු ඇසට පෙනුනාට 
යා යුතුව ඇතත් තව බොහෝ දුර 
ඉතින් නම් වාරුවක් නැතුවාට 
අප කුමක් කරන්නද පෙම්වත
හඬා වැළපෙනු මිසක හැමදාම.

අප නතර වූ බවක් නොතකාම 
ජීවිතය ඉදිරියට දිව්වාට 
කාලයේ තැලුම් පහරට ලක්ව 
හදවතෙන් නිතර ලේ ගැලුවාට 
අප කුමක් කරන්නද පෙම්වත
මොහොතකට එඩි බිඳුණු හින්දාම.

අත්ල තදකර අත්ලට!!





.
අකුළන පුටු දෙකක් ගෙන 
එන්න යමු ගං ඉවුරට.
අත්ල තදකර අත්ලට 
බලා ඉමු තරු අහස දෙස.

උණ කොළ සැළෙයි 
ගං දියේ සඳ සැතපෙයි 
අවතාර කතාවක මෙන් 
සෙවනැළි දිගයි අඳුරුයි.

සුරඟනක් මෙන් රඟපෑ 
සුන්දරම කාලය නිමයි .
වීරයෙක් වෙන්නැයි හිතූ 
සිතුවිල්ලට පවා හිනහයි.

උමතු වූ මත්ස්‍යයෙකු 
ගඟෙහි සඳවත මත නටයි. 
ළයෙහි හිස රඳවන්න 
වදන් මින් මතු අකැපයි .

Monday, June 16, 2014

රහසකින්වත් පවක් වී නැත.!!






තාරුකාවක් වූ හෙයින් ඔබ 

නොදැන සිටියෙමි 

මළ වගක් තිස් වසකටත් පෙර.


සිහිළ විඳිමින් හිඳි වුවත් මම

ප්‍රියේ නොතැවෙන් 

රහසකින්වත් පවක් වී නැත.

Tuesday, June 03, 2014

දත් පහරවල්!!



පැමිණ ඇත 
වස්සාන ඍතුව 
සියුම් දත් පහරවල් තබමින් 
ගෙල මත.

ආතුර වූ සිතින් !!

.
නොලියවෙන වග දැන දැනත් 
එකදු කවියක් මා ගැන 
කියවමි ඔබේ කවි 
සොඳුරු අඟනුන්ට ලියවුණ 
ආතුර වූ සිතින් 
හෙලා කඳුළැලි තනි යහන මත.

ප්‍රියේ ඔබ අවදිව 
විවර කරනා විටදි කවුළුව 
තණ පත් අතර රැඳවුන 
මල් තුහින ඇත කවක වෙස් ගෙන.
කිසිවෙකුත් නොකියවන 
කවිය ඒ මා ලියූ ඔබ ගැන.