Thursday, February 21, 2013

.
අඩි පාර නැවතින
මඳක් ඈතින්
රෝස යායට!
.
අඩ කවයක් අඳී
වවුලෙක්
රෑ බෝ වූ අහසක.
.
ගෙඹි අඳෝනාවක
ගිළෙයි
විල් දිය ගයන ගීතය.
.
නග්න පියොයුරු
ගිරි හිස
නික්ම යයි
මිහිදුම..
.
......බත ඉදෙන තුරු.....
එකම එක මොහොතක්
සියලු බර පොදි දමා ඉවතට
පෙම්වතුන් සේ තුරුළුව
මෘදු නැටුමකට අවසරද මට.

මඳක් හිස ඔසවා
දෙනෙත් දෙස බලා රහසෙම
මියගිය පෙම්වතා හා
සිනාසෙන්නට අවසරද මට.

හිමියනි කියන් මට
සුසානෙක වැළලුව වුව
ප්‍රේමයේ සොහොනක
මලක් පීදෙන්න ඉඩ නැතිද වග.
.
අද නොඑන හැඩ
කුඩා සුරඟන
පාට ගිය අත්තටු සමග .
සිත්තරා මා
පින්සලය අතින් ගත්
බිඳුණු හර්දය සහිත.
.
....වැස්ස පායලා....
ඉතිරිවුණ
මුතු ඇත
වත මත
තවම..
.
තදින් බිම හෙලුවත්
ආයෙ අහසට යන්න
කැමතියි
වැහි බිඳු වුනත් !
.
විළ කැළැඹින.
මිණි ඇතැයි සිතූ පත්ලෙහි
මඩ පෙනින.
.
කන්ද බැස යන'තුර
නතර වූ සියුමැළිය
කුමට වැළපෙනවාද
පහුරු ගෑ තැන් සිහිකර
අත්හැරුණු තැන් ඇත
වැටුණු බොරු වලවල් අස
ඉතිරි ටික දුර යෑමට
යලිත් අල්ලා ගනිමු අතිනත.

Sunday, September 23, 2012

.
ඉගිළ යන්නට
මොහොතකට පෙර
ලිහා යන්නෙමි
ඔබේ පා බැඳි
රැහැන් පට.
.
චිමිනිය මත
වැහි බිඳුව.
විඳීම සහ විඳවීම
එකවර.
...
එකල එතරම් වැසි තිබුනෙ නැත.
මල් කුඩයක් යට තුරුළුව
ඉඟවටා අත යවා ඇවිදින්න
මඟ බලා සිටිමුත්
එකල එතරම් වැසි තිබුනෙ නැත.

Saturday, September 15, 2012

.
මලුත් පිපී තියෙන්නැති
ගිනිගන්න පෙර
කඳුවල!
.
කුමටද තවත්
ලන්තෑරුම්
හිරු එතැයි
දැනුම් දුන් පසුව.
.
ඒත් අනේ
අදනම් උයන්න කම්මැලියි
අපි බැල්කනියට වෙලා
වැස්ස අහගෙන ඉමු
මියුරු රිද්මය විඳිමු.
උණු තේකක් හදාගෙන
මාරු කර කර බොමු.

වැස්ස නවතිනකොට

පින්සලක් අරගෙන
ආකහේ හැමතැනම
  සුදු පුළුන් ගුලි අඳිමු.
කෑම මේසේ උඩ
එක එක හැඩේට
රස රස කෑම අඳිමු.
අපි තවත් චුට්ටක්
වැස්ස අහගෙන ඉමු.

.
දූලි වැකි සොහොනක
උවමනාවෙන් බැලූ විට
යන්තමින් දිස්වෙයි
ස්පර්ශ කල අයෙකුගේ සටහන.
.
පෙම්වත,
ඔබ නික්මගිය
මුල් අවුරුද්ද
අවුරුදු ගානක් දිගයි
ඉන්පසු පැමිණි
සියලුම අවුරුදු
එන්න එන්නම කොටයි.
......රිදී ජුබිලිය.....
මේ කුඩා පාෂාණය
සියයක් ගඟුල් පසුකර
හැපී වැළපී රිදී තැන තැන
ඔපව මට්ටම්ව සිනිඳුව
සන්සුන්ව. 

හිමියනි අපේ සෙනෙහසද
නොරිදා , නොදුවා , සමබරව .
රළු නැතුව
සිනිඳුව  මටසිළිටිව .
නොසන්සුන්ව.
.
පෙම්වත..,
ප්‍රවේසම් කර තියාගමු
ලියන්නට බැරිවුන
සියලු පෙම් ලිපි
අපට.

අප නැවත හමුවෙනු ඇත
ඉස්පිරිතාල පෝලිම්වල
සුදු කෙස් කළු කරන සැලුන්වල
මොන්ටිසෝරි ඇරෙන වෙලාවල්වල
නිතර .

කාලය තිබෙනු නිසැකය
රහස් අකුරින් ලියූ
ඒ සියලු පෙම් ලිපි
දෙතුන් වර කියවන්න
එවිට.