Saturday, June 26, 2021

රූබරිය !

 


ඇය පැමිණියේ උදෑසනක.තේකොළ සුවඳ පවා මැකී යන්න පෙරාතුව.අප එකිනෙකාට මුහුණ ලා වාඩිවී සිටියේ තේ කෝප්ප දෙකකුත් සමග.

සිහින් සිරුරක් තිබු ඇය තරුණ කල රූමතියක්ව සිටින්නට ඇතැයි හඟවන සලකුණු තවමත් ශේෂව තිබුනා.
ඇය කෙලින්ම මදෙස බැලුවේ නැහැ.නමුත් මා අහක බලන වාරයක් පාසා ඇගේ ඇස් මා සොයන වග මට වැටහුනා.මා කරමින් සිටියේත් එයමයි.
'මම නිල්මිණි' ඇය කිව්වා.
'සුරේන් එක්කලා කැම්පස් හිටියේ.'
"හ්ම්ම්" මා කීවා ගණනකට නොගත් අයුරින්.
'අපි හුඟක් කිට්ටුවෙන් ආශ්රය කළා.'නැවතත් ඇය .
"ඇත්තද?" ඒ මම.
ඇය අපහසුවෙන් සිනාසුනා.
'මම ඔයා ගැන හුඟක් අහල තියෙනවා.සුරේන් නිතරම ඔයා ගැන මහ ඉහළින් කතා කළා."
"ඒක පුදුමයක් නෙමෙයි.මම කවදාවත් පහළට වැටිලා නැහැ."
මම හිතුවා හරි.ඒ කියන්නේ ලඟක් වෙනකන්ම දෙන්න කතා බහ කරලා තියෙනවා.
'මට හදිසියෙන් ආරංචි වුනේ.ඒ ගමන්මයි මම මේ ආවේ.එයා අසනීපයෙන් හිටියයි කියල කවදාවත් මට කියල නැහැ.'
" ඔයාට කිව්වත් කරන්න දෙයක් නැහැ නේ.අපි එයාව හොඳින් බලාගත්තා."
හරිනම් මෙතනදී ඇය පසුබැසිය යුතුයි.නමුත් ඇය සිනාසුනා.ශෝකයෙන්.
'මාව වරදවා වටහා ගන්න එපා.මම ආවේ කණගාටුව ප්රකාශ කරලා යන්න.ඒ කාලේ අපි අතර ප්රේම සම්බන්ධයක් තිබුනා තමයි.නමුත් ඒක ඉතා ඉක්මනින් ඉවර වුනා.අපි දෙපැත්තකට විසිරිලා ගියා.ආයෙම මුණගැහුනේ මේ මෑතකදී .නිකම්ම නිකම් යාළුවන් විදියට.'
මම කතා කළා සැර වැඩිද?
"මට තේරෙනවා.මම ඔයා ගැන අහල තියෙනවා.අහල තියෙනවා කිව්වට අහලම නෙමෙයි.දැනිලා තියෙනවා.එයාගේ ජීවිතේ මට නොකියපු රහසක් තියෙන බව තේරිලා තියෙනවා.එහෙනම් ඒ ඔයා."
මම ඉඳල තියෙන්නේ තරහින්.දැනුයි මට තේරෙන්නේ.රහසක් සම්බන්ධව තරහකින්.මේ තියෙන්නේ තරහට හේතුව.ලා නිල් පාට සාරියක් ඇඳගෙන,තවමත් රූමත්ව,තවමත් යහපත්ව.
'එයා මැරුණයි කියල දැනගත්තම මට අදහන්න බැරුව ගියා.මම දන්නා හුඟක් අය මැරිලා තියෙනවා.ඒ හැම කෙනෙකුටම මරණ ගෙයක් තිබුනා,මළ සිරුරක් තිබුනා,සොහොනක් තිබුනා,අඩු තරමින් අළු බඳුනක් තිබුනා.'
ඇය බිඳුණු හඬින් කියෙව්වා.
"අපි එයාව භුමදානේ කළා.එයාට වැඩිමහල් සහෝදරයෙක් හිටි නිසා ආදාහනේ කරන්න ලැබුනේ නැහැ." මම කිව්වා.
ඇය මොහොතක් මා දෙස බැලුවා.
'එක පාරටම වැහි ලකුණක් නැති අහසට අකුණක් පාත්වුනා වගේ පත්තරේක තියෙනවා එයා මැරුණා කියලා.අදහන්න පුලුවන්ද? මැරිලත් මාස හයකට පස්සේ.'
ඇය සුසුමක් හෙලුවා. තදින් හා ගැඹුරින්.
'මාස හයක්.විනාඩි කීයක්ද?'
ඉන් පසුව අසුනින් නැගිට්ටා.අවසන් නොකළ තේ කෝප්පය පසෙක තැබුවා.
'ඔයා කවදාවත් එයාගේ කවි පොත් කියෝලා තියෙනවද?' මගෙන් ඇහුවා.
මම ගොතගැහුවා."ම්ම්ම් සමහරක් පොත්."
ඇය සිනාසුනා.
'ඔයා මට බොරු කිව්වට කමක් නෑ.තමුන්ට ඇත්ත කියන්න.ඉතිරි වෙලා තියේනම් ඒ පොත් හොයාගෙන කියවන්න.එයා හුඟක් දෙනෙකුට ප්රේම කරන්න ඇති.හුඟක් දෙනෙක් එයාටත් ප්රේම කරන්න ඇති.නමුත් එයා කවි ලිව්වේ ඔයාට විතරයි.එයාට ඕනි වුනා ඔයාට හුඟක් දේවල් කියන්න.නමුත් ඔයා එයාට අවස්ථාවක් දුන්නෙ නෑ.එයාට මාව ඕනිවුනේ අන්න ඒ වෙලාවට.ඔයා ගැන කියවන්න.ඔයාට ආදරේ බව කියන්න.ඔයා ආදරේ නැති බව කියන්න.'
මා නිහඬව බලා සිටියා.ඇත්තම කිව්වොත් කියන්න දෙයක් නැතුව.
ඉන්පසු...,
ඇය හදිසියේ පැමිණ හදිසියේ පිටවී ගියා.
ඔහු සොහොන් කළ තැනවත් නොඅසා.
මා බොහෝ වෙලාවක් අරමුණක් නැතිව බලාගත් අත බලාගෙන සිටියා.ඉන්පසු නැගිට ඔහු කවි ලියූ කාමරයට ගියා.වෙව්ලන දෑතින් ඔහු ලියූ පොතක් රැගෙන පිටු පෙරළුවා.අන් ගැහැනුන් ගැන ලියනවායයි සිතාගෙන මෙතෙක් කල් අතින්වත් නෑල්ලු පොත් ගණනාවක් අතරින් ඒ පොත දිගටම කියවාගෙන ගියා.
(පිටු දොළහ )
'ප්රියාවිය,
මා විසින් කියවන
ඔබ විසින් නොකියවන ලද
අපේ ප්රේමය
නියං සමයෙක පවා
මොටෙයියන් ඇදෙන කළ
ඔබ පැන් වඩයි
ධනයද,ඉසුරද,සැකයද යන
රූස්ස කැළයට .'
(පිටු පහළොව)
'රූබරිය ,
ඔබ එකළ හැඳි
දණතෙක් කෙටි
කෙටි ගවොම
සුළඟට යතැයි
තිස් වසකට පසුද
තවමත් මා බියව.'
(පිටු තිස් එක)
'සොඳුරිය..,
මීඩියම් හි හිඳ
ඩබල් එක්ස් එල් ව
ඔබ මගේ ගෙවත්තෙහි
පා තබන හැමවිට
ඔබේ පා සරහන
පාද ජාලාවක්ව
හඬදෙමි මම
රිදෙමින්
සිහින්වට.'
උදය කාලය අවසන්ව දහවල් කාලයද ඉන් අනතුරුව සවස් කාලයද පැමිණ තිබුනා.සෙවනැලි දිගුවී,සිහින්වී අඳුරට මුසු වෙන්න ලංව තිබුණා.ඇය විසින් අවසන් නොකළ තේ කෝප්පය වටා කුඩා කුහුඹුවන් රාශියක් එක් රොක්ව සිටියා.තව නොබෝ වෙලාවකින් අඳුර වැටෙනු ඇති.නොපමාව පහන් දැල්විය යුතුයි.එහෙත් මා නිසලව,අප්රාණිකව තව බොහෝ වෙලාවක් මෙතන සිටිනු ඇති.