Sunday, November 23, 2014

උස් !!


කන්ද,
ගස් වලට වඩා
 උ
ස්.
කන්ද මුදුනෙ ගස්

න්
 ව
ඩා
 උ
ස්!

රිදී දැල්ලක්!!!



බොඳව ගිය තිතක්ව 
මහත් මීදුම තුළද 
සිරීපාදේ පහන් දැල්වෙනු පෙනෙයි.
ලං වෙන්න බැරි වුනත් 
සිත නිමෙයි..

කුටිය තුළ නිහඬවම 
ඔබ හිඳිනවිට පවා 
සියුම් සැනසීමකින් සිත පිරෙයි.
රිදී දැල්ලක් වගේ 
කවි මැවෙයි.

අදවත්!




...පුතා බලන්න අවසර දවස....

අදත් පුතා 
ආච්චිත් එක්ක එවාවිද 
නැත්නං 
එයාම ඒවිද??

හඳුනා ගත නොහැක!



.
කොළ අතු එල්ලා තිබූ 
කැළෑවක 
තරු කිණිති අතුරා තිබූ 
අහසක
ප්‍රදීපාගාරයක් හිමි 
මුහුදක 
අතිනත් ගෙන සිටියදීම 
මග හැරිය හැකිය අප.

අත්සන් කල කඩදහිද 
මනා ලෙස මුදු කල මුදු ද
කවිපොත් මත ලියූ පොරොන්දු ද 
නොවටනා වෙයි එවිට.

අහම්බෙන් මුණ ගැසුන විට 
හඳුනා ගත හැකි එකදු සලකුණක්වත් 
අපතර ඉතිරි වී නැති එක 
කොතරම් දුක් වඩන්නේද පෙම්වත .

සොඳුර මේ සිසිරයය .!!



.
සොඳුර මේ සිසිරයය .
තෙතබරිත රහස් ඇති තුරුලතා 
සෙමෙන් නිරුවත්වෙන. 
ගිණි උදුන් තුල පවා 
ගිණිදැල් තරමක් මෘදු වන.
තෙත දර ඉපල් වලින් 
දුමක් මිස ගිනිදැල් නොනගින.


සොඳුර,
ඉතින් ඉඩ ඇත 
තවත් එක සෘතුවක් 
දිය කෙළින්නට සැළිය තුළ
කටුක ගිම්හානය ඇවිත් 
ඉබේ ගිනි දල්වන්න පෙර.

ඉස්සී බලමි එක් වරක් !!


.
සියතින් ගෙල සිඳ ගන්න පෙර 
ඉස්සී බලමි එක් වරක් 
තවමත් හිඳීදැයි නුඹ 
කවි ලියන කුටිය තුළ.

සෙළවෙන පහනක එළියෙන් 
වඩා විශාලව පෙනේ ඔබ
හිස නමාගෙන සිටින අයුරින් 
සෙවනැල්ලක්ව බිතු මත .

ශේෂ වී ඇත තවමත් 
රහස් මතකයක උණුහුම 
ගිනි දැල් නිවී ගොස් 
කල්ප ගණනකට පසු වුව.

ඉස්සී බලමි එක් වරක් 
තවමත් හිඳීදැයි නුඹ
මා ලියූ කවි කියවමින් 
කවි ලියන කුටිය තුළ .

Thursday, November 06, 2014

එක් රැයක් තිබියදී !!




එක් දහස් රැයක් 
නෙක කවි අසා 
එක් රැයක් තිබියදී 
පිටව යමි.

වට තිර මසා 
බර අගුළු යොදා 
නාඳුණන කුටියක 
වහන් වෙමි.

දොරගුළු කඩා 
හමුවෙනු පතා 
ඔබ එනු ඇතැයි 
නොසිතමි.

නොලියූ කතා 
එකිනෙක ගොතා 
පොසිලයක් වෙනු පිණිස 
වළලමි .




Saturday, October 11, 2014

ස්තූතියි මයිකල්!!



.

ස්තූතියි මයිකල් 
එදා ඉඳන් අද වෙනකං 
ඉවසා සිටියාට මං .

රෙදි වැලට රෙදි දැම්මාට 
ගේ අතුගාන කොට 
බර පුටු උස්සා අයින් කලාට 
ඉඳහිට බුම්මන් හිටියාට 
ස්තුතියි මයිකල් 
මා දරා හිටියාට.

අහු නොවෙන බොරු කිව්වාට 
යාළුවන් සමග සාද දැම්මාට
රෑ වෙලා ගෙදර ඇවිදින් 
නොබීපු මිනිහ වගේ උන්නාට 
ස්තුතියි මයිකල් 
මෙතෙක් මා සමග රැඳුනාට.

හිතින් තැන තැන සැරුවාට 
කැමති තැන්වල රැඳුනාට 
කිසිදාක ඒ හෙළි නොකලාට 
මං දන්නවා මයිකල් 
හුඟක් පිරිමින්ට වැඩියෙන් 
ඔයා හොඳ බව හැමදාම.

"ඔන්නොහෙ යන්න අරින්න."




"ඔන්නොහෙ යන්න අරින්න."


තරහ නෑ 
ආයෙ එන වග නොකීවට.
යාළුත් නෑ 
ආයෙ නොඑන වග නොකීවට.


නොලිව් ලියමනක් ඇත 
කොතරම් තනිදැයි පවසන.
නොලද ලියමනක් ඇත 
බොහෝ සතුටින්ය අඟවන.

අත් අත් පටලා නොසිටිය 
ඇස් ඇස් රහසින් නොදෙඩුව 
හිස් බස් තව තව කුමටද 
හුස්මක් සේ නික්මෙනු මැන.


"ඔන්නොහෙ යන්න අරින්න."

Monday, September 29, 2014

ඩයනා වගේ!!!





.
මං ගඟක් වෙන්නම් 
ඔබ සඳක් වෙන්න.
එතකොට මට පුළුවන් 
මගේ තුළ ඔබ රුවාගෙන 
මිටියාවත් දිග ගලන්න
ඔබට තියෙන්නේ බලාන ඉන්න 
ඩයනා වගේ හිනාවෙන්න
අත උස්සල කොන්ඩෙ හදන්න 
අලුත් පැටන් එකේ ගවුම් අඳින්න 
ඇත්ත මුතු නැතිවුනාට 
බොරු මුතු හරි මාල දාන්න 
දියමන්ති වගේ දිළිසෙන 
සෙල්ලම් ගල් කරාඹු දාන්න 
අස්වයෙක් වගේ පිම්මේ යන්න පුළුවන් 
මට 
ඔබ මා තුළ හැංගී ඉන්න විට .

හාදු ගස!!!




ගිනිගත් දවසක හවසක 
සීතල හාදු දෙන හින්දද 
ඉරක් මේ තරම් 
ආදරේ සයුරට.

කාලයට අසුවී 
වියැකිලා ගිහින් ඇති
කවුළුව අසළ මල් දැරූ 
හාදු ගස මේ වනවිට .

ඔයා ගෝරිල්ලෙක්ලු .!!!





ඔයා කිව්වා 
මං විදුරු බඳුනක්ලු .
ඔයා ගෝරිල්ලෙක්ලු .
ඇයි ළමයෝ 
මං විදුරු බඳුනක්නම් 
ඔයා පොළොවට අත අරින අරින පාරට 
මෙලහටත් මං බිඳෙන්න එපැයි .

අනිත් එක 
ඔයා ගෝරිල්ලෙකුත් නෙමෙයි 
ඔය ඝනකම් සූට් එක ගැලෙව්වම 
ඔයත් හැඩයි .

Thursday, September 25, 2014

..මෙරුවෙකුට...!!






..මෙරුවෙකුට...

කවුළුව වැහුවෙ 
ආදරේට!

ඇඟිළි තුඩුවලින් ඇවිද එමි !!







පිළිවෙලට අමුණා 
තරු පහන් 
කළුවර පඳුරු මත 
මග පෙන්වා ඇත 
ඔබ සිටින කුටියට
වන මැද .

හඬ නොනැඟෙන්න
ඇඟිළි තුඩුවලින් ඇවිද එමි 
නිවා එකිනෙක 
තරු කැට .

Friday, September 19, 2014

නැවත නැවතත් මග හැරෙන්න!!!




.
ඔබ 
නැවතත් මග හැරෙන්න.
සිසිරයෙහි 
හිම යට කුඩා දිය බිඳක් ව
මග හැරෙන්න.
ශරතයෙහි 
ගසාගෙන යන වරා මලක්ව 
මග හැරෙන්න.
අළුයමෙහි 
මඳක් තෙත් පිණි අතර 
ගොම්මනෙහි 
සියුම් සෙවනැළි අතර 
නැවත නැවතත් මග හැරෙන්න.

ඉතින් මට හැකිය 
සෘතුවෙන් සෘතුවට
දින ගනින්න.
රැයත් දවාලත් අතර 
මග බලන්න


Wednesday, September 17, 2014

අඬන හිනා!!




.

ඇතුගලේ ගෑවි ගෑවී 
වලාකුළු ඉගිළ යනවා.
බස් නැවතුමට තාමත් 
ඔරලෝසු කණුව පේනවා.
වෙලාව නැවතිලා ඇද්දැයි 
සෙල්ලමට වගේ හිතෙනවා.
කට කොනින් හිනාවෙන ගමන් මං 
හදවතින් හෝ ගාලා අඬනවා

Saturday, September 13, 2014

දෙසැම්බර් නැතුව!!!


.
සමහර අවුරුදුවල 
දෙසැම්බර් මාසයක් නැතුව ඇති.
ඒ නිසා ඔබ 
සතුටින් ඇති.

Thursday, September 11, 2014

අන්තිම වරට හුස්ම ගත් දවස !!



මා දැනට මියගොසින් නම් 
ජීවත්ව සිටියා වෙන්න ඇති.
අන්තිම වරට හුස්ම ගත් දවස 
මට පවා අමතකව ඇති.

පෝර වතුර ලද සරු ගසක් වුව 
හිටිගමන් මිය යන්න හැකි. 
ඇඟිල්ලෙන් ඇන ඇහැරවන්නට 
ඔබ නැති නිසා වෙන්න ඇති.

Wednesday, September 10, 2014

වංගු!!!




හැරෙන්නට හැදු
හැම වංගුවෙම
ඔබේ ඇස්දෙක තබා තිබුණා .
ඊට පහළින් 
ළපටි අතකින්
"ගෙදර" යනුවෙන් ලියා තිබුනා.

කිතිකැවූ මුතු!!


.
අද වුවද 
ගෙළ අතගෑවෙන හැමවිට 
දැනෙයි 
මුතුහරක් පළඳවන්නට ගොසින් 
කිතිකැවූ ඇඟිලි තුඩක පහස!

ඉන්පසු මුතු බිඳී විසිරින .