Monday, July 18, 2011

........තොටියා......
සියල්ලන් එතෙර කළ පසු
තුමූම එතෙර විය යුතු!

Sunday, July 17, 2011


මේ මල් පොකුර
ඔබ මට දුන් දේවල්වලට.
මේ මල් වට්ටිය
ඔබ මට දෙන දේවල්වලට.
මේ මල් වත්ත
කවදාවත් නොදෙන දේවල්වලට!!!
ජීවිතේ
දිගයි මෙන් පෙනෙන
කොටයි මෙන් දැනෙන!..

Saturday, July 16, 2011

.

ඉදින්...,
අප ඇවිද යමු
සමතලා පහත් බිම්වල
කඳු නගින විට දැනුන තෘප්තිය
එකිනෙකාහට මතක් කර කර!..
දිය පහර
තිබිය යුතු තැන තබා නැත.
මල් පඳුර
පිපිය යුතු ලෙස පිපී නැත!

සොඳුරිය...,
බත් පත බෙදන විට
මඳක් වැඩියෙන්
ආදරය බෙදන්න.

හිමියනි...,
මා උයා ඇත්තේ
ගෙදර එනවිට
ඔබ ගෙනා දේවල් පමණි!
......ටෝකියෝ මතක....
හිම කබා පොරෝගත් සුදුම සුදු අහසක්
රතුපාට බල්බ් දැමු ඇපල් වතු යායක්
විදුලි දුම්රියක් තුල ගෙවුන පැය ගානක්
දෑත මත නතරවුණ අනවසර දෑතක්!

Thursday, July 14, 2011


හිස් කළගෙඩි
කොයිතරම් නම් සතුටින්ද
ඉහිරෙයි කියා
කිසි බයක් නැතිවිට !
*****
රත්නපුර පෙරහැරෙන්
සොරකම් කලෙමි
මහබඹාගේ මුහුණු දෙක.
හිනැහෙන එක
ලෝකෙට.
අඬන එක
ගෙදරට!

Sunday, April 03, 2011

.
පුතේ නුඹ තරහද
පොඩි කාලෙ ටොකු ඇන්නට
ඉක්මනින් ලොකු වෙන බව
දැනන් උන්නේ නෑ මම.

බත් එපා කිව්වම
ගුලි හද හදා කැව්වට
ළඟක හිටියානම් අද
එපා දේවල්
දෙන්නෙ නෑ මම.

කරුවල වෙලාවක
ගේට්ටුවෙ හඬ ඇහුණම
අම්මෙ මං ආවා
කියන හඬ ඇහෙනවා වැනි මට.

එදා නොදුන්න දේවල්
හුඟක් ඇත ඔබට දෙන්නට
එහෙත් මම දන්නෙමි
දැන් කිසිත් ඉල්ලන්නෙ නැති බව!

Saturday, April 02, 2011

.
අපි හැම සනීපෙන්
අසනීප බවක් දැනුනට
දැන් ඒක පුරුදුයි.

පොඩි එවුන් දැන් ලොකුයි
ඒත් තව දුරටත්
ඉගෙන ගන්න කැමතිලු.

මාත් ඔහෙ ඉන්නවා
වියගහේ බැඳ ඇති
හරකෙක්ගෙ ගානයි.

වසන්තය ඇවිත් යනවා
සිසිරය නවතිනවා
හිතම හිරිවැටෙනවා.

මං ආයෙ එනවා
හිරිවැටුණු හිත අරන්
ඔබේ දෑතේ තියනවා!

තාලයක් මුමුනනවා
හිස උරහිසේ හොවනවා
නිහඬව ලඟටවී
අතින් අල්ලන් ඉන්නවා!

Saturday, March 19, 2011

...ගේෂා ...
ප්‍රගුණ කර ඇත
හඬන අන්දම
කඳුළු නොමැතිව.

තවරලා ඇත

ඝනට වත්සුණු
හැඟුම් යටකර.

නියම කර ඇත

රැවටෙනා ලෙස
ඔබට හා මට!

Thursday, March 17, 2011

ඉතින් ...,
අන්තිමට මොකද වුනේ?

අපි ඇවිදගෙන ගියා
ගොළුවෝ වගේ.
ඉර වැටුනා "ජබොක්" ගාලා
මුහුදට.
මම ඇඬුවා.
එයා ලේන්සුව දුන්නා.
මල් මහපු ලේන්සුවක්
මගේ නෙමෙයි.
හීනි සුවඳකුත් එක්ක.
මගේ නෙමෙයි.
ඉතිං...,
මට තේරුනා
එයත් මගේ නෙමෙයි!

Monday, March 14, 2011

ඇතුගල යට
අපි දෙන්නා
තවම ඉන්නවා
බැරි වෙලා වැටෙන
හීන අහුලන්න!
හැන්දෑවේ පහට
දොරවල් ඇරන්
එලියට බහී
රස්සාවල්!

Saturday, March 12, 2011

ඔබේ ලොකු අත
තවම රස්නෙද
කියා ලිපියක්
එවනවද මට?

මගේ කෙහෙරැළි
නොගෑවෙන ලෙස
ඔබේ උරහිස්
උස ගිහිල්ලද?

හිනා වෙනකොට
දකුණු කම්මුල
වල ගැහෙනවට
ඈත් කැමතිද?

Friday, March 11, 2011

දෙවිවරුනි
කල් ඇතුව
පහන් එළි
දල්වන්න.
හිල් හැදුණු
අහස මත
තරු ලෙසින්
බබළන්න!

Tuesday, March 08, 2011


නොකියන්
සීතාව යයි.
නොපළඳන්
පතිවතේ කිරුළ.
මාද ගැහැණියකි.
වෙනස නම්
සිත දුබල වූ විට
වරම් නොලදිමි.
වරම් ලද හැමවිට
සිත ප්‍රබලවිනි!

Saturday, March 05, 2011

කහ මල් ගහේ තාමත් මල් පිපෙනවද
උඳුපියලිය කන්ට සාවුන් එබෙනවද
මල් ගහ යට බංකුව තවම තියෙනවද
අපි නැති උනත් වෙන දෙන්නෙක් ඉන්නවද
...
රන් මුදු ලූ අතින් බත රස කෙරෙනවද
සුදු මුදු සේල පහසින් හිත සැලෙනවද
පැටි මඳහසින් මැදුරේ අඳුර මැකෙනවද
ඉඳ හිටකවත් මා ගැන සිහි කරනවද

හිනාවක් හුළඟ අතවත් එවනවද
කඳුලක් එවන්නට මග තොට කියනවද
සුසුමක් වෙලා කම්මුල් මත රැඳෙනවද
දවසක් ඇවිත් මං ළඟ නිදි වරනවද????

Wednesday, March 02, 2011

මිනිසුන්ට
මෙච්චෙර ගමන් තියේද යන්න
විවිධාකාර ඇඳුම් ඇඳගෙන,
කාර් වල, බස් වල, පයින් .
...බලන්න..
උන් සිනාසෙන අන්දම
පවුල් පිටින් කොහේ යනවද?

අපි වගේ
වේලාසන ගෙදර ඇවිත්
ක්ෂණික හොද්දක් හදල
එක දිගට ...
පුටුවෙ නින්ද යනකන්
රුපවාහිනිය බලන් නැතුව
හිනාවෙවී පවුල් පිටින්
කොහෙ යනවද?

කතා කරල කරලම
සියලුම දෙබස් ඉවරවුන
නිහඬ චිත්‍රපටියක වගේ
පුරුද්දට හැම දේම
මුනෙන් මුණ බලාගෙන.
අනේ! මන්දා මේ මිනිස්සු
කොහෙ යනවද
ගෙදර ඉන්නෙ නැතුව?

Tuesday, March 01, 2011

තරහ ගොස්
වවුලන්ට
පියරු සේදුන බැවින්
වැස්සට.

හිනා යයි
ගෙම්බන්ට
සාදයක් ඇති බැවින්
ළඟ ළඟම.

වැඩ වැඩියි
කුඹින්ට
ඔරු පාරු නැති හෙයින්
ගොඩවෙන්ට.

කම්මැලියි
කපුටන්ට
තෙමුණ ගහ කොළ අතර
නිදියන්ට!