Sunday, May 07, 2017

මොකද්ද බං ඒ කවිය?







මොකද්ද බං ඒ කවිය?
මතක් කලාට කලාට 
මතක් නොවෙන 
පැයක් තිස්සේ මාන්සි වෙලා ලිව්ව 
ඒ කවිය?

අන්තිම වාරෙ ගණන් උගන්නන්න ආවෙ 
සුදුම අඳින සුදුම සුදු 
අර ගීතානි යාළුවෙලා හිටියේ
එයා ගැන නේද ලිව්වෙ අපි 
සුදුනි ඔබෙ හිතත් සුදු ද අනං මනං වගයක්.

කොහෙද බං යන්නේ මේ?
කට්ට කලුවෙලා තට්ට තනියම
බැන්දා නේද උඹ ඒ කාලෙම 
බොදු ගොවි ඉඩම් හිමි 
කෝ දැන් පැනල ගියාද ඌ ?

මං බැන්දෙ නෑ බං 
මං ඉගෙන ගත්තා 
ඊට පස්සෙ කාර් එකක් ගත්තා 
මහ ගේ නම් හම්බුනානේ 
අම්මයි තාත්තයි මැරුණ බං .

මං ආපහු ඉගෙන ගත්තා 
ඉහළට,ඉහළට,ඉහළට
ඉහලට ගියාම බය හිතනවා බං 
පහළ බලන්න 
වැටෙයි කියලා,රිදෙයි කියලා.

දවසක කුණාටුවක් ආව 
හිල් වුනානේ බං විමානේ 
 කෙලින්ම බිමම තමයි.
තුවාළයි,බිඳුම් ගොඩයි.
හර්දේ වස්තුවත් කෑලි,කෑලි.

මොකෝ උඹ හිනාවෙන්නේ 
මටත් තිබුණා හර්දේ වස්තුවක්.
දැනගත්තෙත් එතකොට මං 
 කොහෙන්ද මිනිහෙක් ඇවිත් 
අහුලලා දුන්න බං කෑලි .

මිනිහ කෑලි අහුලලා මට දුන්නා 
මං කිව්වා ඔයාම තියාගන්න 
ඉල්ලපු දවසක ආපහු දෙන්න 
සින්නක්කර දෙන්න බෑ බං 
දූලම දෙන්නයි.

මට ඉල්ලන්න හිතෙන්නෙත් නෑ 
එයා ආපහු දෙන්නෙත් නෑ 
මට ආයෙ ඉහළ යන්න හිතෙන්නෙත් නෑ 
එයාට මා එක්ක රැඳෙන්නත් බෑ 
මට පව් ද බං , නැත්නං මම පව් ද?

ඔන්න ඔව්වයි විස්තර 
ඒවායින් වැඩක් නෑ බං 
මොකද්ද කියපං අර කවිය 
වෙන මොකටවත් නෙමෙයි බං 
කවි ලියන්න හිතෙනවා ආපහු මට.

අසනීපයක්ද බං මට?

1 comment:

  1. අමතක වු කවි අතර .....ඒ කවිය...යළි මතක් නොවෙමද ....

    ReplyDelete