Tuesday, June 17, 2014

අප කුමක් කරන්නද පෙම්වත!!!





.
විඩාබර ඉඩෝරය නිමාකර 
මුදු හඬින් වැසි බිංදු වැටුනාට 
පෙම්වතුන් එකිනෙකා තුරුළු වී 
වර්ෂාවෙ ප්‍රමෝදය වින්දාට 
අප කුමක් කරන්නද පෙම්වත 
දෙඅතකට වෙන්ව ගිය හින්දාම.

අළුපාට වලාකුළු පෙළ ගැසී 
සඳ පාන මොහොතකට නිවුවාම 
සීත සුළඟක් ඇවිත් රහසේම 
සිල් බිඳෙන කතාවන් කිව්වාට 
අප කුමක් කරන්නද පෙම්වත
බැඳෙන්නත් පෙර බැඳුම් බිඳුනාට .

අතර මග නතරවෙන හැම විටම 
මතක සලකුණු ඇසට පෙනුනාට 
යා යුතුව ඇතත් තව බොහෝ දුර 
ඉතින් නම් වාරුවක් නැතුවාට 
අප කුමක් කරන්නද පෙම්වත
හඬා වැළපෙනු මිසක හැමදාම.

අප නතර වූ බවක් නොතකාම 
ජීවිතය ඉදිරියට දිව්වාට 
කාලයේ තැලුම් පහරට ලක්ව 
හදවතෙන් නිතර ලේ ගැලුවාට 
අප කුමක් කරන්නද පෙම්වත
මොහොතකට එඩි බිඳුණු හින්දාම.

5 comments:

  1. තව ටිකකින් ට්‍රයි කරන්න.. මරු...

    ReplyDelete
  2. එතකොට හරියයිද?

    ReplyDelete
  3. ලස්සනයි නිර්මානය

    ReplyDelete
  4. හරිම ලස්සන කවියක්....

    බ්ලොගය පුරා ගියා. හරිම රසවත්.. මට මතක විදිහට අදයි මේ පැත්තට ආවේ. දිගට ම එන්නම්. අපේ අඩවියෙන් ද දුන්නා ලින්ක් එකක්

    ReplyDelete
  5. බොහොම ස්තුතියි මාව කියෝනවට,අගේ කරනවට,විවේචනය කරනවට.

    ReplyDelete