Wednesday, December 18, 2019

සිත බිඳුණු අඩ හඳ!



හඬ අඩු කල වීඩියෝවක
ඩික්සිත් ඉඟ සොලවා රඟයි .
ෂාරුක් ගසක් යට හිඳ
පාඩුවේ දුම් වැටියක් උරයි.

දියත උයනේ ඉරිදාට
පවුල් පිටින් සූ ගා පිරෙයි.
කොත්තු සංගීතයක්
දෙසවන් බිහිරි කර ඇසෙයි.

ළඟ එන්නෙ ජනවාරි
පමුණුවේ පෝලිම් හැදෙයි
නෝ ලිමිට් කූල් ප්ලැනට්
සිංහලුන්ගෙන් පවා පිරෙයි.

චන්දයක් ඉවරවී
මිනිස්සුත් පොළොවටම වැටෙයි.
සිත බිඳුණු අඩ හඳක්
ඉබාගාතේ සැරි සරයි.

නතරවෙමි!!




කහට රස ඉතිරිකර හද බිතෙහි
ජීවිතය නික්ම යනවිට හෙමින්
මිහිරි මධු රැඳුණ බඳුනක්ය ඔබ
අත නොපොව්වන තරම් මහ දුරින්
එවන්නෙමි අවසාන පෙම් කවිය
යළිත් කවි නොලියවෙනු ඇති බැවින්
ඉදිරියට යෑම වෙහෙසකි සබඳ
නතරවෙමි ඔබේ ඇස් දෙක ළඟින් .

Monday, August 05, 2019

ලියුම් දෙකයි!





ඔබ ඇහුවනෙ 
මගේ පැරණි ප්‍රේමයේ ‍ වගතුග.

ලියුම් දෙකයි!
ඇඟිල්ලක්වත් අල්ලන්න නොලැබුණ .

Friday, July 12, 2019

අමාරු ප්‍රශ්න අහන එක වැරදිද?


ගී ගැයූ කාලේ අමරසිරි 
වශී වෙලා හිටියේ අපි එයාට 
සිංදු කියන්න පටන් ගත්තම පිට පිටම 
අතරමං වුනා අපි හරියට.

කපුගේ වුනත් 
 මැරෙන්න කලින් කීපාරක් මළාද 
සන් ෆ්ලවර්ස්ලා එක්ක.


ගං වතුර,කුණු කඳු අස්සේ 
ඇවිදින කඳුත් හරි හරියට 
ප්‍රශ්නම මිසක් උත්තර නෑ මිනිස්සුන්ට.

විස්කි තිබුනත් 
බොන්න බෑ ගෑණුන්ට 
දන්නවා වුනත් 
කොහොම කියන්නද 
පරුෂ වචන සද්දෙට.

මගේ වයසෙ ගෑණු 
පන්සල් යනවා ,භාවනා කරනවා 
දිව්‍ය ලෝකවල ඉඩ කඩම් ගන්නවා 
තද පාට අඳින එක අත් අරිනවා 
මස් මාළු නොකා බිත්තර කනවා 
සිල් ගන්නැද්ද මගෙන් අහනවා 
මං හිනාවෙනවා,කවි ලියනවා 
ප්‍රේම කරනවා, ප්‍රශ්න කරනවා.

අදක් මිස හෙටක් තියේද?
අන්තිමට සේරම ඊයේ නේද?
හිනාවෙන එක මැව්වෙ දෙවියො නම් 
අඬන එකත් මැව්වෙ දෙවියොමද ?

උත්තර තියෙන ප්‍රශ්න මිස 
අමාරු ප්‍රශ්න අහන එක වැරදිද?
ප්‍රශ්න මැව්වෙ දෙවියොනම් 
උත්තරත් එයා ළඟ ඇති නේද?

මහත්තයෙක් !





දුඹුරු පැහැ 
කුඩා බල්ලෙක් 
නිතර වල්ගය සොලවන.


ලී කඩුල්ලක් 
මල් වැලක්‌ 
එහේ මෙහෙ ගිය .

සෝලා තැටි යෙදූ 
වහළක් 
බැල්කනියක් සහිත.

මහත්තයෙක් 
පත්තර කියවන 
හිනායන විහිළු කරන.

කෙසේ පැවතිය යුතුද!



ඔබ වෙසෙන හුදෙකලා කුටියේ 
කවුළුවෙන් ඇද වැටෙන මල් වැලෙහි 

රත් පැහැ මල් පිපී ඇත්නම් 

දනිමි ඔබ ප්‍රේමයෙන් වග.


කහ මල් පිපී ඇත්නම් 

ප්‍රේමය බිඳී 
සාංකාවෙන් වග. 

දම් පැහැ මල් වේනම් 
අලුත් පෙමකට ඉඟි වග.

කිසිදු මලක් නොපිපෙන 
දීර්ඝ වකවානුවල 
ඉවෙන් මෙන් මට හැඟේ 
මා කෙරේ කෙසේ පැවතිය යුතුදැයි 
සිත සිතා හිඳින වග.

Sunday, September 23, 2018

ඇපල් අඩ!

.

පිරියක් නොමැති හැටි 
මිහිරි ගීයක් අහන්නට 
ප්‍රේමය සුසර කරවන 
වදනක් හෝ දොඩන්නට 

කාළ වර්ණ රකුසෙකු මෙනි 
ගැඹුරු නිහඬතාවය 
හුස්මක හඬ පවා 
තබා ඇත ඝනී භවනය කර.


අවේලාවේ වැසි වැටුණි 
ඔබ ඇවිත් ගිය අඩි ලකුණු සේදුනි
හර්දයේ පැල්මට පවා 
ගැඹුරු මැහුම් යෙදුනි.
දැන් ඉතින් සියල්ල යහපති 
පාපයේ සළකුණු මැකුනි .
එහෙත් පුන්‍යවන්තයෙනි 
ඇපල් අඩ සොයා මහද වැළපිණි .

දිගටම දිගටම දිගටෝම!

.
හැම දිනකම 
හැම රැයකම 
අවේලාවේ අවදිවී 
දෙසවන් යොමා අසා හිඳිමි.


නුබ ගැබ දුක් කඳුළු මෙන් 
තාරුකා දැල්වී ඇත 
ඉතාම සියුම් හඬකින් 
ඔබ හුස්ම ගන්නවා ඇත .


නිදි වරා දුක් දරා 
තවත් වෙහෙසී පලක් නැත 
නාඬන්න රත්තරං 
ඔබ කියනවා වැනි මට.


ඔබේ පොරෝනාවද පවා 
සීතලෙන් ඇකිලී ඇත 
වලාකුළු සයුරට මැදිව 
සඳ සිය පහන් නිමනු ඇත.


දැන් ඉතිං කළුවරයි 
දිගටම දිගටම දිගටෝම.

Tuesday, September 12, 2017

Sunday, May 14, 2017

සුකුරුත්තන් !!






.
අත් පසුම්බිය දිගහැර 
කිළිටි නෝට්ටු,තොල් අඳුන් කූරු 
සුකුරුත්තන් හා යතුරු 
ඈත් මෑත් කර සොයමි 
ඒ මනරම් රැයෙහි 
බොහෝ සේ දිළිසී වෙහෙසී 
බිම වැටි පරවූ 
තාරුකාවක් තවමත් 
තියේදැයි අමතකවී.

Saturday, May 13, 2017

දඬුවම් ......!!




ඔබ විසින් කියවන 
විටෙක නොකියවා ඉවතලන 
විස්මයාර්ථ ලකුණු ඇති 
ප්‍රශ්නයාර්ථ නොනගන 
අක්ෂර වින්‍යාස හා 
ව්‍යාකරණ දෝෂ බහුල 
මා එවන කුඩා ලිපි 
එහෙත් ඒ මගේ කවි ය.


ප්‍රේමයේ මග දිග 
අන්ධයෙක් සේ ඇවිදින 
මිහිරිතම වදන් ගිලගෙන 
ගොළුවකු සේ හැසිරෙන 
සුවඳ ඉවකර සැනහෙන 
ඔබේ දෙපයට පෑගෙන 
සිහිනෙකින්වත් නොලැබෙන 
එහෙත් ඒ මගේ ස්නේහය.


සෙල් ටැඹක් වෙනු පතමින් 
වාරු කරගනු පිණිස 
මල් වැටක් වී හිඳිමින් 
සිරස මත මල් හලන 
කල් අරන් ළඟ රැඳෙමින් 
අදිසි වෙන්නට තනන 
ඔබට නොහැඟේ තවමත් 
මා ඔබේ සොඳුරු දඬුවම.

සැළසුම් !!



'මේ ගිම්හාන සෘතුවේ
ඔබේ සැලසුම් මොනවාද?'

"රෝස පෙති ඉලිප්පෙන තටාගයක 

කර වටක් 
ගිලී ..ගිලී ...ගිලී ඉන්න."


'මේ වස්සාන සෘතුවේ
ඔබේ සැලසුම් මොනවාද?'

"කපුරු පෙති ඉලිප්පෙන තටාගයක 
කර වටක් 
ගිලී ..ගිලී ...ගිලී ඉන්න."

'මේ සිසිර සෘතුවේ
ඔබේ සැලසුම් මොනවාද?'

"සමන් මල් ඉලිප්පෙන තටාගයක 
කර වටක් 
ගිලී ..ගිලී ...ගිලී ඉන්න."'

'මහත්මිය, 
මහත් ඒකාකාරීය 
ඔබේ මුළු දිවියම
හිස් ය ,අවර්ණය .'

"මහත්මයා,
ලොම් ඇඳුම් නැත අපට ඔබ මෙන් 
එකම කපු ගවුම 
හරව හරවා අඳිනු මිස."

Sunday, May 07, 2017

කපුටෝ!!







.
කුරුල්ලන්ට 
ජල බඳුන් තබමි.
කපුටෝ පැමිණ දිය බොති.
ගල් කැබළි විසිකර එලවමි.

උන් කුරුල්ලන් නෙමේද ?
නෑ ! උන් කළු කැත සත්තු.

ඇලෙන සුළුය,පිපාසිතය,නින්දිතය!!




අවසන් විය යුතු හෙයින් 
පටන්ගත් සියලු දෙය 
නොඇඳ ඉන්නද චිත්‍රය? 
නොගයා ඉන්නද ගීතය?

හැකිවේනම් ඔබට 
දැල්වෙන්න අමතර මොහොතක් 
සපථ වෙමි පිළිස්සෙන්නට 
දෙඅදර රඳවා මඳහසක්.

අරුණෝදය මෙන් 
පැහැදිළිය,මනස්කාන්තය,බිඳෙන සුළුය 
මධ්‍යාහ්නය මෙන් 
ඇලෙන සුළුය,පිපාසිතය,නින්දිතය
සන්ධ්‍යාව මෙන් 
සෞම්‍යය,රාගන්විතය,ශෝකාන්විතය 
පෙම්වත ,මගේ ප්‍රේමය .

අවසන් කපුරු පෙත්ත!!







ඔබ සෙමෙන් බැස යන්න.
අවසන් හිරු කිරණ සේ සිසිර කල.
මොහොතක් පමාවී 
වහ වහා බැස යන්න.

පොකුණ තුළ ගිලීහුන් 
 යටිකුරු සෙවනැල්ලක්ව 
බොඳවූ චල චිත්‍රයක් ලෙස 
අවසන් කර ඔබ යන්න.

සුළඟට ඉබේ නැළවෙන 
ළදැල්ලක්ව ප්‍රාණවත්ව 
හදිසියේ ගිලිහෙණු රුචිව 
හඬක් නොනගා ඔබ යන්න.

යායුතු වුව මා ද
දල්වමි අවසන් කපුරු පෙත්තද 
වහා නිමී ගිය පසුවද 
ඉවකර සැනහෙනු පිණිස අත්ල මත.

මොකද්ද බං ඒ කවිය?







මොකද්ද බං ඒ කවිය?
මතක් කලාට කලාට 
මතක් නොවෙන 
පැයක් තිස්සේ මාන්සි වෙලා ලිව්ව 
ඒ කවිය?

අන්තිම වාරෙ ගණන් උගන්නන්න ආවෙ 
සුදුම අඳින සුදුම සුදු 
අර ගීතානි යාළුවෙලා හිටියේ
එයා ගැන නේද ලිව්වෙ අපි 
සුදුනි ඔබෙ හිතත් සුදු ද අනං මනං වගයක්.

කොහෙද බං යන්නේ මේ?
කට්ට කලුවෙලා තට්ට තනියම
බැන්දා නේද උඹ ඒ කාලෙම 
බොදු ගොවි ඉඩම් හිමි 
කෝ දැන් පැනල ගියාද ඌ ?

මං බැන්දෙ නෑ බං 
මං ඉගෙන ගත්තා 
ඊට පස්සෙ කාර් එකක් ගත්තා 
මහ ගේ නම් හම්බුනානේ 
අම්මයි තාත්තයි මැරුණ බං .

මං ආපහු ඉගෙන ගත්තා 
ඉහළට,ඉහළට,ඉහළට
ඉහලට ගියාම බය හිතනවා බං 
පහළ බලන්න 
වැටෙයි කියලා,රිදෙයි කියලා.

දවසක කුණාටුවක් ආව 
හිල් වුනානේ බං විමානේ 
 කෙලින්ම බිමම තමයි.
තුවාළයි,බිඳුම් ගොඩයි.
හර්දේ වස්තුවත් කෑලි,කෑලි.

මොකෝ උඹ හිනාවෙන්නේ 
මටත් තිබුණා හර්දේ වස්තුවක්.
දැනගත්තෙත් එතකොට මං 
 කොහෙන්ද මිනිහෙක් ඇවිත් 
අහුලලා දුන්න බං කෑලි .

මිනිහ කෑලි අහුලලා මට දුන්නා 
මං කිව්වා ඔයාම තියාගන්න 
ඉල්ලපු දවසක ආපහු දෙන්න 
සින්නක්කර දෙන්න බෑ බං 
දූලම දෙන්නයි.

මට ඉල්ලන්න හිතෙන්නෙත් නෑ 
එයා ආපහු දෙන්නෙත් නෑ 
මට ආයෙ ඉහළ යන්න හිතෙන්නෙත් නෑ 
එයාට මා එක්ක රැඳෙන්නත් බෑ 
මට පව් ද බං , නැත්නං මම පව් ද?

ඔන්න ඔව්වයි විස්තර 
ඒවායින් වැඩක් නෑ බං 
මොකද්ද කියපං අර කවිය 
වෙන මොකටවත් නෙමෙයි බං 
කවි ලියන්න හිතෙනවා ආපහු මට.

අසනීපයක්ද බං මට?

නාඩි වැටෙන තැන!!




.
නන්නත්තාර සැඳෑවක
උමතුවෙන් මෙන් බලාඉමි 
ඔබේ සීතල ඇඟිලි තුඩු 
හිස පිරිමදිනතුරු පමාවෙමි.

ඔබ හිඳී තැන්පත්ව 
පබඳිමින් මියුරු කවිපද 
සෙමින් දොර වසා නික්මෙමි 
කළුවරේ හිස ගසා වැළපෙමි.

ප්‍රියේ!
කල් ඉකුත් නොවන මතක ඇත 
ප්‍රේමයෙන් බැඳුනු එදවස 
නාඩි වැටෙනා තැන සොයා 
සිඹ සිඹ සැනැහුණු අත්ලක.

නිශ්ශබ්ද!!



.

සුරඟනන් ඇස් වසා 
නිශ්ශබ්ද හෝරාව අරඹයි 
තණ පළස හිසනමා 
වැහි බිඳක කිතිකැවුම උහුලයි 
තාරුකාවක එළිය 
පහන් දැල්වෙන තුරුම දිදුලයි 
ඔබ නොකී දේ සිහිව 
මගේ සිත ශෝකයෙන් වෙව්ලයි.


Wednesday, August 31, 2016

ප්‍රියතම පෙම්වතී!!!




පිරිය යුතු තැන් පිරී ඇති 
තරත් නැති කෘෂත් නැති 
වම් පියොයුරක ඉහළින් 
සමනළයෙක් කොටා ඇති 
නාහෙට නාහන 
ඇට්ටර ගති ඇති 
ඇය තමයි මා දුටු 
ප්‍රියතම පෙම්වතී.

දණහිසට ඉහළින් 
මයික්‍රෝ සායවල් අඳින 
අත් නැති හැට්ට සහ 
විවිධ අබරණ පළඳින 
යන එන හැම තැනම 
පිරිමි සිහිනැති කරවන 
මාවත් නොදන්න හේතුවකට 
ඇය මගේ ප්‍රියතම.

කොයි වෙලේ බැලුවත් 
පිරිමි වටකර සිටින
සිනාසෙනකොට ඇය 
ඇස් දෙක හීනිවෙන 
සට පට පට ගගා 
එකට එක කියන 
මොන එකකටද මන්දා 
ඇයටම හිත යන.

තොල්වල නියවල 
රතුපාට තවරන 
නන්නාඳුනන අයටද 
ඇස් ගහන ඉඟි මරන
කුණුහරුපෙකට වුනත් 
හයියෙන් හිනාවෙන 
ඈ තමා නිදිගත් 
යක්ෂයා ඇහැරවන.

කවදාවත් මගෙන් 
බඳිමුදැයි නාසන 
මටනං කවදාවත් 
ළමයි ඕනි නෑ කියන 
අත් අරින්නම හිතුවත්
අල්ලා ගන්නම හිතෙන 
වයින් මොටද ගෑනුන්ට 
විස්කිත් දෙන්නැයි කියන

ඇය තමා මෙතෙක් හිටි 
ප්‍රියතම පෙම්වතිය.