Sunday, July 20, 2014

සමහරවිට මට සිහිය නැති වෙන්නැති!!!



සමහරවිට 
මං වගේ කෙනෙක් මිසක් 
ඇත්ත මං තවදුරටත් නැතුවැති .

සමහරවිට 
මං පැනල යන්නැති 
තාත්තා බීගෙන ඇවිත් 
අම්මට ගහපු දවසක 
ඉකි ගහ ගහ අඬ අඬා 
ඉස හැරුණු පැත්තක.

සමහරවිට 
මට සිහිය නැති වෙන්නැති
විභාග ප්‍රතිපල ආපු දවසෙ 
එකම එක ලකුණකින් 
කැම්පස් යන්න බැරි වෙච්චි 
දුකට,නැත්නම් තරහට.

සමහරවිට 
මං පියාඹල යන්නැති 
ආදරෙයි කියා ඔබ කිව් දවසෙ 
ආකහේ ඉරාගෙන 
වැහි ලිහිණියක් වාගෙ 
සන්තෝසේ වැඩි කමට. 

සමහරවිට 
මං මැරෙන්න ඇති 
ඔබ යන්න ගිය දවසේ 
ආපහු නොබලාම 
ඉරක් වගේ කෙලින් පාරේ 
තෙමි තෙමි තද වැස්සේ.

හැඳුනුම් පතේ ඉන්නේ 
මං වගේ කෙනෙක් වුනාට 
ඒ මං වෙන්න බෑ
ඇත්ත මං නිතරම හිනාවුන කෙනෙක් 
මේ ඉන්නෙ වෙන කෙනෙක් 
බුම්මගෙන,කඳුළු පුරෝගෙන.

5 comments:

  1. අත්දැකීම් මිනිස්සුන්ව වෙනස් කරනවා කියන්නේ නිකන්ද ඉතින්..

    ReplyDelete
  2. මං වගේ කෙනෙක් උනාට
    ඒ මං වෙන්න බෑ.....

    අපූරු වදන් ගැලපුම! ඔයාගෙ කවි පට්ට රහයි.

    ReplyDelete
  3. ඔයාගෙ අදහස්නම් නියමයි ...

    ReplyDelete
  4. බුම්මගෙන කඳුළු සලාගෙන නැති මුහුණක් ?????????

    ReplyDelete