අවුරුදුම විසි පහක්.....!
ඔයා කියනව ඔයා මැරිලලු.
මිනීමරුවා මමලු.
හර්දය වස්තුව පසාරු වෙන්න
මං ඇන්නලු ළී උළකින්.
ඇත්තටම ඇත්ත කිව්වොත්
මට හරියටම මතකත් නෑ .
අනින්නත් ඇති තමයි මං
ඇනල අහක බලාන එන්නත් ඇති.
සොහොනකින් පැනල ආව අවතාරයක් වගේ
මෙන්න ඔයා ඇවිත් හිටි හැටියෙම
අවුරුදුම විසි පහක්
කොහොම ඉන්නද මැරිල වුනත්.
ඔයා මැරිල නෑ බබා
කරුවලම කරුවල රාත්රිවල
මට ඇහුනෙ ඔයා හුස්ම ගන්නවා
එහෙනං කොහොමද ඔයා මැරිල වෙන්නේ ?
දුක හිතුනු සැන්දෑවල්වල
මට ඇහුනා ඔයා අඬන සද්දෙ
මමෙයි කියා මක් කරන්නද
මාත් මැරුණා වගෙයි හිටියෙ .
ඔයා කොහොමද දැන්ම මැරෙන්නෙ
ඔයාගෙ ළමයි,සැර වුනත් නෝනා
පොල් වත්ත,ඩිෆෙන්ඩර් එක
ඇයි මගේ මතක පොත.
සමහර වෙලාවල්වලට
මටත් හරියට පාළුයි
පුරුද්දට හුස්ම ගත්තට
පපුවේ පැත්තක් අඩුයි වගේ.
ඔයාට දෙන්න බැරිවෙලා
මගෙන් ඉල්ලගත්තු හුස්ම ටික
හිටි හැටියෙමනේ මං ආවෙ
ඔයාව දාලා වීරයෙක් වගේ.
මට හිතුන්නෑ පාච්චල් වෙන්න
දුප්පත් වුනත් අපි ටිකක් උසයි.
ඒත් ඔයා ඊටත් උසයි.
ඔයා කිව්වට ඔයාමමත් නෙමෙයි.
පිණි බිංදු දාහක් අතර තිබුනත්
අඳුනන්න පුළුවන් ඔයාගෙ කඳුළු
මල් වත්තක ඇස් වහං හිටියත්
ඔයාගෙ සුවඳ හරි වෙනස්.
අපි දිගටම මෙහෙම ඉමු
ඈතට වෙලා බලාගෙන
ඉටු කරන්න යුතුකම් නැතුව
දවසගානෙ දෙන්න පොරොන්දු නැතුව.
ඔයා මොන විදියට හිතුවත්
එහෙම වෙච්චි එක හොඳයි.
ඒකයි තාමත් හිටි ගමන්
ඔයා දැක්කම පපුව ගැහෙන්නෙ .