Wednesday, August 31, 2016

ප්‍රියතම පෙම්වතී!!!




පිරිය යුතු තැන් පිරී ඇති 
තරත් නැති කෘෂත් නැති 
වම් පියොයුරක ඉහළින් 
සමනළයෙක් කොටා ඇති 
නාහෙට නාහන 
ඇට්ටර ගති ඇති 
ඇය තමයි මා දුටු 
ප්‍රියතම පෙම්වතී.

දණහිසට ඉහළින් 
මයික්‍රෝ සායවල් අඳින 
අත් නැති හැට්ට සහ 
විවිධ අබරණ පළඳින 
යන එන හැම තැනම 
පිරිමි සිහිනැති කරවන 
මාවත් නොදන්න හේතුවකට 
ඇය මගේ ප්‍රියතම.

කොයි වෙලේ බැලුවත් 
පිරිමි වටකර සිටින
සිනාසෙනකොට ඇය 
ඇස් දෙක හීනිවෙන 
සට පට පට ගගා 
එකට එක කියන 
මොන එකකටද මන්දා 
ඇයටම හිත යන.

තොල්වල නියවල 
රතුපාට තවරන 
නන්නාඳුනන අයටද 
ඇස් ගහන ඉඟි මරන
කුණුහරුපෙකට වුනත් 
හයියෙන් හිනාවෙන 
ඈ තමා නිදිගත් 
යක්ෂයා ඇහැරවන.

කවදාවත් මගෙන් 
බඳිමුදැයි නාසන 
මටනං කවදාවත් 
ළමයි ඕනි නෑ කියන 
අත් අරින්නම හිතුවත්
අල්ලා ගන්නම හිතෙන 
වයින් මොටද ගෑනුන්ට 
විස්කිත් දෙන්නැයි කියන

ඇය තමා මෙතෙක් හිටි 
ප්‍රියතම පෙම්වතිය.

Monday, August 22, 2016

රිදෙන තැන !!



හිතවතිය ..,
අහිමිවී දෙතිස් වසරක් ගෙවුන විට 
ඇනේනම් කටුවක් ලෙසින් හද තුළ 
මා ඔබට අරන් දුන් නීරස කඩල ගොටුවය .
වෙදැඟිල්ල පැළඳ වූ ළාබ මුදුවය .

ඉඩ තියේ විශ්වයේ අපමණ 
එහෙත් ඇයි මේ තරම් තනිකම.

Saturday, January 23, 2016

රිදුම් අකැපය.!!!

.


"ඔයා ආපහු ආව බව මම දැනගත්තා.
හිටි ගමන් පොළොව හෙලවුනා හයියෙන්."

අතර මග අතැර 
බිඳී වෙන්වුන පසුද 
ප්‍රේමයෙන් පෙළෙන වග 
සඟවා හිඳින් සබඳ.

කියන්නට දේ ඇත 
අසන්නට කාරණා එමටය 
එනමුදු නිහඬ වෙමි 
කැළැල් මිස රිදුම් අකැපය.

හිටිගමන් නැවතී 
තදින් සුසුමක් හෙලමි 
දිරිගෙන නොවැළපී 
නියම වූ ගමනම යමී.

වැසි වසියි මල් පිපෙයි 
රාත්‍රිය සෙමෙන් එළඹෙයි 
මියැදුණු තාරුකාවක 
කඳුලක් ඇස් අගින් ගිළිහෙයි .