Friday, August 21, 2020

මුහුදු රැළි දිග සාය!!



ඔයා ඉස්සර ආසම
මුහුදු රැළි දිග සාය
තවමත් තියෙනවා
අල්මාරියේ පැත්තක.

අත පිරෙන්නම දමාපු
ඉමිටේෂන් වළලු ටික
අමතක වෙලා
පරණ ලාච්චුවක.

විසි කළා ඒ කාලෙම
අන්තිම බිංදුවට හිඳුනු
ඩෙබියුටාන්
කුප්පිය.

තවමත්
අව්ව වැටෙනවා
දකුණු පැත්තෙ ජනේලෙ ළඟ
පුටුවට.

පත් වැටෙනකොට
අහගෙන ඉන්නව මම
තුරු හූල්ලන හඬට
තනියම .

තරමක් සීතලයි
හවසට
පරණ වුනත් සනීපයි
ඔයාගෙ ජර්සිය.

කවි ලියන්න
ඉඳගත්තට
හිස් කොළ හුළඟට යනවා
අන්තිමට.