Tuesday, October 20, 2015

.....මේ නපුරු කාලයකි....






සිනායන තැන්හිද 
මහත් සේ දුක දැනෙන
ජය කනුව පෙනි පෙනී 
පරාජිත සේ හැඟෙන 
රෑ සිහිනයෙන් පවා 
ඉකි බිඳුම් හඬ ඇසෙන 
මේ නපුරු කාලයකි 
වහා කළුවර වැටෙන .

සාගරය අගිස්සෙන් 
වේලපහ හිරු බසින 
සඳ එන්න ප්‍රථමයෙන් 
තාරුකා ඇස් අරින 
අළු පාට පසුබිමක 
ගහ කොලද හති අරින 
මේ නපුරු කාලයකි
මල් පවා ඉකි බිඳින.

පමා ඇයි පෙම්වත
නොපමාව මෙහි එන්න 
පිපී ඇති සියලු මල් 
අප වෙතට කැන්දන්න 
දෙසැම්බරයට නැවත 
නොඑන්නැයි පවසන්න 
පොරෝනාවක් ලෙසින් 
මා වසා පැතිරෙන්න.

.....දළඹු ෆොසිල.....







 ඇය අසුනේ හරිබරි ගැසෙමින් ඉයර්ෆෝන් කන් දෙක තුළට රුවා ගත්තා.තව පැය දෙකක් නියමිත යානය එනතුරු රැඳී සිටිය යුතුයි.ඉන්පසු තව පැය දාසයක ගමනක්.එයාර්පෝට් එකට පුතා ඇවිත් ඉඳී . 
ඔහු හරියටම ඒ වෙලාවේ එතැන පසුකර යමින් උන්නා.වෙනත් යානයකට. විදුළියක් කෙටුවාක් මෙන් ඇය අසල නැවතුනා.'සමහරවිට අඳුනා ගන්න එකක් නෑ .' 
ඇය මඳක් වෙව්ලුවා.ඉයර්ෆෝන් කන් තුළ රුවාගෙනම ඉද්ද ගැසුවාක් සේ නැගිට්ටා. "ඔයා....?"
 කාලය ඉරුණු තැන් පුරුද්දමින්,රිදුනු තැන් අතගාමින් ටිකි ටිකි හඬ නගන්නට වුනා. සම මඳක් රැලිවී ,කම්මුල් දිස්නය තුනී වී,තැන තැන ඉදුණු කෙස් ගස් සහිත කුඩා ළමයින් දෙදෙනෙක් එකිනෙකා දෙස ඇසි පිය නොහෙලා බලාගත්වනම බලාගෙන උන්නා.

 'මට දුවෙක්. ලබන මාසෙ වෙඩින් එක.'

 "පුතා බැඳලා .මම බබා බලාගන්න යනවා."

 'පැය එක හමාරක් තියෙනවා ෆ්ලයිට් එකට.සති දෙකක ටුවර් එකක්.' 

ඇය සිනාසුනා.විසි පස්‌ වසරකට පෙර මෙන්ම කම්මුලේ සුළියකුත් සමග.

 'මට වෙලාවකට හිතෙනවා ඔයා උත්තරයක් එවන්න ඇති. තැපෑලෙදි නැති වෙන්න ඇති කියලා. එක්කෝ තැපැල් කාරයා ලියුම කඩන්න ඇති.ඔයාගේ ලියුම් කොහොමත් බර නේ. වටිනා කියන මොකවත් නැති හින්දා අකුලකට විසි කරන්න ඇති.'
 ඇය නැවතත් සිනාසුනා. තරමක් ශෝකයෙන්. 

"ඇත්තම කියනවනම් මම ලියුමක් එව්වේ නෑ ."

 'එහෙනං '

 "මම පැනල ගියා."

 'පැනල ගියා? කොහෙටද?'

 "වෙන තැනකට ." 

'කවුද අර බොකුටු කොණ්ඩ හාදය ළඟටද ? මිනිහට හරි හමන් රස්සාවක් තිබුනෙත් නෑ නේද ඒ කාලේ?'

 "ඔව් වෙන්න ඇති. ඒ වුනාට මිනිහට ගිටාරයක් තිබුනා.මට හරියටම පිළිවෙල මතක නෑ .එතනින් වෙන තැනකට,ඉන් පස්සේ තව තැනකට." 

'ඔයා කිය කියානේ හිටියේ,ඔයාට ඔයාව හොයා ගන්න ඕනි කියලා, ඉතින් ඔයාව හම්බ වුනාද?'

 "නෑ .වෙලාවකට හම්බ වෙන්නම ඇවිත් මගෑරුනා .වෙලාවකට ඒ මමෙයි කියලා හම්බ වෙච්චි කෙනාට මං කැමති වුනේ නෑ .

" 'ඉතින් ඔයාට මුකුත්ම ලැබුන් නැද්ද?'

 "ලැබුනා.අන්තිමට. ට්‍රංක පෙට්ටියක්."

 'ට්‍රංක පෙට්ටියක්.???'

 "ඔව්.මම ඒක ගෙදර අරං ගිහිං ඇඳ යටට තල්ලු කළා."

 'ඇරලා බලන්නෙත් නැතුව?'

 "බැලුවා."

 'ඉතිං මොනවහරි තිබුනද?'

 "ඔව්.තිබුනා.දළඹු කෝෂ ෆොසිල හත අටක්"

 'දළඹු කෝෂ ෆොසිල ??

 ' "ඔව්.සමනළයින් වෙන්න කළින් නැවතුණු .එහෙමම ෆොසිල වුනු." 'සමනළයින් වෙන්න ඇරියනම් ඉවරනේ.'

 "සමනලයින්ට බඩගිණි වෙනවනේ."

 'ඉතිං ?' 

"ඉතිං එයාලා ඉගිලෙන්න පටන් ගන්නවා.එක මලක වුනත් ඒ හැටි පැණි නැහැ නේ.මලින් මලට යන්න පටන් ගත්තම මල් මතක වියැකිලා යනවා." 

'ඉතිං දළඹු කෝෂ වලට වුනත් ආහාර ඕනි නේ.' 

"ඔව්.නමුත් ඒවට හෙලවෙන්න බෑ නේ. ඒ නිසා ටික කාලයක් ගියාම ෆොසිල වෙනවා."

 'ඊට පස්සේ?' 

"ඊට පස්සේ බැලින්නං කාලය ගෙවිල ඉවරයි.මගේ ශරිරයෙත් හෝමෝන තිබුනනේ. අම්මල හොයල දුන්න. හා කිව්වා."

 'ඔයාට තිබුනා මට ලියුමක් එවන්න.නැත්නං ටෙලිග්‍රෑම් එකක්. මම එතකොටත් බලාගෙනයි හිටියේ..'

 "එතකොට එස්.එම් .එස් යුගය ඇවිත්."

 'ඔයා දන්නවද මම තාමත් බලාගෙන ඉන්න වග.මොන තරම් බැඳීම් තිබුනත් මම සම්පුර්ණයෙන්ම හිස්වුනු හර්ද වස්තුවක් තියෙන කෙනෙක්. ඔයාට මතකද මම ඒ දවස්වල බස් එකේ යනකොට නවකතා පොත් අරන් ගියා.ඔයා කොන්ඩේ පැත්තට පීරලා යුනිෆෝම් ඇඳලා ගිය කාලේ. මම කවදාවත් පොත් කියෝපු කෙනෙක් නෙමේ.ඔයා ඉල්ලයි කියලයි ඒ අරං ගියේ.'

 "මට මතකයි."

 'ඔයා ඒවා ඉල්ලුවා.කියවලා ආපහු දුන්නා,තියාගන්න කියලා කොච්චර කිව්වත් . මට තේරෙන්න තිබ්බා.ඔයා මාවත් ආපහු දෙයි කියලා.'

 "ඒ කියන්නේ ඔයා දැනගෙන හිටියා."

 'ඔව්.ඒත් මම මාව ආපහු බාර ගත්තේ නැහැ.ඒක නීති විරෝධියි. කුයින්තාන්සියක්වත් නැතුව ආපහු දෙන එක.'

 "ඉඳහිට වෙලාවක මම ට්‍රංක පෙට්ටිය ඇරලා බැලුවා. ඒක ඒකෙ තිබුනා.කුයින්තාන්සිය."

 'සැරෙන් සැරේ ඔයා ඒක දිහා බැලුවද? ඒ වෙලාවකට මටත් එන්න තිබුනා.'

 "ඔයාට එන්න වෙන එකක් නෑ .අපේ ගෙදර සැර බල්ලෙක් හිටියා. අවසරලත් අයට විතරයි එන්න පුළුවන් වුනේ.බල්ලා කුයින්තාන්සි ගැන දැනගෙන හිටියේ නෑ ."

 'ඔයා කවියක් ලියපු පුංචි කොළ කෑල්ලක් මගේ ළඟ තාම තියෙනවා.මට ඒක කට පාඩම්.දැන් කවි ලියන් නැද්ද ඔයා?'

 "කියවන්න කෙනෙක් නැතුව කවි ලියන එක මහා වෙහෙසකාරී වැඩක්. කවි වෙනුවට මම චෙක් ලියන්න පුරුදු වුනා. ඒක හරි විනෝදයි.ප්‍රතිපලත් ලැබුනා.ඉන් පස්සේ මට සතුටින් ඉන්න පුළුවන් වුනා.චෙක් හරි වටිනවා.පිටිපස්ස පැත්තේ කවියක් වුනත් ලියන්න පුළුවන්."

 'ඉතිං අර අම්මලා හොයාදුන්නු කෙනා? එයත් ෆොසිලයක් වුනාද?'

 "නෑ .එයා ඒකට කැමති වුනේ නෑ .එයා සමනළයෙක් වුනා."

 'ඒ කියන්නේ??' 

ඇය ඔරලෝසුව බැලුවා.සිනාසුනා.වෙලාව හරි.
 
'ඔයා මාස හයකින් ආපහු එනවද? අපිට දවසක හම්බ වෙන්න පුළුවන්ද? ඔයා ෆේස් බුක් ඉන්නවද? ස්කයිප්? වට්ස් ඇප් ? මට ටෙලිෆෝන් නොම්මරේ දෙනවද?' 

"මට දැන් පනස් හතක් .ඔයාට හැටක් ."

 'නිකං දුක සැප අහන්න විතරක්.ඔයා හොඳින් ඉන්නවද දැන ගන්න විතරක්.'

 ඈ නැගිට්ටා. ඔහුගේ හිස පහලට ඇද නළල මත දිගු හාදුවක් තැබුවා.උණුසුම්.තෙත.තොල් සායම් පැහැය මඳක් තැවරුණු . 
පසු නොබලා ඉදිරියට ගියා.

සමනළියක් විලසින්. 

ඔහු තව බොහෝ වෙලාවක් එක තැන නතරව බලා සිටියා. 

දළඹු කෝෂ ෆොසිලයක් විලසින්.

Monday, August 31, 2015

අනුන්ගේ ඇඳුමක්!!!













.
බොහෝ දිනවල 
මහත් අපහසුවක් දැනේ. 
අනුන්ගේ ඇඳුමක් ඇඳ ඉන්නවා මෙන්
හිර ගතියක් දැනේ.

සමහර වෙලාවට
කකුල් හිරවෙනු දැනේ 
නොගැළපෙන පාවහන් පැළඳ ඉන්නවා මෙන් 
අපහසුවක් දැනේ.

නොහිතන වෙලාවක 
මහ අමුත්තක් දැනේ 
අනුන්ගේ වචන දොඩනවා මෙන් 
නුහුරු ගතියක් දැනේ.

නිතරම සිත යට 
ප්‍රශ්න මාලාවක් නැගේ 
මේ මාද අනුන්දැයි 
කොනහා බලන්නට සිතේ.

Thursday, August 27, 2015

අගෝස්තුව මත අගෝස්තුව !!!






හැම අගෝස්තුවකම 
ග්‍රීෂ්ම ඉර අව්ව මැදින් විත් 
කවුළුව යටින් තබා යයි 
සුබ පැතුම් ලිපියක් ඔබ.

එවූ ලිපිනයක් නොමැතිව 
ලබන ලිපිනය සඳහන්ව 
දකුණට ඇලවූ අත් අකුරු 
දැන් මඳක් විරූපිය වියපත්ය.

කියන්නට කොතෙක් දේ වේද 
නොකියාම නිහඬ වෙමි. 
පෙර අගෝස්තුව ලිපිය මත 
මේ අගෝස්තුව අතුරමි.

ග්‍රීෂ්මය,වසන්තය,සිසිරය 
තව වරක් පසු කරමි 
ඊළඟ අගෝස්තුව තෙක් 
ළය හැඬුම් වළකමි.

පියවර හඬක් ඇසුනත් 
කවුළු දොර නොඅරිමි 
ඔබට රිසි අයුරින් 
ප්‍රේමයට ඉඩ දෙමි.

ආදරෙයි,ආදරෙනි 
බොඳවූ වදන් කියවමි. 
ආදරෙයි,ආදරෙනි 
සිහින් ස්වරයෙන් මුමුනමි .

Sunday, July 19, 2015

කෝපි මංඩි!!!





වැහිදාක හවසට 
බැරිස්ටාවේ මුල්ලක 
ඔබ ඉතිරි කල කෝපි මංඩි බොන 
මගේ සිත.

Tuesday, July 14, 2015

කේ -ඕ හැටයි විසිපහ!!!





ඉඳහිට මග බලමි 
තට්ටු කර නිදිමත කවුළුවට 
ඔබ පැමිණ සොරෙකු සේ 
රැඳී ඇත්දැයි ඉදිරි දොර ළඟ.

හැපි කව් චීස් ගෙන පුතුට 
චොක්ලට් මෆින් මගේ ප්‍රියතම 
කටගැස්මක් සමග බීර ඔබට 
සොඳුරුවේ සන්ධ්‍යාව අපමණ .

වළාකුල් කැටියකින් 
සරා සඳ වත වැසෙයි 
හදිසි සුළඟක් ඇවිත් 
මතක කවුළුව වැසෙයි .

නුවරවල් ගානකට එහා 
ක්රීස් ගා දොරක් ඇරෙයි 
කේ -ඕ හැටයි විසිපහ 
මිදුල මැද නතරවෙයි.

Monday, July 13, 2015

පශ්චත්තාපයේ සෙවණැල්ල!!!





පව්කාරයෙකැයි පිටුවහල් කල විට පවා 
ඔබට රැඳී සිටිය හැකියි 
සොල්දරයට නගින පඩි පෙළ යට 
ත්‍රිකෝණාකාර ඉඩ තුළ .

දූශිතයෙකැයි පහර දෙන දිනකද 
ඔබ සඟවා තැබිය හැකියි 
පොත් අල්මාරියත් බිත්තියත් අතර 
මකුළු දැල් වැවුන අවකාශය තුළ .

සොරෙක්ය,මං පහරන්නෙක්ය වුව 
උයනේ මල් ආරුක්කුව යට 
ඔබට වෙන්කළ ඉඩක් ඇත 
සීරුවෙන් සැඟවෙනු පිණිස .

දඬුවම් නියම නොකරමි 
හොඳින් දැකිය හැකි බැවින් 
ඔබේ ඇස් තුළ පැතිර පවතින 
පශ්චත්තාපයේ සෙවණැල්ල .

Sunday, July 12, 2015

ශෝක ගත යුතු නැත.!!!




ප්‍රියාවිය,
නම කියා අමතනු නැතැයි 
ශෝක ගත යුතු නැත.

දිනකට එක බැගින් 
නම් තියේ නම් රාත්‍රියට 
සිහි තබා ගනු නොහැකිය.
සුළඟ සුළඟම මිස 
විශේෂණ පද නුසුදුසුය.
අහසට වෙන නමක් කිව්වොත් 
සිනා යන සුළු නොවේද?

ප්‍රියාවිය,
බොහෝ නම් ඇති ගැහැණුන් 
පෙමින් බැඳුනෝය පෙර කල.
අත්හැර දමා ගියවිට 
ශෝකවූයෙමි බොහෝ කල් 
නම් තිබූ හෙයින් ඔවුනට.
නමක් නැති කිසිවෙකුත් 
මතකයේ රැඳෙනු උගහටය.

එහෙයින් ප්‍රියාවිය,
නම කියා අමතනු නැතැයි 
ශෝක ගත යුතු නැත.

සඳ රැසක් මෙන් වැතිර හිඳ 
නිසසලව නික්මෙනු මැනවි .
මඳනලක්‌ සේ හමාවිත් 
රහසේම පිටවෙනු මැනවි .
වෙණ නදක් සේ ගලාවිත් 
හිතුමතේ නවතිනු මැනවි .
සිහිනයක් සේ රෑ පුරා 
පැමිණ ආපසු යනු මැනවි .

දැල්විය යුතුමද ප්‍රේමය ???






නිලා කූරක් මෙන් 
දැල්විය යුතුමද ප්‍රේමය 
කළුවර එතැයි දැන දැනම .

ගංගාවක් වගේ 
ගලා යා යුතුද දිගටම 
නියඟයක් පැමිණෙන තුරුම .

දේදුන්නක් ලෙසට 
පහළවිය යුතුමද අහසක 
මඳින් මඳ ක්ෂයවෙන තුරුම.

කළු කුහරයක් මෙන් 
වහන්වී හිඳිනු නොහැකිද
පැවතෙමින් හා නැතිව.

ඇතුගලත් වැළපෙනවා!!!


.
""ඔයා දන්නවද 
මං ඉන්නේ ඇතුගල්පුරේ යන මග.""

'සිළි සිළි ගගා 
මල් මුතුළැල් වහින්නෑ නේද අද?'

""කලුපාට වලාකුල් මෝදුවෙනවා 
ඇතාගල උඩ .""

'නම නොදන්නා ගස්වල 
මල් පිපෙන් නෑ නේද තව?'

""කඳුළු ඇස් බිම නමාගෙන 
ගස් ඉන්නකොට දුක හිතෙනවා මට.""

'අපේ ඉස්කෝලේ ළඟ 
නෑ නේද අඹ අච්චාරුකාරයෝ හෙම?'

""බොකුටු කොණ්ඩයක් තියෙන කොල්ලෙක් 
බලා ඉන්නවා ගේට්ටුව ළඟ.""

'වැව රවුමෙ අතින් අත ගෙන
පෙම්වතුන් ඇවිදිනවද?'

""අඳුනන්නත් බෑ නුග ගහ යට 
අපි සිප ගත්තු තැන .""

'දුක් ගන්න නරකයි 
ඇතුගල වගේ ඉන්නව මිස '.

""වැළපෙනවා ඇතුගලත් 
හැම වැස්සකට පස්සෙම .""

Saturday, July 11, 2015

රූටා වැටෙමු !!!






.
කඳු මුදුණින් රූටා වැටෙමු 
මීදුමට
පිණි කලම්ඹා 
ලිලී මල් යාය මත.
ඔබ හිඳී නම් මා සමග 
අතින් අත බැඳ 
ආදරේ යැයි මුමුණමි 
සිහිසුන් වෙන්න පෙර!

Thursday, July 09, 2015

හුඟක් බොන් නෑ නේද?




"ඔබ මා දමා ගිය තැන 
රැඳී ඉමි තවම 
වැඩිවිය පවා නොපැමිණ.

ගිණි ගොඩකි ජීවිතය 
සඳුන් දර වුව 
දැවෙන විට දැවෙයි හද."

'දැන් හුඟක් රෑ වෙලා 
ඔයා ගිහිං නිදියන්න
ඉක්මනට ලොකු වෙලා 
ආයෙ දවසක එන්න.

මේව දැන ගත්තොතින් 
ගෙදර අය පව් නේද?
ඉඳහිටක මිසක ඔබ 
හුඟක් බොන් නෑ නේද?'

Sunday, July 05, 2015

ඉතින් ඔබ !!!!





ඔබ ළඟ ඇතැයි 
ඔබ සිතා සිටියාට 
කොහේනම් වේද මගේ හදවත?

අයාලේ යන වළාකුලක ද 
යාත්‍රා කරන මුහුදු රළක ද 
පියාසර කරන වැසි බිඳුවකද 
නතර වූයේ යළි නොඑන ලෙස ?

අරුණෝදයේ තුසර බිඳු මෙන් මල් මත 
සන්ධ්‍යාවෙදී මිහිදුමක් මෙන් ගිරි හිස 
රෑ මැදියමේ අන්ධකාරයව මිහි මත 
පහළ වූයේ මගේ හදවත විය හැක.

මා ළඟ ඇතැයි 
ඔබ සිතා සිටියාට 
මා ලඟද නැත මගේ හදවත.

නොඉල්ලනු මැනැවි 
නොසොයානු මැනැවි 
නොවැළපෙණු මැනැවි
ඉතින් ඔබ .

මුද්‍රා තබමි!!!




රාත්‍රිය 
නතර වී ඇත 
ගිලන්ව .

ලුහු බඳින අත්හරින 
බැඳීමකි 
විටින් විට මතුවන.

සිහින් චලනයකි 
නිද්‍රාව අතරතුර 
වළා පෙළ .

ඉකියකින් 
මුද්‍රා තබමි 
මතකයට.

Thursday, July 02, 2015

ලා රෝස නිය වර්ණ !!

.


ලා රෝස පැහැයෙන් 
නිය වර්ණ ආලේප කළ 
සිහින් දිගු අතැඟිල්ලෙන් 
ඇය ලියා තිබුණා කවියක්.

"මේ මෙතැන කවුළුව අස 
ඔබ ප්‍රියකරන ඇසළ සඳ. 
මදි පාඩුවක් වුණහොත්
අනන්ත තාරුකා අතරින් 
කිහිපයක් ඇහැරවා ගනු මැන."

ඇය ලියා තිබුනා කවියක් 
මා වෙතින් නික්මෙන්න පෙර!

සුලැඟිල්ල !!!

.

.
අත හැරියාද 
අත හැරුනාද 
නොදැන 
උණුසුම පමණක් සිහිකරයි 
සුලැඟිල්ල .

Saturday, April 11, 2015

කිරි තේද ?නිකම් තේද?



"අද රෑට කන්නෙ මොනවද?
මාළු හොදි ඇති 
ගමුද පරාට?
කිරි තේද ?නිකම් තේද?
සීනි අඩුවෙනුයි දැම්මෙ ඔන්න.
ඔයා රෙදි මදිනකොට 
මගේ හැට්ටෙත් මදිනවද?

මට නිදිමත නෑ 
තව ටිකක් ඉඳල එන්නං 
ඔයා නිදාගන්න.
කොට්ටෙ පැත්තකින් තියන්න 
බෙල්ලට හොඳ නෑ දන්නවනෙ .
ඇස් වලට බේත් දාගන්න.
කොලේස්ට්‍රෝල් පෙත්ත අමතකවෙයි."

ඉනික්බිති දෙබස් අවසන් වෙයි.
පලක් නැති පද පෙළක් ලියවෙයි.
කවුළුවෙන් එපිට සඳරැස් වැටෙයි 
කවුළුවෙන් මෙපිට ඝන කළුවරයි.

හිස පීරන කෙල්ල!!!


.
සරතයේ 
අවසාන රාත්‍රිය.

මහත් වෙහෙසැති 
සර සර ගාන තුරු අග 
පාණ්ඩු පාටින් සඳ .

වහල උඩ උයනක 
සිහින් උස බඳුනක
බිඳෙන ඉපදෙන පෙණ .

කවුළුවක් අද්දර 
සේද රෑ ගවුමක් ඇඳ 
හිස පීරන කෙල්ලක.

සිසිරය එතැයි 
මෙලෝ ගානක් නැති 
තාරුකාවක දිස්නය.

බටනලා කවිය!!

.
බටනලා හඬ ඇහෙනකොට 
අදත් එනවා වෙරළට 
සෝ ගී අසනු පිණිස 
රළ නග නගා මුහුද.

"මාත් රැල්ලක් විතරයි 
ජිවිතේ ලුණු රහයි කටුකයි 
ආපහු යන්න ආසයි 
පාර තාමත් මතකයි "

බට පඳුරක් වී සිටි 
සොඳුරුතම මතකය ඇති 
ගංගාවකට පෙම්බැඳි 
බටනලාවට දුක ඇති.

'හැමදාම හවසට 
ගීයක් ගයනවා මිස 
නුඹේ ළඟ දැවටෙන්නට 
නොමැත දැන් මට අවසර.
උඩු ගං බලා යන්නට
වාරුවක් නැති හින්දම 
උදම් රළ සේ සපැමිණ 
මා වසා පැතිරෙනු මැන'.



කෙහෙල් කොළ!!!

.


ඉස්සරම දවසක 
තුරුළුව වෑ බැම්ම මත 
ස්නේහයෙන් බැඳුනු මොහොතක 
මගේ දිගු කෙහෙ රොදක් ගෙන 
ඔබේ කම්මුල පුරා තැවරුව 
නොහික්මුණ හුළඟ .

නාඳුනන කෙනෙක් වගෙයි අද 
ඉන්න හැටි 
කෙහෙල් කොළ ඉර ඉර.