Sunday, August 07, 2011

ස්තුති කරමි
බොහෝ තත් සිඳුනද
පෙරමෙන් හොවා ළයමත
සුසර කරමින් අවසාන තත
ඉතිරිවූ ප්‍රේමය සුරකින
ඔබේ මුදු දෑතට!
ලොකු ගෙයක්
කුඩා මේසයක්
වියපත් යුවළක්
රස විඳිති උණු බතක්.

පිඟන් රාක්කය මත
පිඟානක් ඇත තවත්
වසර ගණනක සිට
බත් කන්න නාවත්!
අලියන්ටත් සිහින ඇත
හෙන්ඩුව අහලක නැතිවිට
පුංචි ඇස් වලට පෙනෙන.
කුහුඹුවන්ගේ සිහින මෙන්ම
අහිංසක!
.
භාවනායෝගීව නුඹ
ගං ඉවුර මත
නිහඬය ගඟද ගහකොළද මසුන්ද
ඔබේ හඬ අසනු රිසිව!

Monday, August 01, 2011

නැවතුනොත්
නවතිනවද?

Friday, July 29, 2011

අපේ අල්ලපු ගෙදර
නිතරම සාද පැවැත්වෙන
නෑ මිතුරන් නිතර යන එන
පොඩි උනුත් දුව පැන ඇවිදින
බැදුම් සුවඳ කටට කෙල උනවන
හිනා හඬවල් හරිම සද්දෙට
ඕවා මහ බොරු වැඩ!
මට බෑ
සරත්චන්ද්‍ර කියන විදියට
වැද්දට කඩුව දෙන්න.
මං දෙන්නෙ
රාමට!

Wednesday, July 27, 2011

දෙවියන් අතරද
සිටිය හැක ඉඳහිට
මනුස්සකම් ඇති අය
බෙහෙතකට ගන්නට!
අපි මුලින්ම
හෙණ්ඩුවක් ගත්තා.
කවදාහරි දවසක
අලියෙක් ගන්නකන්!
ප්‍රියය
නින්ද නොඑයි.
මටසිළිටි ඇතිරිලිය
සුවඳ පැන් ඉස ඇත
ඔබ හිස තැබූ තැන
ලකුණකි වළගැසුණු .

ප්‍රියය
නින්ද නො එයි.
සඳ පහන මායාකාරීය.
මඳ නළද සීතය
ඔබ වැතිර හුන් තැන
සුවඳකි පිරිමි.

ප්‍රියය
නින්ද නො එයි.
ඉක්කා ගසයි වවුලෙක්
සර සර හඬකි අතු පතර.
ඔබ ස්පර්ශ කල තැන්හි
රිදුමකි මිහිරි.

ප්‍රියය
නින්ද නොඑයි.
දොරක් වැසෙන හඬ ඇසෙයි
පියවර හඬක් වියැකෙයි
යලි හෙට දිනක් ඇත්දැයි
නොසිතා හිඳිමි.


ප්‍රියය
නින්ද නො එයි!!!!
.
අනවසරයෙන් ගෙට පනින
උතුරු දිග සිහිලැල් සුළඟ
නිරතුරුව මතක් කරදෙයි
මගේ දෑසේ පටු බව.

දුර ඈත කොදෙව්වල
හමු නොවූ මිතුරන්ද
නොගිය මං මාවත්ද
තව බොහෝ ඇති බව.

පහන් දැල්වෙන නිවෙස් තුළ
නවකතාවල චරිත ඇති බව
පල්ලිවල පන්සල්වල
ඝණ්ඨාර නද දෙන බව

මෙතෙක් පෙම් නොකළ පෙම්වතුන්
මඟ බලා සිටිනා බව
මෙතෙක් පා නොතැබූ කඳුවල
වර්ණවත් මල් පිපෙන බව

උඩු සුළඟට හසුව
සියොතුන් පාව යන බව
මගේ ජීවිතය බැඳගත්
මුදුන් මුල් තිබෙනා බව

අනවසර උතුරු සුළඟ
මතක් කර දෙයි නිතරම!!!!

Thursday, July 21, 2011

....ඒ දෙදෙන .....
ඇය සිතා සිටියාය
සියල්ල සතුටින් කෙලවර වෙතැයි.
ඔහු කියා දුන්නේය
එය එසේ නොවෙතැයි!
මම
සියලු වීදිවල පහන් දල්වමි.
ඇය
නිවසේ පහන දල්වනු ඇති!
අද නඩු දිනයය.
පැමිණිලිකරුත්
විත්තිකරුත්
විනිශ්චයකරුත්
මා වෙන!

....පොරොන්දු.....
ගොඩවෙන්න පළමුව
ඔබ හා ඈ සිටින ඔරුවට
පිළින දිය යුතුය ඔබ
සමබර බව රකින බව .

බැරිවෙලාවත් හෙම
සිදුවුවහොත් ගිලෙන්නට
පළමුව කර තබාගන්නේ
මා බව සපථ කල මැන.

ගිරි කුලක් නගින විට
පා ලිස්සා යන විටෙක
පළමුව අත හරින්නේ
ඈ සුරත බවකිව යුතුය මට!

Monday, July 18, 2011

........තොටියා......
සියල්ලන් එතෙර කළ පසු
තුමූම එතෙර විය යුතු!

Sunday, July 17, 2011


මේ මල් පොකුර
ඔබ මට දුන් දේවල්වලට.
මේ මල් වට්ටිය
ඔබ මට දෙන දේවල්වලට.
මේ මල් වත්ත
කවදාවත් නොදෙන දේවල්වලට!!!
ජීවිතේ
දිගයි මෙන් පෙනෙන
කොටයි මෙන් දැනෙන!..

Saturday, July 16, 2011

.

ඉදින්...,
අප ඇවිද යමු
සමතලා පහත් බිම්වල
කඳු නගින විට දැනුන තෘප්තිය
එකිනෙකාහට මතක් කර කර!..
දිය පහර
තිබිය යුතු තැන තබා නැත.
මල් පඳුර
පිපිය යුතු ලෙස පිපී නැත!

සොඳුරිය...,
බත් පත බෙදන විට
මඳක් වැඩියෙන්
ආදරය බෙදන්න.

හිමියනි...,
මා උයා ඇත්තේ
ගෙදර එනවිට
ඔබ ගෙනා දේවල් පමණි!
......ටෝකියෝ මතක....
හිම කබා පොරෝගත් සුදුම සුදු අහසක්
රතුපාට බල්බ් දැමු ඇපල් වතු යායක්
විදුලි දුම්රියක් තුල ගෙවුන පැය ගානක්
දෑත මත නතරවුණ අනවසර දෑතක්!

Thursday, July 14, 2011


හිස් කළගෙඩි
කොයිතරම් නම් සතුටින්ද
ඉහිරෙයි කියා
කිසි බයක් නැතිවිට !
*****
රත්නපුර පෙරහැරෙන්
සොරකම් කලෙමි
මහබඹාගේ මුහුණු දෙක.
හිනැහෙන එක
ලෝකෙට.
අඬන එක
ගෙදරට!

Sunday, April 03, 2011

.
පුතේ නුඹ තරහද
පොඩි කාලෙ ටොකු ඇන්නට
ඉක්මනින් ලොකු වෙන බව
දැනන් උන්නේ නෑ මම.

බත් එපා කිව්වම
ගුලි හද හදා කැව්වට
ළඟක හිටියානම් අද
එපා දේවල්
දෙන්නෙ නෑ මම.

කරුවල වෙලාවක
ගේට්ටුවෙ හඬ ඇහුණම
අම්මෙ මං ආවා
කියන හඬ ඇහෙනවා වැනි මට.

එදා නොදුන්න දේවල්
හුඟක් ඇත ඔබට දෙන්නට
එහෙත් මම දන්නෙමි
දැන් කිසිත් ඉල්ලන්නෙ නැති බව!

Saturday, April 02, 2011

.
අපි හැම සනීපෙන්
අසනීප බවක් දැනුනට
දැන් ඒක පුරුදුයි.

පොඩි එවුන් දැන් ලොකුයි
ඒත් තව දුරටත්
ඉගෙන ගන්න කැමතිලු.

මාත් ඔහෙ ඉන්නවා
වියගහේ බැඳ ඇති
හරකෙක්ගෙ ගානයි.

වසන්තය ඇවිත් යනවා
සිසිරය නවතිනවා
හිතම හිරිවැටෙනවා.

මං ආයෙ එනවා
හිරිවැටුණු හිත අරන්
ඔබේ දෑතේ තියනවා!

තාලයක් මුමුනනවා
හිස උරහිසේ හොවනවා
නිහඬව ලඟටවී
අතින් අල්ලන් ඉන්නවා!

Saturday, March 19, 2011

...ගේෂා ...
ප්‍රගුණ කර ඇත
හඬන අන්දම
කඳුළු නොමැතිව.

තවරලා ඇත

ඝනට වත්සුණු
හැඟුම් යටකර.

නියම කර ඇත

රැවටෙනා ලෙස
ඔබට හා මට!

Thursday, March 17, 2011

ඉතින් ...,
අන්තිමට මොකද වුනේ?

අපි ඇවිදගෙන ගියා
ගොළුවෝ වගේ.
ඉර වැටුනා "ජබොක්" ගාලා
මුහුදට.
මම ඇඬුවා.
එයා ලේන්සුව දුන්නා.
මල් මහපු ලේන්සුවක්
මගේ නෙමෙයි.
හීනි සුවඳකුත් එක්ක.
මගේ නෙමෙයි.
ඉතිං...,
මට තේරුනා
එයත් මගේ නෙමෙයි!

Monday, March 14, 2011

ඇතුගල යට
අපි දෙන්නා
තවම ඉන්නවා
බැරි වෙලා වැටෙන
හීන අහුලන්න!
හැන්දෑවේ පහට
දොරවල් ඇරන්
එලියට බහී
රස්සාවල්!

Saturday, March 12, 2011

ඔබේ ලොකු අත
තවම රස්නෙද
කියා ලිපියක්
එවනවද මට?

මගේ කෙහෙරැළි
නොගෑවෙන ලෙස
ඔබේ උරහිස්
උස ගිහිල්ලද?

හිනා වෙනකොට
දකුණු කම්මුල
වල ගැහෙනවට
ඈත් කැමතිද?

Friday, March 11, 2011

දෙවිවරුනි
කල් ඇතුව
පහන් එළි
දල්වන්න.
හිල් හැදුණු
අහස මත
තරු ලෙසින්
බබළන්න!

Tuesday, March 08, 2011


නොකියන්
සීතාව යයි.
නොපළඳන්
පතිවතේ කිරුළ.
මාද ගැහැණියකි.
වෙනස නම්
සිත දුබල වූ විට
වරම් නොලදිමි.
වරම් ලද හැමවිට
සිත ප්‍රබලවිනි!

Saturday, March 05, 2011

කහ මල් ගහේ තාමත් මල් පිපෙනවද
උඳුපියලිය කන්ට සාවුන් එබෙනවද
මල් ගහ යට බංකුව තවම තියෙනවද
අපි නැති උනත් වෙන දෙන්නෙක් ඉන්නවද
...
රන් මුදු ලූ අතින් බත රස කෙරෙනවද
සුදු මුදු සේල පහසින් හිත සැලෙනවද
පැටි මඳහසින් මැදුරේ අඳුර මැකෙනවද
ඉඳ හිටකවත් මා ගැන සිහි කරනවද

හිනාවක් හුළඟ අතවත් එවනවද
කඳුලක් එවන්නට මග තොට කියනවද
සුසුමක් වෙලා කම්මුල් මත රැඳෙනවද
දවසක් ඇවිත් මං ළඟ නිදි වරනවද????

Wednesday, March 02, 2011

මිනිසුන්ට
මෙච්චෙර ගමන් තියේද යන්න
විවිධාකාර ඇඳුම් ඇඳගෙන,
කාර් වල, බස් වල, පයින් .
...බලන්න..
උන් සිනාසෙන අන්දම
පවුල් පිටින් කොහේ යනවද?

අපි වගේ
වේලාසන ගෙදර ඇවිත්
ක්ෂණික හොද්දක් හදල
එක දිගට ...
පුටුවෙ නින්ද යනකන්
රුපවාහිනිය බලන් නැතුව
හිනාවෙවී පවුල් පිටින්
කොහෙ යනවද?

කතා කරල කරලම
සියලුම දෙබස් ඉවරවුන
නිහඬ චිත්‍රපටියක වගේ
පුරුද්දට හැම දේම
මුනෙන් මුණ බලාගෙන.
අනේ! මන්දා මේ මිනිස්සු
කොහෙ යනවද
ගෙදර ඉන්නෙ නැතුව?

Tuesday, March 01, 2011

තරහ ගොස්
වවුලන්ට
පියරු සේදුන බැවින්
වැස්සට.

හිනා යයි
ගෙම්බන්ට
සාදයක් ඇති බැවින්
ළඟ ළඟම.

වැඩ වැඩියි
කුඹින්ට
ඔරු පාරු නැති හෙයින්
ගොඩවෙන්ට.

කම්මැලියි
කපුටන්ට
තෙමුණ ගහ කොළ අතර
නිදියන්ට!

Saturday, February 26, 2011

හුදකලා බස්සෙක්
නිදි කිරයි සීරුවට
කොස් ගහේ කෙළවර

සුදු කමිස ඇඳගත්
දෙවිවරුන් පොත් බලති
වලාකුළු යහන් මත.

හදිසියේ අවදිව
වතුර ඉල්ලා හඬති
ගෙඹි ළමයි රොත්තම.

යුග ගණන් මතකය
නින්ද පලවා හැර
මා තවම අවදිව!
එකටම මහළු වෙන්නට
ගිවිස ගත් අප දෙදෙන
දෙතැනකට වී අද
තනි තනිව මහළුවෙන.

දන්නා කියන ඇළ දොළ
කලාතුරකින් ඇස් හැර
ඔබ කොහේ වෙත්දැයි
රහසේම විමසන.

කිසිවකුත් නොදන්න
මා සමග යන තැනැත්තෙක්
ගිවිසගෙන නොසිටියද
මාත් එක්කම මහළු වෙන!

Sunday, February 20, 2011

පෙම්වත...,
අපි ආයේ හමුවෙයි
සැකක් නෑ.
ඒත් දැන් ඉන්න ඔබ නෙමෙයි.
..මේ ඉන්න මා නොවෙයි.
බර පොදි වල බරින්
ස්වල්පයක් බිමට නැමුණු
වෙන දෙන්නෙක්.
මලුත් පිපෙයි
කුරුල්ලොත් හඬයි
ඒත් වෙනස් විදියට.
පිටවී ගියපසු නැවැත්වූ තැනින්
යලි එනු නොහැක සුපුරුදු නමින්.
එහෙයින්...පෙම්වත
ඇස් වසා හිඳින්න
ජීවිතේ
ඇත්ත නොපෙනෙන ලෙස!

Wednesday, February 16, 2011

තරුණ කල
දම්වැලෙන් බැඳගෙන
දුකසෙ රැකගත්තෙමිය
කාලය.
දැන් ඉතින්
කෙවිටකින් තල තල
එලෙව්වත් යන නොයන
ගානය!

Friday, February 11, 2011

කන්ද....
ගස් වලට වඩා උස්.
කන්ද මුදුනෙ ගස්
කන්දට වඩා උස්!

Tuesday, February 08, 2011

ලොවේ කොයි තැනක හරි
හුදකලා ගසක් යට
මගේ නම ලියා ඇති
කුඩා කළු ගලක් ඇත.
...
පෙරලලා බැලුවහොත්
මංජුසාවක දමා
සුරක්ෂා කරන ලද
පැරණි හදවතක් ඇත!

Saturday, February 05, 2011

හිතුමතේ ගොඩ ගලන හුළඟට
අත වනා රෑ දවල් නැතුවම
වෙහෙසිලා ගස් කොළන් සේරම
හිසනමා සැරසේය නින්දට!
පිටුපා සිටියෙමි
සත්‍යයට.
මටත් නොකියා
පිටුපසින් විත්
මුහුණ ළඟටම!

Wednesday, February 02, 2011

ඔබ කැමති ජීවිතය......
පින්සල් පාර නොපෙනෙන්න
මටසිලිටි ලෙස පින්තාරු කල
නිවැරදි වර්ණ සංකලන යොදා
රිදී රාමුවක කොටුකල සිතුවම

මම ආස විදිහ.....
එහෙන් මෙහෙන් පාටකල
වැරදි තැන් මකා සකස් කල
තව තවත් වැරදෙන්න ඉඩ තියෙන
රාමුවෙන් ගැලවූ කළු සුදු සිතුවම!
...සොයමි...
නොදැන
දිගුකල හෙයින්
ඇඟිල්ල
අකාලේ මැකීගිය
දේදුන්න!

Friday, January 28, 2011

ආලය...,
කාලය නොගෙවා
ලද ඇසිල්ලෙම
යහමින් සොඳින්
අනුභව කල යුතුය
පිළුණුවිය හැකි බැවින් විගස!

Thursday, January 27, 2011

කාලය.....,
උගුරින් උගුර
බිඳෙන් බිඳ
තලු මරමින්
රස විඳිය යුතුයි.
ආ මොහොත
යළි නොඑන හෙයින්!

Wednesday, January 26, 2011

පාගන්න එපා
තණ බිස්ස
රිදෙයි
උඳුපියලි මල් වලට!

Tuesday, January 25, 2011

දියෙහි පාවෙන
මෘදු තණපත්
මසුන් සේ ගෙන
භාවනාවක
කොකෙක්!

Saturday, January 22, 2011

මා ප්‍රියය......!
වෙහෙසය මට
ඔබට මෙන්ම.
තව දුර යනු නොහැක.

ගිලිහුනේ කෙලෙසකද
කොයි ලෙසද නොදනිමි
පැමිණි මග අප දෑත බැඳගෙන .

මල්පෙති සිපගෙන
කවි කියූ යුගය අවසන්ය
කටු ඇනී රිදුම් දෙයි දෙතොලම.

යා යුතුය තවත් දුර.
හමුවේද නොවේවිද නොදැනම.
රැයවල්ද දහවල්ද පසුකර.

හාදුවක් තියා යමි
කවුළුවේ වීදුරුව මතුපිට
දෙතොල රඳවනු පිණිස
එතැනම !

Friday, January 21, 2011

.
අන්තිමට
අපි ඉඳන් උන්නු තැන
ටොපි කොළ දෙකක්
තැලුණු තණකොළ තීරුවක්
තුනී විලවුන් සුවඳක්
ගල් ගැහුණු කඳුලක් !

Wednesday, January 19, 2011

මමය නැව්තොට
බොහෝ නැව් නොනවත්වන
නැවත්වුව නොරැඳෙන
රැඳුනද නැංගරුම් නොලන.

ඔබ රැඳි නෞකාව
පෙනෙන නොපෙනෙන මානයේ
නැංගරුම් ලා
නිරතුරුව සිත රිදවන!

Sunday, January 16, 2011

...කුඩා තේ බඳුන...
බඳුන බිඳි කල
බඳුන නැත.
තේ ඇත.
පොළොවෙහි ගැළුවද
කඩමල්ලකට ඉරුවද
තේ ඇත.බඳුන නැත.
මනස හා සිරුර මෙනි.
(SMALL BUDDHA චිත්‍ර පටියෙන් ඇහිඳ ගතිමි.)

යුරේකා! යුරේකා!
සොයා ගත්තා
අඳුරේ වේගය
ඔබ- මා- හැර- ගිය- දින!

Saturday, January 15, 2011

මං තවම ඉන්නවා
පාළු ගුරු පාරවල
නොගැඹුරු දිය කඩිතිවල
නමක් නැති කඳුවල
නිමක් නැති දෙනිවල
අග මුලක් නැති පොත්වල
තේරුමක් නැති ගීවල
කාලය රවට රවටා
මං තවම ඉන්නවා.
එකම එක මොහොතක්
ආපහු හැරෙන තුරු ඔබ
මං බලා ඉන්නවා.
හඳුනන එකම බැල්මක්
ම'දෙස හෙළනා තුරු
ශෝකයෙන් ඉන්නවා!

Friday, January 14, 2011

ගිලිහෙන්න ලං ළංවූ
මලක් වුව
සිහිල් සුළඟකට
දොර වසනු නැත!

Wednesday, January 12, 2011

ආදරේ මේ තරම්
ගැඹුරු බව දැනුණිනම්
ආදරේ නොකරන්ට තිබුණා.

ජීවිතේ මේ තරම්
විසල් බව පෙනුණිනම්
ජීවිතෙන් සමුගන්ට තිබුණා.

සිනාවේ ඔය හැටිම
හිස් බවක් දැනුණිනම්
කඳුළු හෙළමින් ඉන්ට තිබුණා.

ආයෙමත් අප දෙදෙන
හමුවෙතැයි සිතුණිනම්
අතීතෙම නවතින්ට තිබුණා!
සරස්වතියටත්
පත්තිනි දේවියටත්
එක යහනෙ
සැතපීම අපහසුය!

Sunday, January 09, 2011

සත්‍යය.....,
බිම දම දමා පාගන
වෙල්ලාවෙ දමා සෝදන
කුරුසයේ ගසා වධ දෙන
එහෙත්....
හිස ඔසවාන නැගිටින!

මල'සුන තබා පුදදෙන
විසිතුරු වර්ණ ගල්වන
මනහර වස්ත්‍ර අන්දන
එවිට....
හිස නමාගෙන හිනැහෙන!

Thursday, January 06, 2011

සඳක්..,
කැටපතෙන්
සඳක් නරඹයි
සඳක් යට!

Friday, December 31, 2010

නිව්ටන්ට වැරදීමක් වී ඇත.
සමාන බර වස්තු වුව
ඇද වැටෙන වේගය
වෙනස්ය!

Monday, December 20, 2010

අතීත කතා වලට
පිළිතුරු නැත.
ප්‍රශ්නාර්ථ සහ විශ්මයාර්ථ මිස!
සඳ එයි.
ඇවිත් යයි.
ඉන්පසුව කළුවරයි.
හරියටම
ඔබ වගෙයි!.

Friday, December 17, 2010

කුඩා ඉදිකටුව
සියලු ඇඳුම් මසාදෙයි
තමා නිරුවතින් බව
නොදැනම!

Thursday, December 16, 2010

කුඩා වුව
හිඩැස
විශාලය
අඩුව!

Wednesday, December 15, 2010

මැළවුණ කඳුවල
හෙලුවැලි ගහ කොළ
තුරුලට ගන්නට
කළුවර එනකොට

තනිවුණ කිරලෙක්
වැලපෙන දුක් හඬ
යළි යළි නංවයි
කඳුලැලි නෙතගට.

Sunday, December 12, 2010

මැරුණු උන් වීරයෝය
ඉපිද නැති උන් සූරයෝය
ඉන්න උන් මාරයෝය!

Friday, December 10, 2010

..මධු සාද..
අශ්වයින් සේ අරඹා
බූරුවන් සේ හැසිරී
ඌරන්සේ නිමා කරයි!

Tuesday, December 07, 2010

බඳුන් දනී
උවමනා තරම් පිරෙන්නට.
ජලය නොදනී
අපතේ නොයා රැකෙන්නට!

Monday, December 06, 2010

...සිතුවමක් අඳිමි මම...
කොළපාට ගොයම් ගස්
පසුබිමට
සුදුපාට කොක් රෑන.
දම්පාට කඳුයාය
ඉහළින්ම
කහපාට හඳ පළුව.
කිරිපාට දොළ පාරෙ
ඝනසැරට
රතුපාට මල් යාය.
හිනැහෙන්න අණ ලැබූ
මගෙ මුනෙ
අඳුරු පැහැ හිස් දෑස.

Sunday, December 05, 2010

ලාවුලු ගහේ පොරකන
වවුලන් අදත් ඇවිදින්
ලාවට සුවඳ අරගෙන
මී මල් හිනාවෙයි දැන්
උර මත හිස හොවාගෙන
පීදෙන සඳට බණිමින්
එනවද ඉගිලෙන්න මා හා
නිදිබර කන්ද ඉහළින්!

Saturday, December 04, 2010

මුදුන් මුල ගැලෙව්වත්
සියලු දේ ඉවර නැත
ඉතුරුවූ කේශ මුල්
යලිත් පන දෙවනු ඇත!

Thursday, December 02, 2010

හස්තියෙකුගේ දෙපා
පැළඳ ගත් ගෙම්බෙකුට
හැකිවේය රවටන්න
ටික කලක් ලෝකයම.

අඩි කෝදුවක් රැගෙන
එරී ඇති තරම මැන
නිගමනය කල හැකිය
හස්තියෙක් නොවන බව.

Sunday, November 21, 2010

වයින් වැනි ප්‍රේමය
පරණවෙන තරමටම
පැසෙන !

Monday, November 15, 2010

බැරෑරුම්ව සිතුවාට
ජීවිතයෙ මහ දෙයක් නැත.
සෙවනැළි ටිකක් හා
ආළෝකය ටිකකි!

Sunday, November 14, 2010

ඔරු පාරු හා විසල් නැව් යති
ලකුණු නොසිටිති.
මඳ සුළං සැඩ සුළං ඉගිළෙති
කැළැල් නොසිටිති.
වලාකුළු හිරු සඳුද බැසයති
මතක නොසිටිති.
බොහෝ කලකින් නුදුටු දෑසක්
සිතේ ඇමිනෙති!

Saturday, November 13, 2010

මං එක දිගටම
ලොකුවුනා..ලොකුවුනා .ලොකුවුනා.
අනේ එක දවසක
හිතුවෙවත් නැති මොහොතක
මං ආයෙමත්
පොඩිවුනා!

වියලී ගිය පිණි බිඳුව
කොහි ගියෙද?
මෙතනත් නැත
අතනත් නැත!

Thursday, November 11, 2010

එම්බාම් කරුවකුගෙන්
ඉගෙන ගත යුතුව ඇත
මැරුණත් හිනාවීගෙන
සතුටින් ඉන්න අන්දම...!

Tuesday, November 09, 2010

....නව සොයා ගැනීමක්...


විසල් රික්තයකි
මා තුල.
අධික පීඩනයෙන්
පිරුණු!

දැනගනිල්ලා
පවිත්‍ර කරන්නෙනි.....!
නුඹලාය ඉක්මනින්
අපවිත්‍රවිය හැකි.

Sunday, November 07, 2010

ගුගුරයි අහස.
තණපතක් යට
මැඩියෙක්
භාවනාවක !

අකීකරු සුළඟ
අවුස්සා මතක
ඇහැරවා සිහින
පැනගියා දුරක....!

Saturday, November 06, 2010

..
හිම පියළි
තට්ටු කරයි කව්ළුවට.
ඇතුලත
ගිනිමැලයකි උණුහුම්!

Thursday, November 04, 2010

මහ වැසි
ගසාගෙන යයි
ශේෂ නොකරම.

මඳ වැසි
කැළලි සාදයි
ධූළි තිර මත!
මඩ පාට වතුරෙ
කිරි පාට හඳක් !

Wednesday, October 27, 2010

ආදරේ නිවුන් සොහොයුරිය
රාගය.....
අන්ධකාරයේ දුටුවිට
හඳුනාගැන්ම අමාරුය.
නිතරම හදවතේ
පහන් දල්වා තබනු!

පමාවී පැළවුන
රෝස අත්තක
මලක් පිපෙන්නට
කලක් නැතිවිය.

Tuesday, October 26, 2010

....වෙන්ව යන ප්‍රියයාට ....
සෙමෙන් අඩි තබනු මැන
නොතැළෙන සේ
විසුළ මල් පෙති!

සිහිනත් අරන්
මං එනවිට
ඔබට
ඇහැරිලා...!

Sunday, October 24, 2010

ශූන්‍යත්වයට
මඳක් එපිටින්
පරිපූර්ණත්වය ඇති හෙයින්
නිතර ඒ දෙක
පටලැවෙයි!
අලුතින් සොයාගනු ලැබූ
සියලු දේ
පරණ දේවල්මය.
කිසිවෙකු ඇස නොගැටුනු
කිසිවෙකුත් ගණන් නොගත්ත !

Saturday, October 23, 2010

මසාදෙන්නට තිබුණි
ඔබෙ ඉරුණු හදවත
සන්නාලියක්ව සිටියානම්...
පිරිසිදු කල හැකිව තිබුණි
ඔබ කිලිටි හදවත
සෝදන්නියක්ව සිටියානම්...
පුරුද්දන්නට තිබුණි
කැඩී බිඳී ගිය හදවත
වෙදැදුරියක්ව සිටියානම්...
කියවා දෙන්ට තිබුණි
අකුරු මැකුණු හදවත
ආදරය දැන සිටියානම්...!

Friday, October 22, 2010

පුදුමයි....,
කාලය හරියටම දන්නා හැටි
කුමන කලට
කුමන ඇඳුම
සැපයිය යුතුද යනබව...!

Tuesday, October 12, 2010

වැර වෑයමින්
සුළං පුම්බති
කුඩා සිදුරක්
ඇතැයි නොදැනම
ජීවිතේ!

අඳුරු පැහැති
විසල් මසුන්
ලෙහෙසියෙන් හසු නොවෙති.
රිදී පැහැති
කුඩා මසුන්
පහසුවෙන් ගොදුරුවෙති.
බඩගිනි පිළිහුඩුවන්ට!

Wednesday, October 06, 2010

....මැකීයාම..

මට ප්‍රථම පැමිණිවුන්
තබා ඇති අඩි මතම
මම මගේ පා ලකුණු පිහිටුවමි.
උදෑසන ඔබ පැමිණ
ඒ මතින් අළුත් රූ
ලකුණු කරනා බවද
දැන හිඳිමි!

Tuesday, October 05, 2010

තෙල් සිඳී
තිරය දැවුණවිට
පහන නිමෙයි.
නමුත්
නොදැවෙයි!

Monday, October 04, 2010

ගිලන් ඇඳ..

සුදු බිත්ති
මෘදු හිරු රැස්
නිහඬ පාළුව
අලස සුළං....

මැනිය හැක
කිරිය හැක
දැකිය හැක
අවුල් හැරගත හැක.

පසු කල දේ
පසු කරන දේ
පසු විය යුතු දේ
සියල්ල අවර්ණය.

නිහඩ බව ඝෝෂාවකි
නිසල බව චලනයකි
සැබෑ දේ මායාවකි
පිරුණු දේ හිස් බවකි!

Sunday, October 03, 2010

හිසරදයද හොඳයි
මාරු කළහැකි
කොට්ට ඇත්නම්!