Wednesday, February 04, 2015

ඩෙනිම් කමිස!!!!


.
මට අහන්න බැරිවුණා.

ඔයා දැන් අඳින්නේ 
සුදු පාට අත් දිග කමිසමද ?
ඩෙනිම් අත්කොට කමිස වෙනුවට. 
මට ඔසරිම අඳින්නලු 
ගවුමට නේද මම ලස්සන?

Monday, February 02, 2015

දුක හිතෙන කවුළු!!!

.

රෙදි වැල්වල 
උඩ පැන පැන හිටි 
රෙදි නැමෙයි 
ගෙට යමං කියයි.

දුක හිතෙන කවුළුවල 
තිර වැසෙයි. 
කි.රි.ස් ගා 
අගුලු පහතට වැටෙයි.

නිශ්ශබ්ද සාලයට 
පහන් එළියක් එබෙයි. 
පුටු මේස පින්තූර 
බිම බලාගෙන හිඳියි.

කොහේදෝ ගෙදරක 
උස් සිනාවක් ඇහෙයි 
සීනි සම්බෝලයක් 
බැදෙන සුවඳක් දැනෙයි.

හෙමි හෙමින් සඳැල්ලට 
අන්ධකාරය ගලයි 
"වහල දාන්න දොර"
ඔබ සෙමෙන් දොර වසයි.

Monday, January 26, 2015

ඔබ නෙමෙයි වැරදිකරු!!!


.
ඔබ 
පාර ඉවරවූ පසු
 නැවතුනා.

මම 
තනියමම 
තව ටිකක් දුර ගියා.

ප්‍රියතම කඳු මුදුණ!!!



උස නිසා කඳු 
නාය යනු 
පහසු.

මගේ ප්‍රේමය 
ගැඹුරු 
එහෙයින්ම රැකුණු .

එහෙත් මා ප්‍රියතම 
කඳු මුදුණක්ය 
ඔබේ ප්‍රේමය රැඳුණු .

ග්‍රහ ලෝකයෙන් ලියුමක්!!!


.
මියගියා යැයි සිතූ 
ග්‍රහලෝක කැබැල්ලක 
එකම එක තැපැල් පෙට්ටියක් ඇති.

අව්වෙන්ද වැස්සෙන්ද 
බැට කා දිරාගිය 
අගුලක යතුර අහලපහලම ඇති.

මගේ නම සඳහන් 
ඉපැරණි ලිපියක් 
එහි තවම තියේනම් නොලැබුනත් ඒ ඇති.

Sunday, January 25, 2015

හා හා හොරා!!

.



දෙවියනි!
මම දනිමි 
ඔබ නෑ වගේ ඉන්න බව.
දොර තදින් වසාගෙන 
ගිනි තපිමින් ඉන්න බව.
බඩගිණි උසුලනු බැරිව 
රොටී සපමින් ඉන්න බව.

මට දුකම 
හිඩැසි අතරින් දොරේ 
ඔබට මා පෙනෙන එක 
ඔබ නැතැයි කියන එක.

Saturday, January 24, 2015

හිත හදාගමු!!!



.

උසම කන්දක මුදුණට 

පෙනේ කුටියක් තැනිතලාවක. 

දුම් කවුළුවෙන් දුම් නැගෙනු දැක 

ඔබ හොඳින් යැයි හදාගමි හිත.




කළුම කළුවර රැයක 

එළියක් පෙනේනම් කඳු හිස 

ඒ මා අවදියෙන් 

ඔබට කවියක් ලියනු විය හැක. 


Sunday, January 18, 2015

බැල්කනි ටිකට් අඩ දෙකක්!!



....ආදරය...
දහදිය සුවඳ මුසු 
විලවුන් පුස්ඹක්.
තොල් සායම් මුද්‍රාවැති 
අත් ලේන්සුවක්.
අඩක් කාවුන් කෑ 
දින පොතක්.
මොනිටර් පොතක් තුළ 
බැල්කනි ටිකට් අඩ දෙකක්.


එපමණයි.

ඉව කරමි.!!!



.
සාරියේ පොට හදන්නැයි 
බොරුවට කියමි.
සියුම් අතැඟිලි ස්පර්ශයෙන් 
මත්වෙමි.

රන්දම පළඳවන්නැයි 
සෙමෙන් අයදිමි .
හාදුවක් ලැබේදැයි 
කලබල වෙමි.

දවල්ට බත් 
චුට්ටක් වැඩියෙන් බෙදමි.
කෑම රසදැයි පණිවිඩ යවමි.

කිලිටි කමිස කලිසම් සෝදමි.
ගැහැණු සුවඳක් දැනේදැයි 
ඉව කරමි.






Sunday, November 23, 2014

උස් !!


කන්ද,
ගස් වලට වඩා
 උ
ස්.
කන්ද මුදුනෙ ගස්

න්
 ව
ඩා
 උ
ස්!

රිදී දැල්ලක්!!!



බොඳව ගිය තිතක්ව 
මහත් මීදුම තුළද 
සිරීපාදේ පහන් දැල්වෙනු පෙනෙයි.
ලං වෙන්න බැරි වුනත් 
සිත නිමෙයි..

කුටිය තුළ නිහඬවම 
ඔබ හිඳිනවිට පවා 
සියුම් සැනසීමකින් සිත පිරෙයි.
රිදී දැල්ලක් වගේ 
කවි මැවෙයි.

අදවත්!




...පුතා බලන්න අවසර දවස....

අදත් පුතා 
ආච්චිත් එක්ක එවාවිද 
නැත්නං 
එයාම ඒවිද??

හඳුනා ගත නොහැක!



.
කොළ අතු එල්ලා තිබූ 
කැළෑවක 
තරු කිණිති අතුරා තිබූ 
අහසක
ප්‍රදීපාගාරයක් හිමි 
මුහුදක 
අතිනත් ගෙන සිටියදීම 
මග හැරිය හැකිය අප.

අත්සන් කල කඩදහිද 
මනා ලෙස මුදු කල මුදු ද
කවිපොත් මත ලියූ පොරොන්දු ද 
නොවටනා වෙයි එවිට.

අහම්බෙන් මුණ ගැසුන විට 
හඳුනා ගත හැකි එකදු සලකුණක්වත් 
අපතර ඉතිරි වී නැති එක 
කොතරම් දුක් වඩන්නේද පෙම්වත .

සොඳුර මේ සිසිරයය .!!



.
සොඳුර මේ සිසිරයය .
තෙතබරිත රහස් ඇති තුරුලතා 
සෙමෙන් නිරුවත්වෙන. 
ගිණි උදුන් තුල පවා 
ගිණිදැල් තරමක් මෘදු වන.
තෙත දර ඉපල් වලින් 
දුමක් මිස ගිනිදැල් නොනගින.


සොඳුර,
ඉතින් ඉඩ ඇත 
තවත් එක සෘතුවක් 
දිය කෙළින්නට සැළිය තුළ
කටුක ගිම්හානය ඇවිත් 
ඉබේ ගිනි දල්වන්න පෙර.

ඉස්සී බලමි එක් වරක් !!


.
සියතින් ගෙල සිඳ ගන්න පෙර 
ඉස්සී බලමි එක් වරක් 
තවමත් හිඳීදැයි නුඹ 
කවි ලියන කුටිය තුළ.

සෙළවෙන පහනක එළියෙන් 
වඩා විශාලව පෙනේ ඔබ
හිස නමාගෙන සිටින අයුරින් 
සෙවනැල්ලක්ව බිතු මත .

ශේෂ වී ඇත තවමත් 
රහස් මතකයක උණුහුම 
ගිනි දැල් නිවී ගොස් 
කල්ප ගණනකට පසු වුව.

ඉස්සී බලමි එක් වරක් 
තවමත් හිඳීදැයි නුඹ
මා ලියූ කවි කියවමින් 
කවි ලියන කුටිය තුළ .

Thursday, November 06, 2014

එක් රැයක් තිබියදී !!




එක් දහස් රැයක් 
නෙක කවි අසා 
එක් රැයක් තිබියදී 
පිටව යමි.

වට තිර මසා 
බර අගුළු යොදා 
නාඳුණන කුටියක 
වහන් වෙමි.

දොරගුළු කඩා 
හමුවෙනු පතා 
ඔබ එනු ඇතැයි 
නොසිතමි.

නොලියූ කතා 
එකිනෙක ගොතා 
පොසිලයක් වෙනු පිණිස 
වළලමි .




Saturday, October 11, 2014

ස්තූතියි මයිකල්!!



.

ස්තූතියි මයිකල් 
එදා ඉඳන් අද වෙනකං 
ඉවසා සිටියාට මං .

රෙදි වැලට රෙදි දැම්මාට 
ගේ අතුගාන කොට 
බර පුටු උස්සා අයින් කලාට 
ඉඳහිට බුම්මන් හිටියාට 
ස්තුතියි මයිකල් 
මා දරා හිටියාට.

අහු නොවෙන බොරු කිව්වාට 
යාළුවන් සමග සාද දැම්මාට
රෑ වෙලා ගෙදර ඇවිදින් 
නොබීපු මිනිහ වගේ උන්නාට 
ස්තුතියි මයිකල් 
මෙතෙක් මා සමග රැඳුනාට.

හිතින් තැන තැන සැරුවාට 
කැමති තැන්වල රැඳුනාට 
කිසිදාක ඒ හෙළි නොකලාට 
මං දන්නවා මයිකල් 
හුඟක් පිරිමින්ට වැඩියෙන් 
ඔයා හොඳ බව හැමදාම.

"ඔන්නොහෙ යන්න අරින්න."




"ඔන්නොහෙ යන්න අරින්න."


තරහ නෑ 
ආයෙ එන වග නොකීවට.
යාළුත් නෑ 
ආයෙ නොඑන වග නොකීවට.


නොලිව් ලියමනක් ඇත 
කොතරම් තනිදැයි පවසන.
නොලද ලියමනක් ඇත 
බොහෝ සතුටින්ය අඟවන.

අත් අත් පටලා නොසිටිය 
ඇස් ඇස් රහසින් නොදෙඩුව 
හිස් බස් තව තව කුමටද 
හුස්මක් සේ නික්මෙනු මැන.


"ඔන්නොහෙ යන්න අරින්න."

Monday, September 29, 2014

ඩයනා වගේ!!!





.
මං ගඟක් වෙන්නම් 
ඔබ සඳක් වෙන්න.
එතකොට මට පුළුවන් 
මගේ තුළ ඔබ රුවාගෙන 
මිටියාවත් දිග ගලන්න
ඔබට තියෙන්නේ බලාන ඉන්න 
ඩයනා වගේ හිනාවෙන්න
අත උස්සල කොන්ඩෙ හදන්න 
අලුත් පැටන් එකේ ගවුම් අඳින්න 
ඇත්ත මුතු නැතිවුනාට 
බොරු මුතු හරි මාල දාන්න 
දියමන්ති වගේ දිළිසෙන 
සෙල්ලම් ගල් කරාඹු දාන්න 
අස්වයෙක් වගේ පිම්මේ යන්න පුළුවන් 
මට 
ඔබ මා තුළ හැංගී ඉන්න විට .

හාදු ගස!!!




ගිනිගත් දවසක හවසක 
සීතල හාදු දෙන හින්දද 
ඉරක් මේ තරම් 
ආදරේ සයුරට.

කාලයට අසුවී 
වියැකිලා ගිහින් ඇති
කවුළුව අසළ මල් දැරූ 
හාදු ගස මේ වනවිට .

ඔයා ගෝරිල්ලෙක්ලු .!!!





ඔයා කිව්වා 
මං විදුරු බඳුනක්ලු .
ඔයා ගෝරිල්ලෙක්ලු .
ඇයි ළමයෝ 
මං විදුරු බඳුනක්නම් 
ඔයා පොළොවට අත අරින අරින පාරට 
මෙලහටත් මං බිඳෙන්න එපැයි .

අනිත් එක 
ඔයා ගෝරිල්ලෙකුත් නෙමෙයි 
ඔය ඝනකම් සූට් එක ගැලෙව්වම 
ඔයත් හැඩයි .

Thursday, September 25, 2014

..මෙරුවෙකුට...!!






..මෙරුවෙකුට...

කවුළුව වැහුවෙ 
ආදරේට!

ඇඟිළි තුඩුවලින් ඇවිද එමි !!







පිළිවෙලට අමුණා 
තරු පහන් 
කළුවර පඳුරු මත 
මග පෙන්වා ඇත 
ඔබ සිටින කුටියට
වන මැද .

හඬ නොනැඟෙන්න
ඇඟිළි තුඩුවලින් ඇවිද එමි 
නිවා එකිනෙක 
තරු කැට .

Friday, September 19, 2014

නැවත නැවතත් මග හැරෙන්න!!!




.
ඔබ 
නැවතත් මග හැරෙන්න.
සිසිරයෙහි 
හිම යට කුඩා දිය බිඳක් ව
මග හැරෙන්න.
ශරතයෙහි 
ගසාගෙන යන වරා මලක්ව 
මග හැරෙන්න.
අළුයමෙහි 
මඳක් තෙත් පිණි අතර 
ගොම්මනෙහි 
සියුම් සෙවනැළි අතර 
නැවත නැවතත් මග හැරෙන්න.

ඉතින් මට හැකිය 
සෘතුවෙන් සෘතුවට
දින ගනින්න.
රැයත් දවාලත් අතර 
මග බලන්න


Wednesday, September 17, 2014

අඬන හිනා!!




.

ඇතුගලේ ගෑවි ගෑවී 
වලාකුළු ඉගිළ යනවා.
බස් නැවතුමට තාමත් 
ඔරලෝසු කණුව පේනවා.
වෙලාව නැවතිලා ඇද්දැයි 
සෙල්ලමට වගේ හිතෙනවා.
කට කොනින් හිනාවෙන ගමන් මං 
හදවතින් හෝ ගාලා අඬනවා

Saturday, September 13, 2014

දෙසැම්බර් නැතුව!!!


.
සමහර අවුරුදුවල 
දෙසැම්බර් මාසයක් නැතුව ඇති.
ඒ නිසා ඔබ 
සතුටින් ඇති.

Thursday, September 11, 2014

අන්තිම වරට හුස්ම ගත් දවස !!



මා දැනට මියගොසින් නම් 
ජීවත්ව සිටියා වෙන්න ඇති.
අන්තිම වරට හුස්ම ගත් දවස 
මට පවා අමතකව ඇති.

පෝර වතුර ලද සරු ගසක් වුව 
හිටිගමන් මිය යන්න හැකි. 
ඇඟිල්ලෙන් ඇන ඇහැරවන්නට 
ඔබ නැති නිසා වෙන්න ඇති.

Wednesday, September 10, 2014

වංගු!!!




හැරෙන්නට හැදු
හැම වංගුවෙම
ඔබේ ඇස්දෙක තබා තිබුණා .
ඊට පහළින් 
ළපටි අතකින්
"ගෙදර" යනුවෙන් ලියා තිබුනා.

කිතිකැවූ මුතු!!


.
අද වුවද 
ගෙළ අතගෑවෙන හැමවිට 
දැනෙයි 
මුතුහරක් පළඳවන්නට ගොසින් 
කිතිකැවූ ඇඟිලි තුඩක පහස!

ඉන්පසු මුතු බිඳී විසිරින .

Thursday, September 04, 2014

අත් හරින්නම බැරිවෙයි!!!





නැංඟුරම් ලන්න 
කුණාටුව බැස ගියත් 
වේලෙන තුරු රුවල් .

මුවාවී ඉන්න 
දඩයක්කරු පැන ගියත් 
නිසල වෙනතුරු තුරුපත්.

කඳුළු වගුරන්න 
දුක තුනී වී ගියත් 
බාල වෙනතුරු සුසුමන්.

මගෙන් පැන යන්න 
අත් හරින්නම බැරිවෙයි 
තව ටිකක් හිටියොත් නම්

දියමන්ති පතුරකි!!





රටාවක් නැතුව බිඳුණු 
දියමන්ති පතුරකි 
ඔබේ පෙම .
හීනිම කැපුම වුව
මහත් ගැඹුරට.

Tuesday, September 02, 2014

සේද සළුවක් !!

.


සේද සළුවක් 
ලිහී ඇත 
දෙව්ළියක 
අහස හරහා දුවන විට.

ඇවිත් ගියේ ඔබ.!!!


.
මිදුළ හරහට
ඇවිදගෙන ගියත් 
පා සලකුණක්වත් නොතියයි 
ඉර .

විළ පතුළේ 
වැතිර හිටියත් 
රළක්වත් නොනඟයි 
සඳ.

මෙන්න මේ විදියටමයි 
ඇවිත් ගියේ 
මගේ හද මත 
ඔබ.

Friday, August 29, 2014

.......පාළුයි!.....





හදවත ඉරිතළා ඇතිවිට 
තව ඉඩක් කෝ කුඩා  කවියකට 
දැනගෙන වගේ මේ වග 
කවුළුවෙන්වත් නොඑයි මඳනල .

කෙහෙ අගින් බේරී 
බිම වැටෙන වතුර බිඳකට 
මග නතර වෙන්නට 
හුරු පුරුදු කම්මුලක් කෝ අද.

ඉබාගාතේ යන 
සිතිවිළි කදම්බයකට 
ප්‍රදීපාගාරයක් වුව 
මගහැරෙන්නට පුළුවන.

Wednesday, August 27, 2014

දැවෙමි!!!


දැවෙමි 
සතුටින් වෙසෙනයුරු දැක 
මා අතැර .
තැවෙමි 
සුසුමන් හෙලනයුරු දැන
මා සිහිව.

. කවුළුවක් තෙමේ !!





.කවුළුවක් තෙමේ 
වැස්සට 
සිහිනයක් 
තිබේ 
නොතෙමුන .





Saturday, August 23, 2014

එක්කෝ ඇති. නැත්නං නැතුවැති !!



.
අහස උඩ තැනක් ඇති 
නිල්පාට කවුළුවෙන් එබීගෙන 
කවුරු හරි බලන් ඇති.
නැතුවත් ඇති.

එයාටත් මට වගෙම 
ලියාගන්නට නොහැකි 
කවක් ඇති.
නැතුවත් ඇති.

හීන් හඬකින් ගැයෙන 
මං ආස සිංදුවක් 
එයාටත් මතක ඇති.
නැතුවත් ඇති.

අපි ආයෙ හමුවුනොත් 
වෙන්වෙන්න බැරිවෙයිද 
එයත් හිතනවා ඇති.
නැතුවත් ඇති.

Thursday, August 21, 2014

තට්ටු නොකරනු කවුළුවට !!!




.
නැළවෙන්න සුහදයාණෙනි,

අත් අකුරු නොමැතිවද 
පෙම් පත් ලියා එවනු ඇති 
සඳ එළිය .

මියුරුම වෙණ හඬද පරදවයි 
අතු ඉති මත නළියන 
මඳ සුළඟ.

කැළතෙන ගං දිය 
දියමන්ති කැට රැසකි 
දිදුළන .

තට්ටු නොකරනු 
කවුළුවට 
උදෑසන .

Wednesday, August 20, 2014

මම තවම දැල්වෙමි !!!



.
විමසුව හෙයින් ඔබ 
මා තවම දැල්වෙන්නේ කා නිසාදැයි  වග.

සුමිතුර,
මම තවම දැල්වෙමි 
දැල්වුණ අයුරු මෙනෙහිකර. 
මම තවම දැල්වෙමි 
නිවුණු අයුරු මෙනෙහිකර.

සුමිතුර,
මඳක් පැටළිලි සහිත වුව 
දැල්වීමකි නිමීමද .

Saturday, August 16, 2014

බොකුටු කොණ්ඩා කාරයෙකුගේ සිහිනය!!

.
සිහිනවලට ශාප කල නොහැක.
රැන්ග්ලර් කමිසයක් ඇඳි 
බොකුටු කොණ්ඩා කාරයෙකුගේ සිහිනය.
ගිටාරයක් වයන විට 
සිනාසෙමින් හිඳි කෙල්ලකගේ සිහිනය.
නපුරු මායාකාරියක් 
රෝස මල් පොඩිකල සිහිනය 
කොතරම් කුරිරු වුව
සැබෑ ලොව වෙසෙමින් 
සිහිනවලට ශාප කල නොහැක.

දැවෙනු පිණිසම!!


.
ඇවිදිමි අඟුරු මත 
අකල් වැසි වැස නිමී ගිය .
තිබිය හැක 
එකම එක අඟුරක් 
තවම නොනිමී වහන්වුණ .
නවතිමි මම එතැන 
යළි යළිත් දැවෙනු පිණිසම .

Friday, August 15, 2014

"so sad "


.
"so sad " ඔබ කියයි.
ඇත්තෙන්ම 
එතරම්ම දුක්විය යුතු නැත.
දැන් දුක තුනී වී ඇත.
අඳුරු ආකාශයෙහි 
සඳ දියව යන්නාක් මෙන් 
පොකුණ මත මීදුම 
ශේෂවී යන්නාක් මෙන් 
ළයෙහි කැන්වසය මත 
ඔබ බොඳව ගොස් ඇත.


ඉතින් සුහද,
කුඩා කැබලි වලට බිඳුණු 
මේ ඒ සුන්බුන්ය.
මෝසම් වැස්සට 
පාව යනු ඇත.
සිහිල් සුළඟට හසුව 
ඉහළ යනු ඇත.
ඉතිං මින් මතු 
මගේ කවි කියවා 
'so sad 'යැයි 
නොපැවසිය යුතුය.

Thursday, August 14, 2014

කුඩා කැත කෙල්ලකව සිටි එකළ!!!




ඔවුහු මා සොයාගත්හ 
සෙල්ලම් පිටිවල,පොත් මේස ළඟ 
කුඩා වන ලැහැබ්වල 
තාරුකා නරඹමින් සිටිනතර 
ගීතිකා ගයමින් රඟනතර 
කුඩා කැත කෙල්ලකව සිටි එකළ 
ආයාසයෙන් තොරව.

මම මා සොයමි දැන් 
අතහැර දැමූ කන්දක
මගහැර සැඟවුණු සටනක 
අඩක් ලියැවුණු කවියක
මඳක් හිස්වුණු මී විතක 
හුදකළා ඉසව්වල,ප්‍රෙහෙලිකා අතර 
ලයිට් බිල් ගෙවන තැන්වල,තොග බඩු කඩවල. 

අතුරුදන් වී ඇත 
මා වැනි කෙනෙක් 
හමුවෙන්න බියෙන් 
මට!

දුව දැන් ලොකුයිද????






ශෝකී ඇස් සහිතව 
හිඳී ළා පාට බිත්තියක 
කතාවක් බහක් නැතිවම 
මහළු වූ අතීතය.

"ඔයා දැන් සතුටින්ද 
දුව දැන් ලොකුයිද 
දුක හිතෙන වෙලාවට 
මා ගැන මතක් වෙනවද?".

කාත් කවුරුත් නැති විටෙක 
ඇස් වලින් දොඩනු හැරුනම 
දුවිළි පිහින්නත් නොඑමි 
මට පවා බයයි මා ගැන.

Wednesday, August 13, 2014

ඒ කාලෙ තමයි කාලේ !!

 
 

සිප ගැනීම් 
බහුලව තිබිණි 
එකල පෙන්වූ
චිත්‍රපටිවල.

Tuesday, August 12, 2014

දැල්වෙන ගිණිගොඩ!!

.
අප දෙබස් පාඩම් කල හැටි 
උයන්වල,තාර පාරවල,බස්වල 
මුහුණු රතුවූ හැටි 
අහම්බෙන් වැදී අතිනත .
නමත් අමතක චිත්‍රපටිවල 
අවසානයත් එළඹින.

වංගු ගෙන හමායයි සුළඟ 
පපුවට ගසා ගනිමින් අත් දෙක
නොඅසයි ඔබ කොහේදැයි 
රහසකින්වත් ගං තෙර. 

සඳක් වැළපෙයි 
තාරුකා ගිනි ගනියි 
ඈත කන්දක තවම 
ගිනි ගොඩක් දැල්වෙයි.

Monday, August 11, 2014

මගේ ලුමිනස් පියාපත්!!!



.
සොඳුර,
හරිත වර්ණය විසිරි 
මේ නිහඬ මිටියාවත 
එක්ටම් ගෙයකටත් වැඩියෙන් 
සිර ගෙයක් විය හැකිය 
මගේ ලුමිනස් පියාපත් මත 
ප්‍රේමයේ මහා බර තැබූ විට.

සොඳුර,
අත්හල මැනවි 
පියාඹා යන ලෙස .
නොවටී නුඹට 
සිරකාරියකගේ ප්‍රේමය.

Saturday, August 09, 2014

පයින් ඇනලා දැම්ම කානුවකට.!!!



පාර තොටේ දැක්කම 

මූනට මුණගැහුනම 

ගණන් ගත්තෙ නෑ තඹේකට .

පයින් ඇනලා 

දැම්ම කානුවකට.

ඒත් දැන්,

මං ආදරෙයි 

තත්පර වලට.

Friday, August 08, 2014

සමහර දවස් ඇත තහනම්ම තහනම්!!!







දීර්ඝම හවස්වරුවක 
මඳක් ශෝකී අන්ධකාරයෙහි 
පැරණි දිනපොත් කියවනා විට 
හඬ නොනැගෙනා විලස අවුදින් 
පිටව යනු මැන මටද රහසින් 
පෙම්වත ,
සමහර දවස් ඇත 
ඔබට කියවනු තහනම්.

Wednesday, August 06, 2014

ඔයා ඔහොම බොන්නෙ මං හින්දද?




මිහිදන් කරනු රිසි 
හැම විටම 
අලුත් හුස්මක් ගනී 
ඔබේ පෙම.

දමයන්ති:-
සුගත්,
ඔයා ඔහොම බොන්නෙ 
මං හින්දද?

සුගත්:-
නෑ 
දම්මි, 
හඳ පායන හින්දා 
මල් පිපෙන හින්දා 
පෘතුවිය කැරකෙන හින්දා 
හුස්ම වැටෙන හින්දා .

සමනල් පියාපතක සායම.!!!



ඔබේ දරදඬු ප්‍රේමය 
නික්ම ගොස් බෝ කලක් වුව
මගේ අත්ලෙහි තවම මතුවෙයි 
සමනල් පියාපතක සායම.

බැරිවීමකින් ගත් 
සිනාසෙන ඇස් දෙකක රූපය 
ප්‍රියතම කවි පොතක් තුළ 
ඇස් ඇරන් ඇති අදටද .

බිඳෙන බව කල්තියා දැන 
මතක පිරවූ බඳුන් 
සොයාගත හැකි විට 
හිස් කරමි ඔබ යනෙන පාරක.

Saturday, August 02, 2014

ඇස් වටා කළුව වැඩිවෙයි!!!



ප්‍රියය නුඹ 
පහන් නිවා අහසෙහි 
රහසේම ඇවිදින් 
උණුසුම් පොරෝනයක් සේ 
තුරුළු වී හිඳ ළමැදට
මල් කවුළුවෙන් නික්මයයි 
උරුම කරදී 
හිමාලය තරම් හීතල .

ඇස් වටා කළුව වැඩිවෙයි 
දින දින.

ලුණුමිදෙල්ල ප්‍රේමය!!


.
ලුණුමිදෙල්ල ගහකටත් පුළුවනි 
උරහිසේ තියං ඉන්න 
හඳ .
හුළඟත් එක්ක ඉස්සිලා 
හාදු දෙන්න 
යස.
ජිවිත කාලයක්ම 
හංග ගන්න මතක 
ළඟ .
ලුණුමිදෙල්ල ගහකටත් පුළුවනි 
උරහිසේ තියං ඉන්න 
හඳ .