Tuesday, February 04, 2014


.

ඇස් හීනි යුවතිය 

බලාගෙන
වැස්සට සේදෙයි

ඇස් වටා ඇඳි අංජන!

.

ගිමන් නිමනා
රෑ අහස යට

අතරමංවූ

කදෝපැණි මම.

නොනැවතී

විහිදුවත් එළිවැට

වගක්වත් නැත

තාරුකාහට.

.

සඳලුතලයක 

සුළං සීණුව ගී ගයයි.

සුළං රැල්ලක් 

කටින් පිඹ සඳරැස් නිමයි.

ගෙඹි කැලක් 

අනුරාගයේ ගීතය ගයයි 

ලොවම නිදියයි 

ඔබත් නිදි වරතැයි සිතෙයි.

.

නාඬන් කියා කිව්වත් 

උළලේනි අඬනවා තවම

සිහිවෙලා කපු ව.

රන්බන්ඩේ කිව්ව ලෙස

මදටිය ඇට වැටෙනවා ඇළට

කළතමින් පපුව.

ගානක් නෑ වගේ

හිනාවීගෙන හිටියත්

හඳටත් ඇඬෙනවා එවිට.

.
හුඟක් මල් 
බිම වැටී 
පෑගෙනායුරු දැකත් 
තවත් මල් 
බොහෝ වෙති 
හිත හදාගනු සමත්.

.
හරියටම හත්දොහේ දානෙට 
එක දවසකට කලියෙන් 
කවුරුත් නැති වෙලාවක 
ඔබ ඇවිත් හිටියා තනියෙන්.

සුදු කමිසයට කළු කලිසමක් 
මගුල් ගේක යන විදියට 
කෝට් එකක්,ටයි පටියක්.
හිනා යන තරමට පවුඩර් වැඩිව.

"ඔයාට හුඟක් පාළුද?
පුතත් ඉතිං යාවි නේද?
නිවාඩු නැතුවැති 
අපේ රටේ වගේ නෙමේනේ.

මාත් ඉතින් යන්න කියලා 
හෙට හවසට බණෙන් පසුව.
ඇවිද ඇවිද ඉඳලා ඇතිවෙලා 
කවද උන්නත් යන්න එපැයි .

මං කිව්වනේ ඔයාට 
ඩ්‍රයිවින් ඉගෙන ගන්න කියලා 
කෝ ඇහුවයැ,හිනාවුණා මිස 
හැමදාම ඉඳියි කියලා හිතුවද මම.

තාමත් මං ආසයි 
ඔයාගේ නිල් පාට ගවුමට
රැළි රැළි අත් දාපු 
දණට අඟලක් ඉහළින් නැවතුනු.

බැල්කනියට ඉහළින් 
හැමදාමත් හඳ පායයි 
එක හාන්සි පුටුවක් 
දැන් ඕනි නැති ගානයි.

අපි ආයේ දවසක හමුවෙයිද 
කහ ඉර පනිනකොට පාරෙදි 
පොළේදි ,පන්සලේදි,උයනෙදි 
කවදාවත් හමුවෙන්නෙ නැතිවෙයිද?

හමුවුනත් අඳුනාගනීද 
අඳුනාගත්තත් පෙම්කරයිද 
පෙම්කරත් විවාහවෙයිද 
මේ වගෙම ආයේ වෙන්වෙයිද?"

.
පියානෝ ගහන මානවක 
අතැඟිලි රතුවීදැයි 
බලන්නට 
කෙනෙක්වෙද 
හවසට?

Thursday, May 23, 2013

..
පෙම්වත
ළඟදීම අපි
අපිටම කියා කන්දක් ගමු.
ඉකිගසන සුළං හා වැළපෙන්න
විලෝ ගස් පේලියක් හිටවමු.
හැකිනම් කන්ද මුදුනේ
සෙල්ලම් පොකුණකුත් මවමු.
තාරවුන් කීප දෙනෙකුට
සතුටින් පිහිනන ලෙස අණ දෙමු.
කන්‍යා දිය ඇලිද , අකම්පිත ගල් කුළුද
ගැළපෙන ලෙසට සකස්කරමු.
කියඹු වැල් කිතිකවන
මඳනල පවා නොදැනෙන
ගල් පිළිම දෙකක් වී
එකිනෙකා දෙස බලාගෙනම
අපි සදාකල් පසුවෙමු.
පෙම්වත ,
අපි අපිටම කියා කන්දක් ගමු.
.
මෙන්න මේ වැනිම
තෙතබරිත හැන්දෑවක
පාෂාණිභූත වෙන්න පෙර
අප දෙදෙන
ඉඳහිට සිතෙයි
තවමත් උණුසුම්දැයි
ඔබේ දෙකොපුළ
පෙර මෙන්ම .

.
උස් තුරක්
ලොම් ගස්සා
අතහරී
හිම මල්
මීදුමට.
.
තවමත්
සම සුදුමැලිව ඇත
වෙදැඟිල්ලෙහි
මුදුවක ලකුණට.
.
සින්ඩරෙල්ලා ,
නොදන්නවා වගේ උන්නට
අප තවම
අළු දැරියන්ය
පාන්දර හතරේ  කණිසම
වැදෙන විට.
.
හයයි විස්සේ
රේල්ලුව ගිය පසුව
යළිත් මල් නොපිපුණි
සිල්පර කොටන් උඩ .
.
ඉර බැස යයි .
කවුළුවට පිටුපා
දෙවන මහලේ කෙල්ල
හිසකේ තඹපාට ගැන්වුන .
.
ඇඟිලි
වැඩෙයි
මුදු
එහෙමමයි.
.
කොතරම් සන්තෝෂද
මට
මගේමයි කියා
දුකක් ඇති එක.

Tuesday, March 26, 2013

.
තනිවුනු හිම මිනිසෙකුගේ
මෆ්ලරය වැනෙයි සුළඟට
සිහින් වැස්සක් මෙන්
හිම පියළි විසිරෙයි අවට.
.
කියන් ...!
ඔබේ දෙතොලට
හිරිහැරද
මගේ ගෙල බැඳි
රන්දම.
.
උස ගිහින් ඉවරවුන
නිහඬ කඳු පවා සුසුම්ලයි
හුදකලා වලාකුළක්
ගෑවී නොගෑවී යන විට.
.
නොබලාම යා යුතුය
වෙරළෙහි අඩි ළකුණු දෙස
සද්දන්ත රළක් විත්
මතක සෝදාලන තුරුම.