Wednesday, February 11, 2015

බියර් බොන කවිය!


.

ඔයාට තේරෙන් නෑ ළමයෝ!
මක් වෙනවද 
බියර් ඩිංගක් බිව්වට?
වෙරි වෙනවයැ 
අනික නිවාඩු දවසේ 
ගෙදර ඉඳන්.

ඉස්සර බිව්වෙ නෑ තමයි 
ඔයා කැමති වුනෙත් ඒ හින්දනේ .
කොච්චර කාලයක් ගතවෙලාද 
හති හල හල දුව දුව.

මතකද ගේ හදන දවස්සල 
ඔයාගෙ කරාඹු උගස් තිව්ව හැටි 
කරපිංච නැටි ගහගෙන හිටියෙ 
හරි වේදනයි මතක් වෙනකොට.

හැමදාම රෑට කෑවෙ පාන් 
පඩි දවසට කලින් දවසේ 
කැටේ සල්ලි අරන් ගියේ 
ගානට ගැනගෙන .

පුතාට සැප දුන්න තමයි 
තව කොච්චර දේවල් දෙන්න තිබුනද? 
කවදාවත් ඇඬුවෙ නෑ 
අරව ඉල්ලල මේවා ඉල්ලල.

ඔයාට අඳින්න නැති වුනාම 
නංගිලා දෙන්න ගවුම් අරං දුන්නෙ .
එතකොට ඒ ගොල්ලෝ බැඳල නෑ 
මට මැරෙන්න හිතුන එදානම්.

බියර් නම් මොකද 
කිරි තේ බිව්වෙත් උදේට විතරයි 
අම්මත් සල්ලි එව්ව පෙන්ෂන් එකෙන් 
අප්පච්චි හිටියෙත් හරි දුකෙන්.

ඔයාට මතකද වත්සලා 
ඇඳුම් දැම්මෙ කාඩ් බෝඩ් පෙට්ටියක .
කළුවරේ පිපුණු තරුවක් වගේ 
ඒත් ඔයා හිටියෙ හිනාවීගෙන.

දැන් කරදරයක් නැති වුනාට 
මට ඒව මතක් වෙනවා 
ඔයාට දුක් විඳින්න වුනාට 
වැරදිකාරය මමද වත්සලා?

ඔයා කැමතිම නැත්නං 
මම බියර් නොබී ඉන්නම්. 
ඒත් මේ නිවාඩු දවසේ 
බියර් ඩිංගක්,ගෙදර ඉඳන්!

4 comments:

  1. මොනව කියන්ටද මංද....
    පිස්සු වගේ

    ReplyDelete
  2. හෙහ්! ටයිට්ල් එක :D

    දුකම දුක කතාවක්. මම රසීගෙ කවි වලින් ආසම ආසම එකක්!

    ReplyDelete
  3. බියර් බිව්වට නෙවෙයි අකමැති
    බිව්වම කියන වචනෙට
    ඉස්සර නෑඩූ මට
    දැන් ඇඩෙනවා...

    ReplyDelete