Saturday, July 26, 2014

සිහිනවල පාට!!




ඔබ සිහින දකින්නේ කවරාකාරයෙන්ද ? 

සුදු හීනි දෙපා ඇති 
රුසියන් තරුණියන් ගැන 
සිහින දකින්නේ රතු පාටින්ද?
කතා බහ කරන්නේ රුසියන් භාෂාවෙන්ද ?

කෙටි කොණ්ඩා සහිත 
සරාගී ප්‍රංශ ළඳුන් 
සිහිනෙන් පෙනෙන්නේ දම් පාටින්ද?
කතා බහ කරන්නේ ප්‍රංශ භාෂාවෙන්ද?

රන් පිළිමයන් බඳු 
හින්දි ලලනාවන් 
රඟ දෙනු දකින්නේ රෝස පාටින් නේද?
කතා බහ කරන්නේ හින්දි භාෂාවෙන්ද?

සියලුම පාට ඉවරවූ පසුද 
දකින්නට තව සිහින තියේනම් 
පෙම්වත ,
අවර්ණ වර්ණයෙන් වුව 
මා සිටින සිහින දකිනු මැන 
ප්‍රේමයේ ගොළු බසින් දොඩනු මැන .

Monday, July 21, 2014

මම මා කියවන අයුරු .!!!



සුමිතුර,
සපැමිනෙන්න 
පිටදී මල් හලන ගසකට 
ඇහුම්කන් දෙනු පිණිස 
මම මා කියවන අයුරු .

මෙතෙක් නොකියවූ ඡේද
තරමක් ඉහළ ස්වරයෙන්ද 
සෘංගාරාත්මක කොටස් 
ඉතා රහස් හඬකින්ද 
මා කියනයුරු අහගන්න.

ප්‍රකාශයට පත්කර ඇති 
ප්‍රසිද්ධ පරිච්ඡේද
නොකියවමි නැවත.
විනිශ්චය කර ඇති හෙයින් 
මීට පෙර.


වෙහෙසක් දැනේනම් ඔබට 
නැගිට යා හැක නොකියාම.
අදහස් දක්වණු පිණිස 
හිස් පිටු කීපයක් ඇත ඉතිරිව.

Sunday, July 20, 2014

සමහරවිට මට සිහිය නැති වෙන්නැති!!!



සමහරවිට 
මං වගේ කෙනෙක් මිසක් 
ඇත්ත මං තවදුරටත් නැතුවැති .

සමහරවිට 
මං පැනල යන්නැති 
තාත්තා බීගෙන ඇවිත් 
අම්මට ගහපු දවසක 
ඉකි ගහ ගහ අඬ අඬා 
ඉස හැරුණු පැත්තක.

සමහරවිට 
මට සිහිය නැති වෙන්නැති
විභාග ප්‍රතිපල ආපු දවසෙ 
එකම එක ලකුණකින් 
කැම්පස් යන්න බැරි වෙච්චි 
දුකට,නැත්නම් තරහට.

සමහරවිට 
මං පියාඹල යන්නැති 
ආදරෙයි කියා ඔබ කිව් දවසෙ 
ආකහේ ඉරාගෙන 
වැහි ලිහිණියක් වාගෙ 
සන්තෝසේ වැඩි කමට. 

සමහරවිට 
මං මැරෙන්න ඇති 
ඔබ යන්න ගිය දවසේ 
ආපහු නොබලාම 
ඉරක් වගේ කෙලින් පාරේ 
තෙමි තෙමි තද වැස්සේ.

හැඳුනුම් පතේ ඉන්නේ 
මං වගේ කෙනෙක් වුනාට 
ඒ මං වෙන්න බෑ
ඇත්ත මං නිතරම හිනාවුන කෙනෙක් 
මේ ඉන්නෙ වෙන කෙනෙක් 
බුම්මගෙන,කඳුළු පුරෝගෙන.

Monday, July 14, 2014

නිල්පාට කමිසය පපුවට ඇලී තිබුනයුරු !!!

.
හිරුට පිටුපා හුන් 
ඔබේ දෙනයන 
ක්ෂණයකට දිලිසුණයුරු. 

රළ පහරකින් තෙත්වුණු 
නිල්පාට කමිසය 
ඇලී තිබුනයුරු පපුවට.

ඔන්න මෙන්න කියා 
සිපගන්න 
දෙතොල් වෙව්ලූ හැටි .

ජීවිතය කියා 
බොහෝ දෙයක් නැත 
අතේ ඇඟිලි වලටත් අඩුවෙනි.

Friday, July 04, 2014

මස්කාරා බිඳුවකට වහන්ව !!!


 
.
ඇහි පිල්ලමක් යට 
මස්කාරා බිඳුවකට වහන්ව 
ඉන්න හපනෙකි
ඔබ.

උඩු තොළ අසබඩ 
හීන් දාඩිය බුබුළක 
කෙසේ සැඟවිණිද 
ඔබ.

විළිවැදුණු කම්මුලක 
වක් ගැහුණු සුළියක 
දඟ නොකර ඉන්න හැටි 
ඔබ.

ගුහාවක සිරකර 
වසා ඇතිමුත් ළය 
ගල් දොර සිඳ ඇති වගයි 
ඔබ.

Thursday, July 03, 2014

මොහොතක් තියා තිරය වැසෙයි!!!


.
හමුවෙන්න මොහොතක් තියා 
අප දෙදෙන 
තිරය වැසෙයි. 
ලන්තෑරුම් දැල්වෙයි. 
මහත් ඝෝෂා කරමින් 
නරඹන්නන් පිටවෙයි.

නැවත නැවතත් 
මෙයම සිදුවෙයි.
වැසුණු තිරයෙන් මෙපිට 
කඳු අතර පහන් දැල්වෙයි.

නිදිමත කොවුලෙක් 
සියුම් කූජනයක් නගයි.
හිම මෙන් සීතලට 
සුළැඟිලි පහසක් දැනෙයි.

එහෙත්..,
හමුවෙන්න මොහොතක් තියා 
අප දෙදෙන 
තිරය වැසෙයි.

Tuesday, July 01, 2014

හෙන්දිරික්ක මල් එක්ක!!!



ඇවිත් යයි 
හවසට 
හෙන්දිරික්ක මල් එක්ක 
දුක.

දම්පාටින් පටන්ගෙන 
කට්ට කළු පාට.

Thursday, June 26, 2014

ඔබ පිපී හිඳිතැයි සිතා!!!

.....ඔබ.....

දිළී හිඳිතැයි සිතා 
ඝන රැයක 
තරු ගනිමි.

පිපී හිඳිතැයි සිතා 
අතු පතර 
ඉව කරමි.

එතී හිඳිතැයි සිතා
මඳනළක 
එහි වෙළෙමි .

යළිත් ඒයැයි කියා 
කැඩපතට 
බොරු කියමි.

Tuesday, June 24, 2014

සිප ගැනීමෙන් පසුවද !!!

.
මතකද එකල 
බොහෝ ඉස්පාසු තිබුන වුව 
ජීවිතය විඳින්නට 
කලබල කල තරම අප.

අතින් අල්ලා ගිය වුව 
නොසෑහී දුක්වූ අයුර 
සිප ගැනීමෙන් පසුවද 
හෙලූ සුසුමන් අපමණ . 

හැල්මේ දුවන අතරමග 
සැතපුම් කුළුණු පසුකර 
දුෂ්කරම මොහොතක 
බැඳ තිබූ බැමි ගිලිහිණ .

තාරුකා යට වැතිරී 
අතීතය සොයන මොහොතක 
ප්‍රියේ නුඹ හමුවෙයි 
මා මෙන්ම කවුරුන්ද සොයමින.

Monday, June 23, 2014

දෛවයේ සිතියම!!!

.
අපි පාට කළෙමුය 
දෛවයේ සිතියම
ප්‍රේමයේ පැහැයෙන්. 
මුහුදු යැයි සිතාගෙන 
රළු කාන්තාර.

Sunday, June 22, 2014

නාඳුනන,හඳුනන!!

.
නාඳුනන සිත්තරෙක් 
අහම්බෙන් සිතුවම් කළ
ඔබේ චිත්‍රයක් ඇත තවම
මඳක් පාටගිය,එහෙත් පොඩිනොවුණ .

වම් කම්මුළෙහි
නිතර නැගෙනා සිනා සුළිය 
කොතරම් හොඳින් ඇඳ ඇත්ද එහි 
නාඳුනන තැනැත්තෙක්,හඳුනන මට වැඩිය.

Thursday, June 19, 2014

නුඹටත් මහන්සිද??



.
මා ප්‍රිය........!

දුකකට හිස අතගාන 
අත 
තනිවට අතැර නොයනා 
සිත 
රිදෙව්වත් කඳුළු නොඑනා 
නෙත 
මහන්සියි නේද නුඹටත් 
මිත.

එය ගණන් ගත යුතු නැත!!


.
සොඳුර,
ඔබ කැමතිම විදියට 
(මගේ ප්‍රියතම)
වසන්ත කුසුම් මත 
අතුරවා ඇත 
හිම.

Tuesday, June 17, 2014

අප කුමක් කරන්නද පෙම්වත!!!





.
විඩාබර ඉඩෝරය නිමාකර 
මුදු හඬින් වැසි බිංදු වැටුනාට 
පෙම්වතුන් එකිනෙකා තුරුළු වී 
වර්ෂාවෙ ප්‍රමෝදය වින්දාට 
අප කුමක් කරන්නද පෙම්වත 
දෙඅතකට වෙන්ව ගිය හින්දාම.

අළුපාට වලාකුළු පෙළ ගැසී 
සඳ පාන මොහොතකට නිවුවාම 
සීත සුළඟක් ඇවිත් රහසේම 
සිල් බිඳෙන කතාවන් කිව්වාට 
අප කුමක් කරන්නද පෙම්වත
බැඳෙන්නත් පෙර බැඳුම් බිඳුනාට .

අතර මග නතරවෙන හැම විටම 
මතක සලකුණු ඇසට පෙනුනාට 
යා යුතුව ඇතත් තව බොහෝ දුර 
ඉතින් නම් වාරුවක් නැතුවාට 
අප කුමක් කරන්නද පෙම්වත
හඬා වැළපෙනු මිසක හැමදාම.

අප නතර වූ බවක් නොතකාම 
ජීවිතය ඉදිරියට දිව්වාට 
කාලයේ තැලුම් පහරට ලක්ව 
හදවතෙන් නිතර ලේ ගැලුවාට 
අප කුමක් කරන්නද පෙම්වත
මොහොතකට එඩි බිඳුණු හින්දාම.

අත්ල තදකර අත්ලට!!





.
අකුළන පුටු දෙකක් ගෙන 
එන්න යමු ගං ඉවුරට.
අත්ල තදකර අත්ලට 
බලා ඉමු තරු අහස දෙස.

උණ කොළ සැළෙයි 
ගං දියේ සඳ සැතපෙයි 
අවතාර කතාවක මෙන් 
සෙවනැළි දිගයි අඳුරුයි.

සුරඟනක් මෙන් රඟපෑ 
සුන්දරම කාලය නිමයි .
වීරයෙක් වෙන්නැයි හිතූ 
සිතුවිල්ලට පවා හිනහයි.

උමතු වූ මත්ස්‍යයෙකු 
ගඟෙහි සඳවත මත නටයි. 
ළයෙහි හිස රඳවන්න 
වදන් මින් මතු අකැපයි .

Monday, June 16, 2014

රහසකින්වත් පවක් වී නැත.!!






තාරුකාවක් වූ හෙයින් ඔබ 

නොදැන සිටියෙමි 

මළ වගක් තිස් වසකටත් පෙර.


සිහිළ විඳිමින් හිඳි වුවත් මම

ප්‍රියේ නොතැවෙන් 

රහසකින්වත් පවක් වී නැත.

Tuesday, June 03, 2014

දත් පහරවල්!!



පැමිණ ඇත 
වස්සාන ඍතුව 
සියුම් දත් පහරවල් තබමින් 
ගෙල මත.

ආතුර වූ සිතින් !!

.
නොලියවෙන වග දැන දැනත් 
එකදු කවියක් මා ගැන 
කියවමි ඔබේ කවි 
සොඳුරු අඟනුන්ට ලියවුණ 
ආතුර වූ සිතින් 
හෙලා කඳුළැලි තනි යහන මත.

ප්‍රියේ ඔබ අවදිව 
විවර කරනා විටදි කවුළුව 
තණ පත් අතර රැඳවුන 
මල් තුහින ඇත කවක වෙස් ගෙන.
කිසිවෙකුත් නොකියවන 
කවිය ඒ මා ලියූ ඔබ ගැන.

Saturday, May 31, 2014

දීර්ඝම දවස්!!!





දීර්ඝම දවස් ඇත 
සාදය නිමාවූ පසු 
හිස රැඳුණු කානේෂන් මලක් සේ 
උවමනා නොවූවද 
තව දුරටත් පැළඳහුන්
මතකයක.

දීර්ඝම දවස් ඇත
පිපාසය සංසිඳුණු පසු 
බිම තියනු නොහැකි කුසලානයක් සේ 
ඉව කරමින් සුවඳට 
හිස් බව නොඅදහන 
ප්‍රේමයක.

දීර්ඝම දවස් ඇත
අන් අතක බැඳුනද 
පියාපත් සඟවා ගත් කුරවියක සේ 
සුදුසුම මොහොත එනතුරු 
කල්ප කාලයක් පෙරුම් පිරිය යුතු 
හීනයක .




Thursday, May 29, 2014

අත්ල කොණහන තුරු!!!

.
ප්‍රියේ!
ඔබට පුළුවනි ඉඳහිට 
ආදරේයැයි පවසන්න. 
තේ හදා අතට දෙනවිට 
අත්ල හෙමිහිට කොණහන්න.
උයනවිට හොරෙන් විත් 
හාද්දක් ගෙළට දී සැඟවෙන්න.

එවිට මට පුළුවනි 
කුඩා කෙල්ලක් වගේ හිනැහෙන්න.
බෙහෙත් පෙති බෝතලේ 
වත්ත පල්ලැහැ තැනක වළලන්න.

Monday, May 26, 2014

විළියෙන් ඇඹරෙන වෙල්වට් !!!


.
කම්මැළි කඳු මුදුන් 
සිප සනසාන යයි 
සීතල වලාකුළු.

උඳුපියළි පත් මත 
ප්‍රිස්ම මෙන් දිළිසෙයි 
ඉතිරි වූ වැහි බිඳු .

දිගු සෙවණැලි මත 
රන්වන් පැහැය තවරයි 
නින්දට යන හිරු.

රෝස පැහැ වෙල්වට් 
විළියෙන් ඇඹරෙයි
දෙතොල් දැක ඈ සතු.

Thursday, May 22, 2014

අයිස් සරුවත් කඩවල!!!


.
හැන්දෑවෙ හතේ බස් එකේ 
අන්තිමම අසුනෙ හිඳගෙන 
මඳක් ඉඩ තියාගෙන යමි 
වැරදීමකින් හෝ එතැයි සිතමින්.

වැව රවුමෙ ඇවිදින විට 
සුරත ලිහිල් කරගෙන යමි 
බැරිවීමකින් හෝ ඇවිත් හෙමිහිට 
අතින් අත පටලා ගනීදැයි පතමින්.

නගරයේ උන්මන්තක වීදිවල 
විමසිල්ලෙන් හඹා යමි 
අයිස් සරුවත් කඩවල,අඹ වෙළෙන්දන් අස 
සැඟවී බලා හිඳීදැයි නොදනිමින්.

සඳ නොපායන රාත්‍රීවල 
ඉකිබිඳුම් සිරකර සැතපෙමි 
යහනෙහි එක් පසක් 
කොතරම් සීතලදැයි නොසිතමින්.

Tuesday, May 20, 2014

අප්පච්චි ඔබ.!!!

.
මදඳුරු රාත්‍රියක 
තැලුම් කෑ හදවතක් සමගින් 
හිස නමා වැළපෙන විට 
තාරුකා එළියක් ලෙසින් විත් 
'නැගිටින් ලොකු දුවේ' කියයි 
අප්පච්චි ඔබ.

කොල්ලෑව බිඳ වැටුණු 
කුඩා ඔරුවක තනිව 
දෛවයට ඉඩ දෙන විටෙක 
සුළං රැල්ලක් එවා මදෙසට 
'ගොඩට එන් ලොකු දුවේ' කියයි 
අප්පච්චි ඔබ.

බොහෝ දෙනා පවසති 
නොඑන වග නැවත කිසිදින 
එහෙත් උන් නොදනිති 
තනිවන හැමවිටම 
හිස අතගා යතැයි 
තවම ඔබ.

Sunday, May 18, 2014

පිළිස්සෙන කුසුම!!!!




නිමෙන ලෙස 
පහන් දැල්ලක් සුළඟට 
නිමාවිය සෙනෙහස.

මඳක් කල් යනතුරු 
ඉඳහිට දැනුනි කර සුවඳ 
පිළිස්සෙන කුසුමක.

ඉකි බිඳින කඳුල!!!







.
කළුවර රාත්‍රියක 
වැසුණු කවුළුව මත 
මල් අත්තක් ගැටෙන හඬකින් 
අවදි වෙමි.

ඔබ ඇවිත් යනු ඇත 
අදත් සුපුරුදු ලෙස 
යහනෙහි හොවා රිදුනු ළය 
අසා ඉමි.

නිදිබර උදෑසන 
විවර කර මඳක් කවුළුව 
තවමත් නොවේලුනු කඳුලක් 
ඇහිඳ ගමි.

දිගු දවස ඇරඹුමට 
සුභ නිමිත්තක් සේ 
අවුල් හිසකෙයා'තර 
ඉකි බිඳින කඳුල රඳවමි.

අපිට තිබුනේ බැංකොක් යන්න.!

.
රිදී ජුබිලියට 
දානයක් දෙනවා වෙනුවට 
අපිට තිබුනේ බැංකොක් යන්න.
පැකේජ් තියෙනවා හැම තැනම 
එක එක ගානට අතේ මිටේ තරමට.

ඇඳුම් ගන්න තිබුණා ඇතිතරං 
සපත්තු,හෑන්ඩ් බෑග් ,සෙන්ට් පවුඩර් 
මෙහෙ මිලෙන් බාගෙට 
දන්න අයට විකුනන්නත් තිබුණා
කඩේට වඩා අඩුවට. 

පොඩි කාලේ මට තිබුනේ 
ගවුම් තුනයි,එක සපත්තු ජෝඩුවයි.
පිරිමහ ගන්න වුනා අවුරුද්දම 
හෝදලා වේලලා,වේලලා හෝදලා.
ඇඟිලි ඇද වුනේ හිරට සපත්තු දාලා.

බැන්ද අලුත මතකද ඔයාට
පඩි ගන්නේ හෙට කියලා 
පාන් ගෙන්න ගිය හැටි .
කැටේ කට ලොකු කරලා 
කාසි අරගෙන එළියට .

කාර් එකක් තියා බයිසිකලයක්වත් නෑ 
පුතත් වඩාගෙන බඩුත් උස්සගෙන 
බස්වල,කෝච්චිවල 
දුෂ්කර ගමන් ගිය හැටි 
සීට් එකක්වත් නැතුව වමනෙ දම දමා.

දානෙට ගිය මුදලින් 
අගේට බැංකොක් යන්න තිබුනා 
ඔෆිස් එකේ හුඟක් ඈයො
නිවාඩුවලට යන්නෙම පිටරට 
අපිට කොහෙන්ද එහෙම සැපක් .

මං දොස් කියනවා නෙමෙයි 
පිං කරනේක හොඳයි තමයි 
එකවුන්ට් එක පුරෝන තරමට 
ලබන ආත්මෙ සැප ලැබෙයි.
(ඒත් )කවුද දන්නෙ ෂුවර්ද කියලා.

උදේට උයල,වැඩට ගිහින්,ගෙදර ඇවිත්,ආයේ උයලා 
සෙක්කුවක වගේ රවුමට කැරකිලා 
නිකම්ම නිකං වයසට ගිහිල්ල.
දන්නවද,අපිට තිබුනෙ බැංකොක් යන්න 
හීල් දානෙ පොඩ්ඩක් පන්සලට ගෙනියන්න.

Tuesday, May 13, 2014

හාදු වලට එබුන නළලත!!!





අතැර යන්නෙමි කියා සපථ කර 
සුලැඟිල්ලක ,හාදු වලට එබුන නළලත 
අකීකරු කෙහෙ රොදක 
හරියටම ළයේ වම්පස 
තවමත් රැඳී ඉන්නට කිම්ද කාරණ ?



නිදිවගේ සිටි නිසා!!!


.
සිහිනයක සිටි 
කුමාරිය මම 
හදිසියේ ඇස් ඇරුණ.
නිදිවගේ සිටි නිසා 
ඔබ 
එතැන් සිට මග ඇරුණ.

නුඹට ලිව් කවි!!!



.
මහත් අහසෙහි 
ඉහත්තාවක 
පුරුදු තැන්වල තරුත් හිනැහෙයි .

කිරල් යුවළක් 
නිදියන්න පෙර 
තව වරක් පෙම්කවක් මුමුණයි .

ඔබත් නොමැතිව 
තවත් දිනයක් 
සුසානය වෙත යන්ට තතනයි .

වරක් අවදිව 
බලන් නුබ කුස 
නුඹට ලිව් කවි තවම දිදුළයි .

Friday, May 09, 2014

විශ්වයම මහා බොරුවක් වෙන්නැති !!!!

.
සමහරවිට 
මම බොරු කියන්නැති 
ඇත්ත වගේම හිතෙන විදියට 
ඒ නිසා ඔබ රැවටෙන්න ඇති .

සමහරවිට 
ඔබ බොරු කරන්නැති 
ආදරේ බව දැනෙන විදියට 
ඒ නිසා මට දුක හිතෙන්නැති .

සමනළුන් 
සිරීපාදේ ගොහින් 
ආයෙමත් ආපහු එන්නැති 
එතකල් මල් බලා නොඉන්නැති .

පිච්චමල් 
පිපී ඉන්නම් කියා 
ලේ වලින් පිළින දෙන්නැති 
ඒත් අළුයම පරවී වැටෙන්නැති .

සමහරවිට 
විශ්වයම මහා බොරුවක් වෙන්නැති 
අපිත් එහි කුඩා කොටස් වෙන්නැති
ලොකු කොටස් තව ඉදිරියේ ඇති.

Tuesday, May 06, 2014

රැළි කෙස් අහස!








.
රැළි කෙස් 
පිළිවෙලට පීරා 
දේදුනු රිබන් පටියක් බැඳ 
අහස!

පොද වැහි!!






කියවා ඔබේ කවි 
අතුපතර නැවතිලා 
පොද වැහි .

උල්කා වැස්ස!!!





.
ගණන් නැති තරමින් 
විසල් ගගණත දිදුළන 
කුදු මහත් විසල් තරුවල 
එකම හිමිකරු ඔබ විය.

හදිසියේ ඇදහැලුණු 
උල්කා වැස්සකට පෙර.

මේ ඒ සුළඟමයි !!



.
මේ ඒ සුළඟමයි 

කෙසෙල් කොළ කීතු කීතු කර පැන දුවන 
කුසුම් සිඹ සුවඳ පමණක් අරන් ගෙට එබෙන 
කියඹු වැල් අවුල් කර සියුම් කිති ගන්වන 
සුළඟමයි මේ ඒ රස මතක අවුළන .

පොකුණුවල රැළි සදන 
දුහුල් සළු මෑත්කර 
තරුණියන් වසං කළ 
සුදු දෙපා පෙන්වන 
ඔන්චිල්ලා පවා ඉබේටම නටවන 
මේ ඒ සුළඟමයි මට මතක විදියට.

සෙල්ලම් ලී අසුන් 
නිරන්තරයෙන් පද්දන 
සිප්පි කටු රැගෙන එන්නැයි 
මහ මුහුද කළඹවන 
සංගීත සංධ්වනියකි රාව නංවන 
මේ ඒ සුළඟමයි ඔබට මතකද?

එක්තරා දවසක 
මෙවන් සුළඟැති සවසක 
සීතලදැයි අසා 
තුරුළු කරගත් මොහොතක 
සිහිනෙන් මෙන් ඇසුන 
සංගීතයක් විය 
ඒ මේ සුළඟමයි 
කොතරම් උණුසුම්ද මතකය.

Monday, April 28, 2014

ඔයා කියනව ඔයා මැරිලලු!!



අවුරුදුම විසි පහක්.....!
ඔයා කියනව ඔයා මැරිලලු. 
මිනීමරුවා මමලු.
හර්දය වස්තුව පසාරු වෙන්න 
මං ඇන්නලු ළී උළකින්.

ඇත්තටම ඇත්ත කිව්වොත් 
මට හරියටම මතකත් නෑ .
අනින්නත් ඇති තමයි මං 
ඇනල අහක බලාන එන්නත් ඇති.

සොහොනකින් පැනල ආව අවතාරයක් වගේ 
මෙන්න ඔයා ඇවිත් හිටි හැටියෙම 
අවුරුදුම විසි පහක් 
කොහොම ඉන්නද මැරිල වුනත්.

ඔයා මැරිල නෑ බබා 
කරුවලම කරුවල රාත්රිවල 
මට ඇහුනෙ ඔයා හුස්ම ගන්නවා 
එහෙනං කොහොමද ඔයා මැරිල වෙන්නේ ?

දුක හිතුනු සැන්දෑවල්වල
මට ඇහුනා ඔයා අඬන සද්දෙ 
මමෙයි කියා මක් කරන්නද 
මාත් මැරුණා වගෙයි හිටියෙ .

ඔයා කොහොමද දැන්ම මැරෙන්නෙ 
ඔයාගෙ ළමයි,සැර වුනත් නෝනා 
පොල් වත්ත,ඩිෆෙන්ඩර් එක 
ඇයි මගේ මතක පොත.

සමහර වෙලාවල්වලට 
මටත් හරියට පාළුයි 
පුරුද්දට හුස්ම ගත්තට 
පපුවේ පැත්තක් අඩුයි වගේ.

ඔයාට දෙන්න බැරිවෙලා 
මගෙන් ඉල්ලගත්තු හුස්ම ටික 
හිටි හැටියෙමනේ මං ආවෙ 
ඔයාව දාලා වීරයෙක් වගේ.

මට හිතුන්නෑ පාච්චල් වෙන්න 
දුප්පත් වුනත් අපි ටිකක් උසයි.
ඒත් ඔයා ඊටත් උසයි.
ඔයා කිව්වට ඔයාමමත් නෙමෙයි.

පිණි බිංදු දාහක් අතර තිබුනත් 
අඳුනන්න පුළුවන් ඔයාගෙ කඳුළු 
මල් වත්තක ඇස් වහං හිටියත් 
ඔයාගෙ සුවඳ හරි වෙනස්.

අපි දිගටම මෙහෙම ඉමු 
ඈතට වෙලා බලාගෙන 
ඉටු කරන්න යුතුකම් නැතුව 
දවසගානෙ දෙන්න පොරොන්දු නැතුව.

ඔයා මොන විදියට හිතුවත් 
එහෙම වෙච්චි එක හොඳයි.
ඒකයි තාමත් හිටි ගමන් 
ඔයා දැක්කම පපුව ගැහෙන්නෙ .




Thursday, April 24, 2014

ගූගල් සිතියම්!!!


.
වලාකුළු රහිත අහසක 
තවත් ඉතිරිව ඇත 
එකම එක තාරුකාවක් 
බිම වැටෙන්නට අකමැති.

වැහි බිඳක් වැටෙන හඬ වුව 
සදයි සුළු හෝ ශබ්දයක් .
මල් පෙති දිගහැරෙන අන්දම 
කාට ඕනිද දැන ගන්න.

ඉතිරිව ඇත්නම් එකක් දෙකක් 
මුහුණ පෙන්වන්න කැමති කඳු 
දිගු කබා ලාගත් තරුණයෙනි 
මෙන්න ඒ ඔබේ වාරයයි.

අතරමංවීමේ ප්‍රීතිය 
විඳින්න ඉඩ දෙන්න තව ටිකක් 
අකුලමි ගූගල් සිතියම් 
ප්‍රතිචාරයක් නොමැත ඔබ ඇමතු අංකයෙන්.

තවමත් මීදුමින් පිරෙයි!!!








ඇවිද යන අතරතුර 
කඳුකර පාළු පෙදෙසක 
මීදුම් ඇවිත් වසාගති
අප දෙදෙන හා පොළොවද . 

'ලේන්සුව දෙන්නද 
ඔතා ගන්නට මීදුම '
ඇසුවා ඔබ සෙමෙන් 
දයාබර සොයුරෙක් ලෙස.

අළස තාරාවෙක් 
තම පියාපත් වේලමින් 
දිය කඩිත්තක් අසල සිටියා 
මඳක් බියරැඳි විළසින .

ජැම්සන් ගසක එල්ලී 
සිවුරු හඬ නැංවූයේ 
බට්ටිච්චෙක්ද යනවග 
පෙම්වත අමතකය මට.

මීදුම පහව ගොස් 
බොහෝ අවුරුදු ගෙවී ගියමුත් 
තවමත් මීදුමින් පිරෙයි 
දෑස ඔබ සිහිවෙන කල.

අත්හැරීමේ පරම ප්‍රීතිය!!!


.
ඒත්තු ගිය පසු ...,

බිඳුණු පසු ඔරුබඳ 
මා දමා එතෙර විය හැකිබව 
පිපාසිත කතර මැද 
උර පලා රුහිරු නොපොවන බව 
ඝන කුණාටුවකට 
මුහුණදී මා නොරක්නා බව 
විශ්මයකි 
පසක් වූ අපූරුව 
අතින් අත ගෙන සිටියදී වුව
අත්හැරීමේ පරම ප්‍රීතිය.

Sunday, April 06, 2014

මා කවුරුද???

     

මා හින්දි නිළියක් නම් 
බර රන් අබරනෙන් සැරහී 
හිමි ගෙට එනතුරු 
බලා සිටිය හැක.
දිනකට පැය දහඅටක් 
කුස්සියේ ගත කල හැක.
දෑවැද්ද මදි යයි කියා කියා 
බැනුම් ඇසිය හැක 
සියලු වරදට සමාව දී 
සිංදුවක් කීව හැක.


මා ඉංග්‍රීසි නිළියක් නම් 
බාර් එකට ගොස් 
අඩි ගැසිය හැක.
ස්වාමියා ටෝස්ට් හදන තුරු 
නිදාගත හැක.
'මං ඉව්වා නුඹ දීසි සෝදපන්'
අණ කල හැක.
'බොට එපානම් 
මටත් එපා' කියා 
වෙන්විය හැක.

මා ඔවුන් නොවන නිසා 
මේ කිසිත් කල නොහැක.
මා කවුරුදයි 
මාවත් නොදන්නා හෙයින් 
මා හඳුනා ගනිතැයි 
මටවත් සිතිය නොහැක.

Friday, April 04, 2014

වම් ඇහිබැමට ඉහළින් !!!


.
වම් ඇහිබැමට ඉහළින් 
තිබුනා කුඩා ඉන්නෙක් 
තරහ ගිය වෙලාවට 
රතු වෙන.

කොතෙක් වෙර දමා පීරුවත් 
කුඩා කෙස් කැරැල්ලක් 
නළලට වැටෙනවාමයි 
හැමවිට.

කොටු කොටු කමිස වලට 
වැඩියෙන්ම කැමතියි 
කළු කලිසම් වලට 
ගැළපෙන. 

මගුල් දවසෙදි වුනත් 
තිබුන්නෑලු හිනාවක් 
කවුරුත් කතාවුනේ 
ඒ ගැන .
අවුරුදු ගානකින්  
ලියුමක්වත් නොඑව්වේ 
පුංචි දූ  හැංගුවද 
ලිපිනය?

Thursday, April 03, 2014

ගෙම්බන්ටත් හාදු!!!


.
ගෙම්බෝ ඉන්න තරමට
හාදු..හාදු...හාදු....
කොච්චරක් කියල දෙන්නද?

නිල් පැහැ කැන්වසය !


.
දිය සායම් බඳුන් 
රැගෙන එයි සැන්දෑව 
නිල් පැහැ කැන්වසය මත
හෙලනු පිණිස .


දැඩි දඬුවම්!!!


.
දඬුවම් කල යුතුය 
අරලියා සුවඳැති
විළවුන්
නිපදවූ අයටද 
ගැල්වූ අයටද 
ඉවසූ අයටද
බොහෝ කල් යනතුරු 
සිහි තබාගත් අයටද .


Wednesday, April 02, 2014

වවුල් ගීයක්!!!

Arvind Kolapkar
.
රන්වන් වතක් යට 
හැඩිදැඩි උරක් මත 
සැතපෙන්න තහනම්ද 
බණ්ඩාරේ අපට.

හෙන ගහන අඳුරක 
වෙණ හඬක් නෑහුනත්
සීපද කියන්න අකැපද 
කියහන් ඉක්මනට.

හඳ හැංගෙනා රෑක 
යටි උගුරින් ඇහෙන 
වවුල් ගීයක් වගෙද 
මගේ පෙම නුඹට .