Friday, August 21, 2020

මුහුදු රැළි දිග සාය!!



ඔයා ඉස්සර ආසම
මුහුදු රැළි දිග සාය
තවමත් තියෙනවා
අල්මාරියේ පැත්තක.

අත පිරෙන්නම දමාපු
ඉමිටේෂන් වළලු ටික
අමතක වෙලා
පරණ ලාච්චුවක.

විසි කළා ඒ කාලෙම
අන්තිම බිංදුවට හිඳුනු
ඩෙබියුටාන්
කුප්පිය.

තවමත්
අව්ව වැටෙනවා
දකුණු පැත්තෙ ජනේලෙ ළඟ
පුටුවට.

පත් වැටෙනකොට
අහගෙන ඉන්නව මම
තුරු හූල්ලන හඬට
තනියම .

තරමක් සීතලයි
හවසට
පරණ වුනත් සනීපයි
ඔයාගෙ ජර්සිය.

කවි ලියන්න
ඉඳගත්තට
හිස් කොළ හුළඟට යනවා
අන්තිමට.

Thursday, June 04, 2020

වයිරස් ගොඩකි කාලය!!



කළුවර තරමටම නිහඬ ය නගරය.
මුස්පේන්තු සුළඟක්
මරණය තබයි
මහලු පත්‍ර මත.

ඇඳිරි නීතිය නොසළකයි
අහසද.
සියොතුන්ට සියොතුන් කියන්නේ
හේතු ඇතුව ය.

ශීතකරණය පිරී තිබුනද
තැපැල් පෙට්ටිය හිස් ය
කාලයම වයිරස් ගොඩකි
කැස්සක හඬක් හෝ නොනගින.

ලෝකය අබ ඇටයක් පමණි නම්
කිමද ඔබ මේ හැටි දුර?

රතන සූත්‍රය සේ සිත සූරයි
දිනෙන් දින ඔබ මුනිවත.

Wednesday, April 01, 2020

නාම පදයක්!!




කොයිතරම් හදවත් ලකුණු යැව්වත් 
ඔබ පිළිතුරු නොදෙන විට 
මට හැඟෙයි 
ජීවිතයේ නිස්සාර බව.

පුරවා ගත් සතුටු මීවිත 
දැන් හිස් වෙන්න ළඟ බව. 
ඉල්ලාගත් දිළිසෙන පියාපත් 
ආපසු භාරදිය යුතු බව.

කණගාටුවෙන් ගෙවුන දවස් 
සංතෝෂ දිනවලට වඩා වැඩි බව 
සතුට යනු නාම පදයක් මිසක 
ක්‍රියා පදයක් නොවන බව.

අත් විදා බදා ගත්තත් 
කිසිවක් රැඳී නැති බව 
ඔබ කියා කෙනෙක් පමණක් නෙමෙයි 
මා කියා කෙනෙක්ද නැති බව.

Sunday, February 02, 2020

ඔයාට ඔයා කියන්නද ?







ඔබ කෙරේ ප්‍රේමය අහම්බයකි.
ප්‍රේමය අවර්ණය .
සුවිශේෂී සුවඳක් නැත.
මුල් මිස මල් නැත.
දෙපලු වුව රුධිරය නොගලයි.
එහෙයින් කිසිවෙකු නොදකියි.
පෙම්බරය!
ඒ දැඩි ආලිංගන
සමට සමද
රිදුමට රිදුමද
අත් විඳිමින් හිඳිමි.
පටන් ගැන්මක් නැත.
අවසානයක් නැත.
සාගරය මෙනි.
අවකාශය මෙනි.
හද මත හෙලූ පොරෝ පහරක් මෙනි.

''ඉතින්,
දැන් ඉඳන්
මම ඔයාට ඔයා කියලා කතාකරන්නද?''

සිනාව තදකර!!!




බලන්න
ඔබේ එකම එක වදනක් විසින්
මා ජීවිතයට අදින අයුරු!

හිස් සෝදා
ඇහිබැම සකසා
කන් දෙපැත්තේ විළවුන් තවරා
සරා සඳක් සේ
සිනාව තදකර
මා සිටින අයුරු!