Wednesday, February 15, 2012

.
හමුවූ නොයෙක් වර
අතින් අල්ලා ගන්න බැරි විය.
අහිමි වූ බව හැඟෙන විට
මගේ අත් දිග මදිවිය..
.
තහනම් කල නුවරක
තහනම් කල පොකුණ අස
එක්තරා දිනයක
පාෂාණිභූතවූ ඔබේ රුව.

කුරුබිලියකින් රිංගා
බැලිය හැකි,ස්පර්ශ කල හැකි.

පණ උපදවන මන්ත්‍රය
ජපකළ නොහැකි.
කුඩා කුරුබිලියෙන්
මෙපිටට ගෙන ආ නොහැකි.
.
ඔබ
ගල් කුලකි
රළ ගසන තැන.
සියුම්
පෙණ කැටියකට
බිඳී ගිය !
.
දෙතුන් පොලකින් ඉරී
අන්ඩ දැමු හදවත් දෙකක්
නූස් හතරැස් මේසයක
මුහුණට මුහුණ බලාගෙන.

කවුළුවෙන් හොරෙන් විත්
අකීකරු සුළඟක්
පහන්සිල බිඳ දමයි
කැළැලි නොපෙනෙන ලෙස...
.
ගැඹුරු නින්දක් අතර
නම කියනවා ඇසී
තිගැස්සී අවදි වෙමි.

කහපාට මල් පිරුන
ලොකු ඇහැළ ගහක් යට
හරියටම ඔබ හිඳී
එදවස සිටි ලෙසම.

"සිහිනයක්" යැයි ලියූ
දැන්වීමකුත් සමග!
.
ගස කියා තිබුණාය
කොළ පාට ගවුමක්ම
උවමනා බව.
එක් සිසිර ඍතුවක.
.
ඔබ ඇති
කොහේහරි තැනක
වැස්ස නරඹමින්
කඳුළු වස්සමින්!..
.
අප්පච්චි..,
නුඹට මං පේනවද
මං අඬන වෙලාවට
තාම දුක හිතෙනවද
ඔලුව අත ගාන්නට බැරි නිසා
'හෝස්' ගා බඩ පපුව දැවෙනවද ?
.
සතුට
ළඟ ලඟම ඇති සේ පෙනේ
වීදුරු දොරක
අත වදින බව නොදැනේ!..


.
පමාවී ආ අය
පමාවී යා යුතුය
නියමයක් නැත.
ඉක්මන් නොවුණත්
ඉක්මන් වෙන්ට පුළුවන.
ගිය අය ආ බවක් අසා නැත
ආවත්..., ඒ වෙන කෙනෙක්ය.
වැලි සෙල්ලම් කල බවවත්
මතක නැත.
.
මුදු සුමුදු
පහසක් දී
පිහාටුව
ඉගිලුණි.
සුළං ආ අත තවම
සොයා ගන්නට බැරිවිණි...
.
ඇය ඉතා යහපත්ව උන්නාය.
යහපත්තු ලොව පහල වන තුරුම.
.
.....විවාහය.....
සතියකට සැරයක්
දූවිලි ගසා
පරිස්සම් කර
යළි නමා තබමි
අත්තම්මාගෙන් උරුම වූ
කළුවර පෙට්ටගම තුළ
හොරෙක් හතුරෙකුට
ළංවෙන්න බැරි ලෙස.
.
හිමියනි
අමනාප නැත.
රෝස මල් නොගෙනාවට.
උළුඳු වඩයක් කා
ප්ලේන්ටී බොන්න යමු අප.
ඉරුණු අත් බෑගය
තවත් එක් මාසයක්
සඟවා තියා ගත හැක.
.
මා පැරණි පෙම්වත
රහසේම ලියා එවනු මැන
වැව් ඉවුර අද්දර
අදත් මල් පිපී තිබුනාද යන  වග.

.
...වැඩි දුරක් නැත...
වල් රෝසමල් පිපුණු මාවත
පසු කරන් යමි අදත් හවසට
බැරි වෙලාවත් ඔබ ඇවිත්දැයි
සිත අසයි පෙර පුරුදු විලසට.

මල් පඳුරු දණ ගසා එක තැන
දුක කියයි දඟකාර සුළඟට.
හැමදාම ඇවිදින්න එන අර
යුවළ ඇවිදින් අතින් අත ගෙන.

මුමුණන්න සිටි රහස් සේරම
කියමි අහසට,වැවට,සුළඟට
නොකියන්න ඔබ අසා සිටිතැයි
පෙනෙන නොපෙනෙන ඉසව්වක සිට.

පැලක් ඇත නිදන්නට
බතක් ඇත බුදින්නට
තවත් පිටු දෙක තුනක
පොතක් ඇත බලන්නට.
.
ඉහිරුණු මුතුහරක්
තවම ළය තුළ ඇත
සැඟවුන මුතු ඇටයක
අඩුවකුත් සහිතව.
.
කහපාට තුරුපත්
හිස නමා සුළඟට
මා අවට පතිතව.

සිහින් දිය දහරක්
කවියක් මුමුනමින්
දිය බිඳු ඉසින.

මා බොහෝ හිස්ව
එක විටම
පිරී ඉතිරෙන්න ලංව!
.
.....වෙහෙසය....
සුළඟ
මා අවදි නොකරව
කියඹුවැල් අවුල් කර රිසි ලෙස.
හිරු එළිය
නොවැටෙන් ඇස මතට
කීතු කීතු කර සිහිනය.
මිතුරනි
නොඑවන් අරාධනා පත්
මිය ගිය එකෙකු සේ සලකව.
ලෝකය
අතහැර දමන් මා
මායාවේ ගිලෙන්නට ඉඩහැර.
.
සුළඟ..,
සිපගත් පලියටම
නැවතිය යුතු නැතැයි
සෙමෙන් මුමුණන විට
නතරවී අහවරය මම.