Friday, July 12, 2019

අමාරු ප්‍රශ්න අහන එක වැරදිද?


ගී ගැයූ කාලේ අමරසිරි 
වශී වෙලා හිටියේ අපි එයාට 
සිංදු කියන්න පටන් ගත්තම පිට පිටම 
අතරමං වුනා අපි හරියට.

කපුගේ වුනත් 
 මැරෙන්න කලින් කීපාරක් මළාද 
සන් ෆ්ලවර්ස්ලා එක්ක.


ගං වතුර,කුණු කඳු අස්සේ 
ඇවිදින කඳුත් හරි හරියට 
ප්‍රශ්නම මිසක් උත්තර නෑ මිනිස්සුන්ට.

විස්කි තිබුනත් 
බොන්න බෑ ගෑණුන්ට 
දන්නවා වුනත් 
කොහොම කියන්නද 
පරුෂ වචන සද්දෙට.

මගේ වයසෙ ගෑණු 
පන්සල් යනවා ,භාවනා කරනවා 
දිව්‍ය ලෝකවල ඉඩ කඩම් ගන්නවා 
තද පාට අඳින එක අත් අරිනවා 
මස් මාළු නොකා බිත්තර කනවා 
සිල් ගන්නැද්ද මගෙන් අහනවා 
මං හිනාවෙනවා,කවි ලියනවා 
ප්‍රේම කරනවා, ප්‍රශ්න කරනවා.

අදක් මිස හෙටක් තියේද?
අන්තිමට සේරම ඊයේ නේද?
හිනාවෙන එක මැව්වෙ දෙවියො නම් 
අඬන එකත් මැව්වෙ දෙවියොමද ?

උත්තර තියෙන ප්‍රශ්න මිස 
අමාරු ප්‍රශ්න අහන එක වැරදිද?
ප්‍රශ්න මැව්වෙ දෙවියොනම් 
උත්තරත් එයා ළඟ ඇති නේද?

1 comment:

  1. අනේ අම්මේ..

    මේක නම් අදහන්න වටිනා අලුත් ආගමක්...

    ReplyDelete