Sunday, May 18, 2014

අපිට තිබුනේ බැංකොක් යන්න.!

.
රිදී ජුබිලියට 
දානයක් දෙනවා වෙනුවට 
අපිට තිබුනේ බැංකොක් යන්න.
පැකේජ් තියෙනවා හැම තැනම 
එක එක ගානට අතේ මිටේ තරමට.

ඇඳුම් ගන්න තිබුණා ඇතිතරං 
සපත්තු,හෑන්ඩ් බෑග් ,සෙන්ට් පවුඩර් 
මෙහෙ මිලෙන් බාගෙට 
දන්න අයට විකුනන්නත් තිබුණා
කඩේට වඩා අඩුවට. 

පොඩි කාලේ මට තිබුනේ 
ගවුම් තුනයි,එක සපත්තු ජෝඩුවයි.
පිරිමහ ගන්න වුනා අවුරුද්දම 
හෝදලා වේලලා,වේලලා හෝදලා.
ඇඟිලි ඇද වුනේ හිරට සපත්තු දාලා.

බැන්ද අලුත මතකද ඔයාට
පඩි ගන්නේ හෙට කියලා 
පාන් ගෙන්න ගිය හැටි .
කැටේ කට ලොකු කරලා 
කාසි අරගෙන එළියට .

කාර් එකක් තියා බයිසිකලයක්වත් නෑ 
පුතත් වඩාගෙන බඩුත් උස්සගෙන 
බස්වල,කෝච්චිවල 
දුෂ්කර ගමන් ගිය හැටි 
සීට් එකක්වත් නැතුව වමනෙ දම දමා.

දානෙට ගිය මුදලින් 
අගේට බැංකොක් යන්න තිබුනා 
ඔෆිස් එකේ හුඟක් ඈයො
නිවාඩුවලට යන්නෙම පිටරට 
අපිට කොහෙන්ද එහෙම සැපක් .

මං දොස් කියනවා නෙමෙයි 
පිං කරනේක හොඳයි තමයි 
එකවුන්ට් එක පුරෝන තරමට 
ලබන ආත්මෙ සැප ලැබෙයි.
(ඒත් )කවුද දන්නෙ ෂුවර්ද කියලා.

උදේට උයල,වැඩට ගිහින්,ගෙදර ඇවිත්,ආයේ උයලා 
සෙක්කුවක වගේ රවුමට කැරකිලා 
නිකම්ම නිකං වයසට ගිහිල්ල.
දන්නවද,අපිට තිබුනෙ බැංකොක් යන්න 
හීල් දානෙ පොඩ්ඩක් පන්සලට ගෙනියන්න.

5 comments:

  1. හ්ම්ම්ම්ම් .. ඇයත් පව්.. ලස්සනයි ලියවිල්ල

    ReplyDelete
  2. ස්තුතියි ඔබ දෙන්නාට!

    ReplyDelete
  3. පේජ් එක අපේ බ්ලොග් දර්ශකයටත් ඇතුල් කරන්න. මෙතැනින් පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete
  4. ඔව් අප්පා තිබ්බේ එහෙම කරන්න . හීල් දානේ ඕනෙත් නෑ, බත් පාර්සල් දෙකක් දුන්නනම් ඇති හිගන්නෙකුට

    ReplyDelete