Tuesday, February 04, 2014


.
අකුරු කොච්චර කලත් 



ඉලක්කම් නේද 



අන්තිමේ වැදගත්!

.
ආ බව හඟවන 

එකක් හා 

ගිය බව හඟවන 

එකක් යනුවෙන් 

පා සලකුණු දෙකකි 

ජීවිතය.

.
කෙකටියා මල් නිතර 
ගඟ ගැනම සිතුවාට 

මුහුදකට වැටුන ගඟ 

සිතයි මුහුදක් සේම.

අත්ලක පහස!!!

.

දිගු පාද තබමින් 
නික්ම යන කල කාළය 
වියළෙනු නොහැකිවෙද 
විළක් මුහුදක් තරම් ආලය.

කුඩා කවුළුව තුලින් 
සඳත් නික්මෙන මැදියම 
අමතක කරනු හැකිවෙයි 
මෘදු අත්ලක පහසද. 

ලය මත වැතිර හුන්
කෙහෙ කැරැල්ලක සුසුවඳ
තවත් නොදැනෙනු ඇත
අඩක් මියගිය හෙයින් හදවත. 

ඉදිරියට ඇවිද යන
දහසකුත් දන මගහැර
පසුපසට ඇවිද යන්නට
ඉතින් නැත මට දහිරිය.
.
මඳින් මඳ 
ක්ෂීණවුණු 
පාද ජාලයක 
මතකය
අඟලෙන් අඟල 
කිඳා බසින 
කිනිස්සක 
මුවහත.

පුරාණ පොසිලයක්!!!



Sergey Samsonov_

මියගියේ යැයි විසිකළ 
පැරණි ප්‍රේමෙක පොසිලෙක
තිබිය හැක බිජුවට කීපයක්
සුදුසු පොළොවක පැළවෙන. 

නොදන්නා නුවරක වුව 
සිටිනු හැක එක් යුවතියක්
වෙනත් නමකින් පිපෙන මල් වුව
තමන්ගේ මෙන් සුරකින. 

රාත්‍රිය නිදිගත් කල
නිහඬවම විත් කනට කොඳුරමි
අතර මගකින් පටන් ගත්තත්
ජීවිතය ඉමිහිරි බව.

.
දිගු වලිගයක් ඇති 
අහස් මකරෙක් 
රන් තැටියට 
මඳක් පහළින් .

.

ඇස් හීනි යුවතිය 

බලාගෙන
වැස්සට සේදෙයි

ඇස් වටා ඇඳි අංජන!

.

ගිමන් නිමනා
රෑ අහස යට

අතරමංවූ

කදෝපැණි මම.

නොනැවතී

විහිදුවත් එළිවැට

වගක්වත් නැත

තාරුකාහට.

.

සඳලුතලයක 

සුළං සීණුව ගී ගයයි.

සුළං රැල්ලක් 

කටින් පිඹ සඳරැස් නිමයි.

ගෙඹි කැලක් 

අනුරාගයේ ගීතය ගයයි 

ලොවම නිදියයි 

ඔබත් නිදි වරතැයි සිතෙයි.

.

නාඬන් කියා කිව්වත් 

උළලේනි අඬනවා තවම

සිහිවෙලා කපු ව.

රන්බන්ඩේ කිව්ව ලෙස

මදටිය ඇට වැටෙනවා ඇළට

කළතමින් පපුව.

ගානක් නෑ වගේ

හිනාවීගෙන හිටියත්

හඳටත් ඇඬෙනවා එවිට.

.
හුඟක් මල් 
බිම වැටී 
පෑගෙනායුරු දැකත් 
තවත් මල් 
බොහෝ වෙති 
හිත හදාගනු සමත්.

.
හරියටම හත්දොහේ දානෙට 
එක දවසකට කලියෙන් 
කවුරුත් නැති වෙලාවක 
ඔබ ඇවිත් හිටියා තනියෙන්.

සුදු කමිසයට කළු කලිසමක් 
මගුල් ගේක යන විදියට 
කෝට් එකක්,ටයි පටියක්.
හිනා යන තරමට පවුඩර් වැඩිව.

"ඔයාට හුඟක් පාළුද?
පුතත් ඉතිං යාවි නේද?
නිවාඩු නැතුවැති 
අපේ රටේ වගේ නෙමේනේ.

මාත් ඉතින් යන්න කියලා 
හෙට හවසට බණෙන් පසුව.
ඇවිද ඇවිද ඉඳලා ඇතිවෙලා 
කවද උන්නත් යන්න එපැයි .

මං කිව්වනේ ඔයාට 
ඩ්‍රයිවින් ඉගෙන ගන්න කියලා 
කෝ ඇහුවයැ,හිනාවුණා මිස 
හැමදාම ඉඳියි කියලා හිතුවද මම.

තාමත් මං ආසයි 
ඔයාගේ නිල් පාට ගවුමට
රැළි රැළි අත් දාපු 
දණට අඟලක් ඉහළින් නැවතුනු.

බැල්කනියට ඉහළින් 
හැමදාමත් හඳ පායයි 
එක හාන්සි පුටුවක් 
දැන් ඕනි නැති ගානයි.

අපි ආයේ දවසක හමුවෙයිද 
කහ ඉර පනිනකොට පාරෙදි 
පොළේදි ,පන්සලේදි,උයනෙදි 
කවදාවත් හමුවෙන්නෙ නැතිවෙයිද?

හමුවුනත් අඳුනාගනීද 
අඳුනාගත්තත් පෙම්කරයිද 
පෙම්කරත් විවාහවෙයිද 
මේ වගෙම ආයේ වෙන්වෙයිද?"

.
පියානෝ ගහන මානවක 
අතැඟිලි රතුවීදැයි 
බලන්නට 
කෙනෙක්වෙද 
හවසට?

Thursday, May 23, 2013

..
පෙම්වත
ළඟදීම අපි
අපිටම කියා කන්දක් ගමු.
ඉකිගසන සුළං හා වැළපෙන්න
විලෝ ගස් පේලියක් හිටවමු.
හැකිනම් කන්ද මුදුනේ
සෙල්ලම් පොකුණකුත් මවමු.
තාරවුන් කීප දෙනෙකුට
සතුටින් පිහිනන ලෙස අණ දෙමු.
කන්‍යා දිය ඇලිද , අකම්පිත ගල් කුළුද
ගැළපෙන ලෙසට සකස්කරමු.
කියඹු වැල් කිතිකවන
මඳනල පවා නොදැනෙන
ගල් පිළිම දෙකක් වී
එකිනෙකා දෙස බලාගෙනම
අපි සදාකල් පසුවෙමු.
පෙම්වත ,
අපි අපිටම කියා කන්දක් ගමු.
.
මෙන්න මේ වැනිම
තෙතබරිත හැන්දෑවක
පාෂාණිභූත වෙන්න පෙර
අප දෙදෙන
ඉඳහිට සිතෙයි
තවමත් උණුසුම්දැයි
ඔබේ දෙකොපුළ
පෙර මෙන්ම .

.
උස් තුරක්
ලොම් ගස්සා
අතහරී
හිම මල්
මීදුමට.
.
තවමත්
සම සුදුමැලිව ඇත
වෙදැඟිල්ලෙහි
මුදුවක ලකුණට.
.
සින්ඩරෙල්ලා ,
නොදන්නවා වගේ උන්නට
අප තවම
අළු දැරියන්ය
පාන්දර හතරේ  කණිසම
වැදෙන විට.
.
හයයි විස්සේ
රේල්ලුව ගිය පසුව
යළිත් මල් නොපිපුණි
සිල්පර කොටන් උඩ .
.
ඉර බැස යයි .
කවුළුවට පිටුපා
දෙවන මහලේ කෙල්ල
හිසකේ තඹපාට ගැන්වුන .
.
ඇඟිලි
වැඩෙයි
මුදු
එහෙමමයි.
.
කොතරම් සන්තෝෂද
මට
මගේමයි කියා
දුකක් ඇති එක.

Tuesday, March 26, 2013

.
තනිවුනු හිම මිනිසෙකුගේ
මෆ්ලරය වැනෙයි සුළඟට
සිහින් වැස්සක් මෙන්
හිම පියළි විසිරෙයි අවට.
.
කියන් ...!
ඔබේ දෙතොලට
හිරිහැරද
මගේ ගෙල බැඳි
රන්දම.
.
උස ගිහින් ඉවරවුන
නිහඬ කඳු පවා සුසුම්ලයි
හුදකලා වලාකුළක්
ගෑවී නොගෑවී යන විට.
.
නොබලාම යා යුතුය
වෙරළෙහි අඩි ළකුණු දෙස
සද්දන්ත රළක් විත්
මතක සෝදාලන තුරුම.

Thursday, February 21, 2013

.
තෙත ගවුම
ඇඟට ඇලුනට
හුළඟ දොස් කියයි
වැස්සට.
.
රෝස කම්මුලක්
ඉහළ පහළ යේ
මවිල් පපුවක්
ඉහළ පහළ යන
හැමවිට.
.
රෑ කෑමෙන් පසුව
සීනි වැඩි කෝපි බඳුන
අල්ලසක් බව හැඟුනද
නොපෙන්වා ඉනු මැනව
හිමියනි
අමනාප දෙදිනකට පසුව. .
.
කෙලෙස දල්වමිද
ගිණිමැල
පිදුරුත් දරත්
වැස්සේ තෙමුණු කල.
.
පෙණ ගොබයක් සැළුණු හඬක් මිස
දෂ්ඨ කල තැනක් නැත.
සොඳුර
කිළිටි විය එහෙත්
මලසුන.
.
දහයෙ පංතියෙ
සුදු බැලරිනා සපත්තුවක්
තදින් පොළොව සාරයි
එකොළහේ පංතියෙ
සුදු දිග කලිසමක් ළඟ.
"පස්සෙ කියන්නම්" කියයි
ඇහෙන නෑහෙන ගානට.
.
අතුරුදන්වූ පෙම්වත
කවුරුන් හෝ පැමිණ ඇත
ඔබේ උස මහතම ගෙන
සිනාසිය යුතු ,සිඹිය යුතු ජවනිකාවල
රවන ,ගොරවන,දත් කූරු කන.
.
කුඩා රිදී තෝඩුව
නිතර එහෙ මෙහෙ
සෙළවෙයි
ගෙළ සිඹින හැමවර .
.
හිමියනි
කාලයේ ඇවෑමෙන්
එක තැන පල්වී
දිය සිඳි ජලාශය මම.

තෝරා ගත මැනව
උණුසුම් ගිනි කන්ද දිදුලන.
මහත් අභිරුචියෙන්
දැවෙනු හැක රිසි ලෙස.

ඉනික්බිති
මඳ කලක් පැවතෙමි
සිහිල් දිය ඉල්ලා
ඔබ හඬත්දැයි
ඇහුම්කන් දෙනු පිණිස.
..
මුව දොවා
ඉවර නැත
කුඩා උඳුපියලිය
මොහොතක් පමාවෙන්
ඉර.

.
ප්‍රියය ,
මේ සැන්දෑ හෝරාවය
නිතර දැක නුපුරුදු
අමුතු සෙවනැළි මැවෙන
දැනහුන් එකිනෙකා
හඳුනා ගත නොහැකිවන
නාඳුණන අමුත්තන්
හඳුනන සේ හැඟෙන
නිමේෂයකින් පවා
අතරමං විය හැකිවන
ප්‍රියය ,
මේ සැන්දෑ හෝරාවය
අප දෙදෙන ප්‍රවේසම් විය යුතු.
පහන් දැල්වෙන තුරු
එකිනෙකා වැළඳගෙන සිටිය යුතු.
.
මේ සුළඟ
හමන හැටි සර සර ගගා නිතරම
කෙහෙල් අතු ඉර ඉර
හාදු දී මල් ගස් වලට
කොතනින් අවුත්
කොතැනට යනවාද නොදැන
වැස්ස මෙන්ම
ආනන්දයෙන් පුරවා
මගේ සිත
රහස් සිනාවක් රැගෙන
මුව මත තබන!

.
 රහසක් කියා ඇත ගඟ
අසල උන පඳුරකට
මියුරු හඬ මවන
බට නලාවක් වේයැයි නොදැන!
..
එක් අකල් වැසි දිනෙක
කාසයෙන් වැටුන හීනයකි
ඔබ
දුවිළි ටිකක් අවුස්සා
නිහඬ වුන.
.
ඉරිදා පාන්දර
සඳත් නිදියයි
වැඩිපුර.
හිරු ඇවිත් කූද්දා
හාදුවක් දෙයි
කොපුළට!
.
මුතු බෙල්ලෙකුට ඵල නැත
අහස කොඳුරන හඬ
දිය වැලක සිළි සිළියද
කවුරුන් කාට හාදු දුන්නේද යන වග .
කටු ඇනෙන ළය තුළ
සොඳුරු රහසක්
සදා සුරකිනවා මිස.
.
කමිසයේ තැවරුණු කඳුළු
වේලෙයි
පැය දෙක තුනක් ගියපසු.
.
සුදු රිබන් පටියක
දියමන්ති අල්ලා
නික්ම යයි
සැන්දෑව.
.
පෙණ බුබුළු නගා
බොරු ආඩම්බරකම්
නොපෙන්වයි
ලාබ බීර මෙන්
වයින් !
.
තරු පිපේ තවමත්
නියමිත තැන්වල
නියමිත පරිදිම .
සෙමෙන් මියයන හෙයින්
දීප්තිය මඳක් අඩුව.
එන්න! අපි තරු කියවමු
නියමිත තැනක හිඳ
නියමිත වෙලාවක.
.
අත්හළේ
එකම එක වරක් පමණය .
අහිමි වූයේ
සදාටමය!
.
.......ඉන්පසු........
ඉන්පසු
සියල්ල නිසළ වනු ඇත.
හිම මත තැබූ අඩි මෙන්
මැකී ගොස් අළුත්වනු ඇත.
නුපුරුදු නම් වලින්
අලුත් මල් පිපෙනු ඇත.
කනට ලංකර
සුළඟ කියනා විහිළු බසකට
අපට ආයෙත්
සිනායනු ඇත.
.
ප්‍රියය
මුදු බව සැබවි
සඳ එළිය මෙන් මාද .
එහෙත් නොගනිමි
කවුළුවල හැඩය
සඳ සේම.
.
සියළු සල්ලාලකම් කර
කුඩාවෙකු මෙන් නිදයි
කොස් ගසේ අතු අතර
සුළඟ !
.
කොතෙක් කාරණා දැන සිටියත්
නොරැඳෙන ගඟුලකට
ප්‍රේමයෙන් බැඳෙයි
එක වරක් හෝ
ගල් කුළත්!
.
තවමත්
අත් අල්ලා ඇවිදිති
පෙම්වතුන්
මල් පාර දිග.

රබර් කොළ වැටී
පහළටම ඇදී යයි
කළු ගඟත්
සමග.

මැටිණි දර්ශන පෙන්වයි
ජෝති ශාලාවේ
සුඛාන්තයක් ඇති
කථාවන් සහිත .

වෙලාවට හඬ තලයි
ඉපැරණි සීනුවම
පාසල ඇරෙනු
පිණිස .

ඈ අදත් ඇවිදින්
ගේට්ටුව ළඟ හිඳියි
ඔබේ පොඩි දියණිය
කැටුව යනු පිණිස.
.
සුළඟටත් වඩා සැහැල්ලුයි
කියා අප පෙම් බැන්දත්
සුමුදු මල් පෙත්තකට
බරයි සමනළ තටුවත්.
.
වාළුකා කතරක
අතරමංවූ මිනිසෙක්
කොතරම් දිලිසුනත් මිණක්
ජළ බිඳක් සේ අගය නොකරත්.

ඔබ අතුරා ගිය මල් ඇත තවම!

.
දම්පාට කඳු මත
ඔබ හෙමින් අතුරා ගිය
රිදී පැහැ මල් ඇත
ඔබේ පහසම අයදින .

සිඟිති දිය කඳුරක්
මුණු මුණු ගගා මුමුණන
ඔබ නැවත ඒදැයි
විටින් විට විමසන.

මළානික සඳ කිරණක්
මගේ කොපුලක් පිරිමැද
හිත හදා ගන්නයැයි
නෑහෙන හඬින් කොඳුරන ..
.
ප්‍රියය
නිමී ඇතැයි සිතු පෙමක් වුව
බුර බුරා දැල්විය හැක
නැතුව එක ගිනි පුපුරක් වුව
සන්හුන් බැල්මකට එක.
.
අඩි පාර නැවතින
මඳක් ඈතින්
රෝස යායට!
.
අඩ කවයක් අඳී
වවුලෙක්
රෑ බෝ වූ අහසක.
.
ගෙඹි අඳෝනාවක
ගිළෙයි
විල් දිය ගයන ගීතය.
.
නග්න පියොයුරු
ගිරි හිස
නික්ම යයි
මිහිදුම..
.
......බත ඉදෙන තුරු.....
එකම එක මොහොතක්
සියලු බර පොදි දමා ඉවතට
පෙම්වතුන් සේ තුරුළුව
මෘදු නැටුමකට අවසරද මට.

මඳක් හිස ඔසවා
දෙනෙත් දෙස බලා රහසෙම
මියගිය පෙම්වතා හා
සිනාසෙන්නට අවසරද මට.

හිමියනි කියන් මට
සුසානෙක වැළලුව වුව
ප්‍රේමයේ සොහොනක
මලක් පීදෙන්න ඉඩ නැතිද වග.
.
අද නොඑන හැඩ
කුඩා සුරඟන
පාට ගිය අත්තටු සමග .
සිත්තරා මා
පින්සලය අතින් ගත්
බිඳුණු හර්දය සහිත.
.
....වැස්ස පායලා....
ඉතිරිවුණ
මුතු ඇත
වත මත
තවම..
.
තදින් බිම හෙලුවත්
ආයෙ අහසට යන්න
කැමතියි
වැහි බිඳු වුනත් !
.
විළ කැළැඹින.
මිණි ඇතැයි සිතූ පත්ලෙහි
මඩ පෙනින.
.
කන්ද බැස යන'තුර
නතර වූ සියුමැළිය
කුමට වැළපෙනවාද
පහුරු ගෑ තැන් සිහිකර
අත්හැරුණු තැන් ඇත
වැටුණු බොරු වලවල් අස
ඉතිරි ටික දුර යෑමට
යලිත් අල්ලා ගනිමු අතිනත.

Sunday, September 23, 2012

.
ඉගිළ යන්නට
මොහොතකට පෙර
ලිහා යන්නෙමි
ඔබේ පා බැඳි
රැහැන් පට.
.
චිමිනිය මත
වැහි බිඳුව.
විඳීම සහ විඳවීම
එකවර.
...
එකල එතරම් වැසි තිබුනෙ නැත.
මල් කුඩයක් යට තුරුළුව
ඉඟවටා අත යවා ඇවිදින්න
මඟ බලා සිටිමුත්
එකල එතරම් වැසි තිබුනෙ නැත.

Saturday, September 15, 2012

.
මලුත් පිපී තියෙන්නැති
ගිනිගන්න පෙර
කඳුවල!
.
කුමටද තවත්
ලන්තෑරුම්
හිරු එතැයි
දැනුම් දුන් පසුව.
.
ඒත් අනේ
අදනම් උයන්න කම්මැලියි
අපි බැල්කනියට වෙලා
වැස්ස අහගෙන ඉමු
මියුරු රිද්මය විඳිමු.
උණු තේකක් හදාගෙන
මාරු කර කර බොමු.

වැස්ස නවතිනකොට

පින්සලක් අරගෙන
ආකහේ හැමතැනම
  සුදු පුළුන් ගුලි අඳිමු.
කෑම මේසේ උඩ
එක එක හැඩේට
රස රස කෑම අඳිමු.
අපි තවත් චුට්ටක්
වැස්ස අහගෙන ඉමු.

.
දූලි වැකි සොහොනක
උවමනාවෙන් බැලූ විට
යන්තමින් දිස්වෙයි
ස්පර්ශ කල අයෙකුගේ සටහන.
.
පෙම්වත,
ඔබ නික්මගිය
මුල් අවුරුද්ද
අවුරුදු ගානක් දිගයි
ඉන්පසු පැමිණි
සියලුම අවුරුදු
එන්න එන්නම කොටයි.
......රිදී ජුබිලිය.....
මේ කුඩා පාෂාණය
සියයක් ගඟුල් පසුකර
හැපී වැළපී රිදී තැන තැන
ඔපව මට්ටම්ව සිනිඳුව
සන්සුන්ව. 

හිමියනි අපේ සෙනෙහසද
නොරිදා , නොදුවා , සමබරව .
රළු නැතුව
සිනිඳුව  මටසිළිටිව .
නොසන්සුන්ව.
.
පෙම්වත..,
ප්‍රවේසම් කර තියාගමු
ලියන්නට බැරිවුන
සියලු පෙම් ලිපි
අපට.

අප නැවත හමුවෙනු ඇත
ඉස්පිරිතාල පෝලිම්වල
සුදු කෙස් කළු කරන සැලුන්වල
මොන්ටිසෝරි ඇරෙන වෙලාවල්වල
නිතර .

කාලය තිබෙනු නිසැකය
රහස් අකුරින් ලියූ
ඒ සියලු පෙම් ලිපි
දෙතුන් වර කියවන්න
එවිට.

Monday, July 16, 2012


......ලියුමකි.....
මකුළු මහතාණෙනි
ඔබ වියූ දැල් ඉතා යහපති.
තව තවත් පැටලෙන්න හිත ඇති.
එහෙත් මොහොතකින්
ගැලවෙන්නද හැකි.
මගේ උපදෙස් පිළිගෙන
මට උදව් කරනවා ඇති.
සතියක් හමාරක්
පැටලී පැටලී ඉනු කැමති
සවිමත් දැලක්
වියා එව මැනවි.
.
ගිරා පෝතකය
කන් කරච්චලයකි
විටෙක නුඹ මට
මා කියනතෙක් බලා හිඳ
එවදන්  එලෙසම දොඩන.
අර බලන්
කවුඩු තෙම
නොසරුප් බස් වුව
හිතු මනාපෙට කියවන.

Tuesday, July 10, 2012

.

අවසන් මල් පෙත්ත
ඒ නිසයි
මුවා කලේ සුළඟ
අතැඟිලි වලින් වුව.
.
මාය සමනළ
මල් උයනක් මැද
නිරාහාරව මියගිය.
උයන කෙලවර
කිරිගරුඬ රුවකට
පෙම්කල.

Sunday, July 08, 2012

.
මල් ඇත
තවම පර නොවුණු
දවස අවසන
ඉවත යා යුතු.

Saturday, July 07, 2012

.
එතැන් සිට
සියළු දෙයම වෙනස් විය.
පහුරුගාගෙන පහුරුගාගෙන ගොස්
කීරි ගැහෙන පපුතුරේ
නුඹ පිපුණි දේදුන්නක් ලෙස.
සැබෑ අයිතිකරු විත්
ඇඟිල්ල දිගුකර ආකහේට
අතුරුදහන් කරවන්ට
ස්වල්ප මොහොතකට පෙර.

Wednesday, July 04, 2012

.
නාඳුනන
කෙස් ගසකි
කබා කර මත.
හෙට උදෙත්
බත් බඳිමි
පුරුදු වූ ලෙස.

Sunday, July 01, 2012

..
රාධා
ගල්කුළ උණුසුම්ය
නුඹ වැතිර හුන් තැන
මොහොතකට පෙර
තවම.
උණුසුමෙන්
නිමෙමි.

ක්‍රිෂ්ණා
තෙත්බරය වස්දඬුව
නුඹ දෙතොල් තැබූ තැන
මොහොතකට පෙර
තවම.
සිහිලසින්
දැවෙමි.

Saturday, June 30, 2012

.
කඩදාසි
මිනිසෙක්මි මම
ගිණි ගොඩක්
මුර කරණු සිදුවුන.
.
......මිය නොගිය......
මැනවින් අලවා ඇත
හිසකෙය
සුදු කෙස් නොපෙනෙන්න
දක්ෂ ලෙස.
අමතර මාංශය නොපෙනෙයි
අගේ ඇති ඇඳුමකි
ගානට මිම්මට.
වයස අසු නොවෙන සේ
පින්තාරු කර ඇත
මුහුණ කට හා ඇසද.
හදවත ගෙන එන්න ගොසිනි
කෙනෙක්
ජයරත්න මල් ශාලාවට.

Wednesday, June 27, 2012

.
.....නම නොදත් සමනළ.....
විශ්ව කෝෂයක
නම ඇති.
එහෙත් මුදු පහස
මට ඇති.

Sunday, June 24, 2012

.
සුළඟ පොල් අතු මෑත් කර නොදී
ගෙට එනු බැරිය සඳ එලියට.

Saturday, June 23, 2012

.
වැහි දෙකක් අතරතුර
හිරුරැස් නාන
කවුඩන්!

Friday, June 22, 2012

.
ඇවිදින තුවාළයක්.
වැඩට යන
පාර මාරුවෙන
බත් බෙදා මේසයට තියන
'මේ ඇඳුම ලස්සනදැ'යි අසන
කිසිදු කැළලක් නොපෙනෙන
ඉඳහිට රාත්‍රියක
වේදනාවෙන් ඇදුම්කන!

Thursday, June 21, 2012

.
රොටි හතරක් ඇති හොඳටම
තනි අපි දෙන්නට.
ලුණුමිරිසක් විතරක් මදෑ
සීනි ඩිංගක් වුනත් ඇති මට.

Monday, June 18, 2012

.
ලෝකයම පාට කල හෙයින්
දෙවියන්ට පාට මදිවිය.
එහෙයින්ම එතුමා අවර්ණය.
දැනෙනවා පමණි.
නොපෙනේ!



මම මියගිය අයෙක්මි.
පිට මැද නියපොතු පහරවල් සමග.
ඇහැරගෙන සිටින
කන බොන
රමණයේ යෙදෙන
මරණයෙහිද නුඹවම සොයන
මම මිය ගිය අයෙක්මි
පිට මැද නියපොතු පහරවල් සමග....
.
කියන් පියාපත!
බිම වැටෙන වාරයක් වාරයක් ගානේ
නුඹටත් මට මෙන්ම රිදෙනවද?

Sunday, June 17, 2012

.
පාළු ගොම්මන
ළදැල්ලක් සැලෙන හඬ.
 නින්ද ගිය හාන්සි පුටුව
ඉස්තෝප්පුවක කෙලවර.
.
හිමියනි....,
හති හලන සැන්දෑව
තවත් දැඩි වෙන්න පෙර
හෙමි හෙමින් පිය නගා
පෝටිකෝවට එන්න.
අවසාන රැස් දහර
තව වරක් දැකගන්න.
පිළින දී නොමැත හිරු
හෙට උදේ පායන්න!

Saturday, June 16, 2012

.
හැකරල්ලන් පවා
පඩි ගත්තු දවසට
සපත්තු ගන්න යනු ඇත.
.
මලෙක නම්
සුවඳක් තිබිය හැක.
මලෙක සෙවනැල්ලක
කෙසේනම් වෙද සුසුවඳ!
.
කිරිල්ලක්
බලකර ආපසු ඉල්ලයි
ණයට ඉල්ලාගත්
ඇගේ මෘදුම පියාපත!