Wednesday, December 18, 2019

සිත බිඳුණු අඩ හඳ!



හඬ අඩු කල වීඩියෝවක
ඩික්සිත් ඉඟ සොලවා රඟයි .
ෂාරුක් ගසක් යට හිඳ
පාඩුවේ දුම් වැටියක් උරයි.

දියත උයනේ ඉරිදාට
පවුල් පිටින් සූ ගා පිරෙයි.
කොත්තු සංගීතයක්
දෙසවන් බිහිරි කර ඇසෙයි.

ළඟ එන්නෙ ජනවාරි
පමුණුවේ පෝලිම් හැදෙයි
නෝ ලිමිට් කූල් ප්ලැනට්
සිංහලුන්ගෙන් පවා පිරෙයි.

චන්දයක් ඉවරවී
මිනිස්සුත් පොළොවටම වැටෙයි.
සිත බිඳුණු අඩ හඳක්
ඉබාගාතේ සැරි සරයි.

නතරවෙමි!!




කහට රස ඉතිරිකර හද බිතෙහි
ජීවිතය නික්ම යනවිට හෙමින්
මිහිරි මධු රැඳුණ බඳුනක්ය ඔබ
අත නොපොව්වන තරම් මහ දුරින්
එවන්නෙමි අවසාන පෙම් කවිය
යළිත් කවි නොලියවෙනු ඇති බැවින්
ඉදිරියට යෑම වෙහෙසකි සබඳ
නතරවෙමි ඔබේ ඇස් දෙක ළඟින් .

Monday, August 05, 2019

ලියුම් දෙකයි!





ඔබ ඇහුවනෙ 
මගේ පැරණි ප්‍රේමයේ ‍ වගතුග.

ලියුම් දෙකයි!
ඇඟිල්ලක්වත් අල්ලන්න නොලැබුණ .

Friday, July 12, 2019

අමාරු ප්‍රශ්න අහන එක වැරදිද?


ගී ගැයූ කාලේ අමරසිරි 
වශී වෙලා හිටියේ අපි එයාට 
සිංදු කියන්න පටන් ගත්තම පිට පිටම 
අතරමං වුනා අපි හරියට.

කපුගේ වුනත් 
 මැරෙන්න කලින් කීපාරක් මළාද 
සන් ෆ්ලවර්ස්ලා එක්ක.


ගං වතුර,කුණු කඳු අස්සේ 
ඇවිදින කඳුත් හරි හරියට 
ප්‍රශ්නම මිසක් උත්තර නෑ මිනිස්සුන්ට.

විස්කි තිබුනත් 
බොන්න බෑ ගෑණුන්ට 
දන්නවා වුනත් 
කොහොම කියන්නද 
පරුෂ වචන සද්දෙට.

මගේ වයසෙ ගෑණු 
පන්සල් යනවා ,භාවනා කරනවා 
දිව්‍ය ලෝකවල ඉඩ කඩම් ගන්නවා 
තද පාට අඳින එක අත් අරිනවා 
මස් මාළු නොකා බිත්තර කනවා 
සිල් ගන්නැද්ද මගෙන් අහනවා 
මං හිනාවෙනවා,කවි ලියනවා 
ප්‍රේම කරනවා, ප්‍රශ්න කරනවා.

අදක් මිස හෙටක් තියේද?
අන්තිමට සේරම ඊයේ නේද?
හිනාවෙන එක මැව්වෙ දෙවියො නම් 
අඬන එකත් මැව්වෙ දෙවියොමද ?

උත්තර තියෙන ප්‍රශ්න මිස 
අමාරු ප්‍රශ්න අහන එක වැරදිද?
ප්‍රශ්න මැව්වෙ දෙවියොනම් 
උත්තරත් එයා ළඟ ඇති නේද?

මහත්තයෙක් !





දුඹුරු පැහැ 
කුඩා බල්ලෙක් 
නිතර වල්ගය සොලවන.


ලී කඩුල්ලක් 
මල් වැලක්‌ 
එහේ මෙහෙ ගිය .

සෝලා තැටි යෙදූ 
වහළක් 
බැල්කනියක් සහිත.

මහත්තයෙක් 
පත්තර කියවන 
හිනායන විහිළු කරන.

කෙසේ පැවතිය යුතුද!



ඔබ වෙසෙන හුදෙකලා කුටියේ 
කවුළුවෙන් ඇද වැටෙන මල් වැලෙහි 

රත් පැහැ මල් පිපී ඇත්නම් 

දනිමි ඔබ ප්‍රේමයෙන් වග.


කහ මල් පිපී ඇත්නම් 

ප්‍රේමය බිඳී 
සාංකාවෙන් වග. 

දම් පැහැ මල් වේනම් 
අලුත් පෙමකට ඉඟි වග.

කිසිදු මලක් නොපිපෙන 
දීර්ඝ වකවානුවල 
ඉවෙන් මෙන් මට හැඟේ 
මා කෙරේ කෙසේ පැවතිය යුතුදැයි 
සිත සිතා හිඳින වග.