Thursday, July 31, 2014

ඇතුලට ඇරෙන දොරවල්!!




.
උමගක සිරව 
ඇතුලට ඇරෙන දොරවල් මිස 
පිටතට ඇරෙන දොරවල් රහිත .

වැසි වැටෙන සෘතුවක!!

.
එක්තරා නුවරක 
වැසි වැටෙන සෘතුවක 
තුරුළුව සෙනෙහසින්
නෙලුම් කොලයක් මතට 
වැටෙන වැසි බිඳු ගණන 
ගණන් කල දින අපමණ.

ප්‍රියය 
නොරැඳින එක බිඳක්වත් 
පත මත.

Tuesday, July 29, 2014

පපුවට කන තියලා බලන්න ඇත්නං !!!

.
ඕනිනං ඩිංගක් 
මහත්වෙලා ඇති 
ඉස් මුදුනෙ කෙස්ගස් 
තුනී වෙලා ඇති.
පපුවට කන තියලා 
බලන්න ඇත්නං 
හරියටම අඳුනගන්න හැකි.

Sunday, July 27, 2014

ගිලුණු තරු!!

.
කූරු ගා විල් දිය
ගිලුණු තරුවක් සොයයි 
මඳනල.

වියෝ ගීයක් ගයයි 
හිස් වෙන්න ආසන්න 
මධුවිත.

පහන් තිරයක් නිමෙයි 
මහත් එළි විසිරුවා 
අවසන .

Saturday, July 26, 2014

බඳුන සහ මම!

.
පෙම්වත,
බඳුනක්මි මම.
ඔබ 
වයින්ය ඉතා රස.
දුකකි 
ඔබ හැඩ කරනු මිස 
ඔබ හැඩය ගනු බැරි එක.

සිහිනවල පාට!!




ඔබ සිහින දකින්නේ කවරාකාරයෙන්ද ? 

සුදු හීනි දෙපා ඇති 
රුසියන් තරුණියන් ගැන 
සිහින දකින්නේ රතු පාටින්ද?
කතා බහ කරන්නේ රුසියන් භාෂාවෙන්ද ?

කෙටි කොණ්ඩා සහිත 
සරාගී ප්‍රංශ ළඳුන් 
සිහිනෙන් පෙනෙන්නේ දම් පාටින්ද?
කතා බහ කරන්නේ ප්‍රංශ භාෂාවෙන්ද?

රන් පිළිමයන් බඳු 
හින්දි ලලනාවන් 
රඟ දෙනු දකින්නේ රෝස පාටින් නේද?
කතා බහ කරන්නේ හින්දි භාෂාවෙන්ද?

සියලුම පාට ඉවරවූ පසුද 
දකින්නට තව සිහින තියේනම් 
පෙම්වත ,
අවර්ණ වර්ණයෙන් වුව 
මා සිටින සිහින දකිනු මැන 
ප්‍රේමයේ ගොළු බසින් දොඩනු මැන .

Monday, July 21, 2014

මම මා කියවන අයුරු .!!!



සුමිතුර,
සපැමිනෙන්න 
පිටදී මල් හලන ගසකට 
ඇහුම්කන් දෙනු පිණිස 
මම මා කියවන අයුරු .

මෙතෙක් නොකියවූ ඡේද
තරමක් ඉහළ ස්වරයෙන්ද 
සෘංගාරාත්මක කොටස් 
ඉතා රහස් හඬකින්ද 
මා කියනයුරු අහගන්න.

ප්‍රකාශයට පත්කර ඇති 
ප්‍රසිද්ධ පරිච්ඡේද
නොකියවමි නැවත.
විනිශ්චය කර ඇති හෙයින් 
මීට පෙර.


වෙහෙසක් දැනේනම් ඔබට 
නැගිට යා හැක නොකියාම.
අදහස් දක්වණු පිණිස 
හිස් පිටු කීපයක් ඇත ඉතිරිව.

Sunday, July 20, 2014

සමහරවිට මට සිහිය නැති වෙන්නැති!!!



සමහරවිට 
මං වගේ කෙනෙක් මිසක් 
ඇත්ත මං තවදුරටත් නැතුවැති .

සමහරවිට 
මං පැනල යන්නැති 
තාත්තා බීගෙන ඇවිත් 
අම්මට ගහපු දවසක 
ඉකි ගහ ගහ අඬ අඬා 
ඉස හැරුණු පැත්තක.

සමහරවිට 
මට සිහිය නැති වෙන්නැති
විභාග ප්‍රතිපල ආපු දවසෙ 
එකම එක ලකුණකින් 
කැම්පස් යන්න බැරි වෙච්චි 
දුකට,නැත්නම් තරහට.

සමහරවිට 
මං පියාඹල යන්නැති 
ආදරෙයි කියා ඔබ කිව් දවසෙ 
ආකහේ ඉරාගෙන 
වැහි ලිහිණියක් වාගෙ 
සන්තෝසේ වැඩි කමට. 

සමහරවිට 
මං මැරෙන්න ඇති 
ඔබ යන්න ගිය දවසේ 
ආපහු නොබලාම 
ඉරක් වගේ කෙලින් පාරේ 
තෙමි තෙමි තද වැස්සේ.

හැඳුනුම් පතේ ඉන්නේ 
මං වගේ කෙනෙක් වුනාට 
ඒ මං වෙන්න බෑ
ඇත්ත මං නිතරම හිනාවුන කෙනෙක් 
මේ ඉන්නෙ වෙන කෙනෙක් 
බුම්මගෙන,කඳුළු පුරෝගෙන.

Monday, July 14, 2014

නිල්පාට කමිසය පපුවට ඇලී තිබුනයුරු !!!

.
හිරුට පිටුපා හුන් 
ඔබේ දෙනයන 
ක්ෂණයකට දිලිසුණයුරු. 

රළ පහරකින් තෙත්වුණු 
නිල්පාට කමිසය 
ඇලී තිබුනයුරු පපුවට.

ඔන්න මෙන්න කියා 
සිපගන්න 
දෙතොල් වෙව්ලූ හැටි .

ජීවිතය කියා 
බොහෝ දෙයක් නැත 
අතේ ඇඟිලි වලටත් අඩුවෙනි.

Friday, July 04, 2014

මස්කාරා බිඳුවකට වහන්ව !!!


 
.
ඇහි පිල්ලමක් යට 
මස්කාරා බිඳුවකට වහන්ව 
ඉන්න හපනෙකි
ඔබ.

උඩු තොළ අසබඩ 
හීන් දාඩිය බුබුළක 
කෙසේ සැඟවිණිද 
ඔබ.

විළිවැදුණු කම්මුලක 
වක් ගැහුණු සුළියක 
දඟ නොකර ඉන්න හැටි 
ඔබ.

ගුහාවක සිරකර 
වසා ඇතිමුත් ළය 
ගල් දොර සිඳ ඇති වගයි 
ඔබ.

Thursday, July 03, 2014

මොහොතක් තියා තිරය වැසෙයි!!!


.
හමුවෙන්න මොහොතක් තියා 
අප දෙදෙන 
තිරය වැසෙයි. 
ලන්තෑරුම් දැල්වෙයි. 
මහත් ඝෝෂා කරමින් 
නරඹන්නන් පිටවෙයි.

නැවත නැවතත් 
මෙයම සිදුවෙයි.
වැසුණු තිරයෙන් මෙපිට 
කඳු අතර පහන් දැල්වෙයි.

නිදිමත කොවුලෙක් 
සියුම් කූජනයක් නගයි.
හිම මෙන් සීතලට 
සුළැඟිලි පහසක් දැනෙයි.

එහෙත්..,
හමුවෙන්න මොහොතක් තියා 
අප දෙදෙන 
තිරය වැසෙයි.

Tuesday, July 01, 2014

හෙන්දිරික්ක මල් එක්ක!!!



ඇවිත් යයි 
හවසට 
හෙන්දිරික්ක මල් එක්ක 
දුක.

දම්පාටින් පටන්ගෙන 
කට්ට කළු පාට.