සින්ඩරෙල්ලාගේ සපත්තුව....!
එක සපත්තුවයි !!!
Saturday, June 16, 2012
.
දුර ඈත කන්දක
තිත් පෙළක් ඇවිදින
දර මිටි හිසින් ගෙන.
.
"නිල්පාට ඔසරියට
මහන්සිද?"
'සුදු කමිසයට මොටද
ඒ වග?'
Wednesday, February 15, 2012
...?.....
නූපන් කැකුලකි
මලක් වී පරවෙන්න බැරිවුණ.
වියලුන තණ ගසකි
මහ ගසක් වෙන්න ඉඩ තිබුණ.
වීසිකළ ගඩොලකි
දාගැබක් වෙන්න ඉපදුන!
දුර්වර්ණ බිත්තියකි
කැටපත් පවුරක් වෙන්න සිතුව !
උසම උස
කහ මල් ගස
හරියකට නමවත් නොදන්න
කුමට මල් අතුරනවාද අලුයම
තැලී පොඩිවෙනු පිණිස පා යට
මං වැඩට යන්නෙ
හත හමාරට බව දැන දැන!
.....යළිත් මල් සිටවන්න නොහැකිය.....
සිහින් දුමක් ඇත
තවම ඉඳහිට
ඉහළ යන.
රස්නෙ ඇති
නොකිව්වට.
හිනාවීගෙන හිටියට.
ඈ
ඇවිත් ගියාය.
හිසකෙස් අවුල් කර
මල් සුවඳ තබා නළලත
පළඟැටියෙක් වගේ පැන පැන
ඉක්මනටම ගියාය.
යළි
නොඑනු ඇත.
තොරතෝංචියක් නැතුව
දුක කියන රෑහියන් සමග
තනුවකට ඉඩ ඉතිරි කර
නොඑන්නම ගියාය.
මතක
නොමැකෙනු ඇත.
හැම රාත්‍රියක් පාසාම
අඩ නින්දෙන් තිගැස්සී
සියුම් ඉකියක් සමග
මා අවදිකර ගියාය.
දුම් දමන කේතලය
නිතර හිස්වෙන
යළිත් පිරවෙන.
අප දෙදෙන
උණු තේ බොමින්
සීතල නොදැනෙන්ට.
මඳක් දොඩමළුව
නිකරුණේ හිනැහෙමින්
සතුටින්ය පෙනෙන්ට.
ඉහළ යන වාෂ්පය
හරියටම මුහුණු මත
ඇස් දෙක වැහෙන්නට.
මිහිදුම
නළල සිඹ සිඹ
ගොයම් පැලවල
එන දෙසැම්බරයේත්
හමුවෙමුයි කියන!
පණිවිඩකරුවෙක් එවා ඇත
මිහිරිය කියා රාත්‍රිය.
සීතල..,
කවුළුවෙන් රිංගන්ට පෙර
රෑහියනි
රැගෙන ආ මැනව වයලීන.
කදෝකිමියන්ට හැක
පහන් දල්වන්ට තැන තැන!
දියණිය
ඔබ රිංගා ගිය
කුඩා කඩුල්ල
පෙර පරිදිමය.
ආපසු එන්න බැරි ලෙස
වැඩී ඇත්තේ
ඔබය!!
තරු වට්ටියෙන්
වැටුණු තරු කැට
ජනෙල් පඩි මත
රැයෙහි නතරව!
.
ඔබ සිටියේ හිනාවීගෙන.
අලි කකුල් කලිසමක් ඇඳ
කොණ්ඩය වවාගෙන.
මගේ මුහුණේ බය පාට.
කොට ගවුමක් ඇඳ
පෝනිටේලයක් දමාගෙන.
හමුවිය නොසිතු ලෙස
පරණ පොත් අල්මාරියක සිට.
එතැන් සිට තවමත්
ගොළුය බිහිරිය
මගේ සිනහව!!!
.
.....හිස ගසා දැමීමෙන් පසු.....
ඇසේ වධකයා නගන සිනහව
ශාලාව දෙවනත් කර.
නඩුකාරයාද නිදි වගේ
ඇහෙන්නේ ගොරවන හඬ.
විත්තිකරුට කිසිත් නෑසෙයි
සැනසිල්ලෙනි ඔහුද.
ජුරි සභිකයෙක් අවදියෙනි
නින්දක් ලබනු නොහැකිව!
.
හරියට සිනාවක් වගේමයි
හඬන්නට මොහොතකට පෙර
ඒ ඉකිය!
.
සුදුවුන හිසක් හා
හැඩ මැකුන ගතක් ඇතුලෙත්
නාඹර සිතක් ඇති
ළමයෙක් ඉන්නවා මගෙත්!..
.
මිතුර මා පැරණි නුග ගස
උස යන ඔබ දෙස බලා හිඳින
එක් වරක්වත් නැමී පහලට
ආයුබෝවන් නොකීවද!!
.
.....නුග ගහ ,ගඟට කියයි....
මට එකතැනම ඉන්ට සිදුවීම
නුඹට රිසි තැනක යන්ට හැකිවීම
වැරදි ලෙස කාටවත් නොපෙනීම
අනේ!මේ ඉතින් මගේ නොලැබීම.
.
අපොයි මේ සද්දෙ
නිස්සද්දෙ!
.
දෙවියන් හිඳී
ඇලේ දොළේ වෙලේ පොළේ
හැංගිමුත්තම් කරමින්
සිරස සඟවමින්
කුඩා අං පෙන්වමින්!
.
හිරු එන්න පළමුව
අවසාන වතාවට සිප ගනී
ගඟ හා මිහිදුම!
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)