Friday, February 21, 2014

ඊටත් තට්ට තනියම!!

.
"ඔයා හිටියේ මෙතනමද?
එදා ඉඳන්...අවුරුදු බර ගානක්.
මං එනකල් බලාගෙන
නෑවිදින් ඉඳීද කියලත් හිත හිත
ඔයා මෙතනම හිටියද?"

'මං හිටියා මෙතන
හුඟක් කල්
ඉස්සි ඉස්සී මග බල බල.
නෑවිදින් ඉන්නකොට අඬ අඬ.
මැරෙන්නත් හිතුනා වෙලාවකට.
දහිරිය තිබුන් නෑ ඒකට .
ඊට පස්සේ තීරණේ කළා මම
ඇවිදින්න...ඉස්සරහට.
පස්සට නෙමෙයි.ඉස්සරහට.
එහෙම යනකොට යනකොට
හම්බවුනා එයාව.
..මොකට අඬනවද
..එන්න යන්න මාත් එක්ක.
එයා කිව්වා එහෙම.
මේ එයාගේ මුණුපුරා.
දැන් තුනේ පන්තියේ.
ඉතින් ඔයා කොහොමද?
ටිකක් වයස පාටයි.
ගැළපෙන්  නෑ ෂර්ට් එක කලිසමට.
ඇයි අනේ මේ රබර් සෙරෙප්පු?
මොකද මේ පස්සෙන් පස්සට ඇවිදින්නේ?
ඊටත්
ට්

නි
ම?

Thursday, February 13, 2014

තවමත්!





තට්ට තනියම
කට්ට කාගෙන 
හඬා වැළපී 
මෙහෙම උන්නත් 
අතින් අල්ලන් ඉන්න බව ඔබ
මට නිතරෝම දැනෙනවා 
මං හැමෝටම කියනවා.

දවසක හමුවෙමු!





ඔබ ආපසු එතොත් 
මග සොයාගනු පිණිස 
තැන තැන තබා ආ 
සැමරුම් ටිකක් ඇත. 
ඝණඳුරෙන් වැසී ඇතිමුත් 
ඉතා නිශ්ශබ්ද ඉසව්වක 
මා වෙසෙන කුඩා පැල්පතෙහි 
කවුළුවක අගුළ බිඳී ඇත.

Saturday, February 08, 2014

ඉංග්‍රීසි සිහින

                                 Michael__Inessa_Garmash
.

.....ඉංග්‍රීසි සිහින.....

එළිමහනේ දුඹුරු තේ බොන 

බූල් බල්ලන් පසුබිමේ දුවපණින 

කැන් කැන් සහිත සායවල් අඳින

ඉංග්‍රීසි නෝනාවරුන් ඇත චිත්‍රපටිවල.

කබා ඇඳගත් මහත්වරුන් එන 

දන නමා අත මඳක් සිප ගන්න

බැදපු තාරා මස් සමග පාන් කන 

අහෝ මටත් එවැන්නන් වෙන්ට සිතෙන.

අශ්ව කරත්තයක කිරි කිරි හඬකි

රන්වන් හිසකේ සහිත උස් සිහින් තරුණයෙකි 

කෝ මගේ උඩ කබාය හිස් වැස්ම දෙනු මැනවි 

(ඇවිත් බත් උයන්නම් එතෙක් ඉවසනු මැනවි).

ඔබ හා මා!

                                             Justyna Kopania,...    

ගඟ ගලා යා යුතුය 
සඳ ඒදැයි නොඒදැයි
මග බලා නොඉඳම .

Friday, February 07, 2014

කළු,සුදු හා දුඹුරුද


Carlos Queiroz__Brasil_
.
ඔබ ලියූ බොහෝ දෑතර 
මා ගැන ලියු යමක් වෙත්දැයි 
අග සිට මුලට බලනතර 
හමුවිය විවිධ ගැහැනුන්.
කළු,සුදු හා දුඹුරුද 
උස්,කෙට්ටු හා මිටිද 
මෙහෙකාරියන්,සිල්වන්තියන් හා වෙසඟනන්ද 
පොත් පිටු පුරා සිටියහ.
මා කොහිද?මා කොහිද?
මා එතරම්ම කුදුද?
එතරම්ම සිත් නොගන්නා සුළුද?
නොබැඳිනිද ප්‍රේමයෙන් කිසිදිනෙක.
රාගයෙන් බැඳිනිද අන් කතුන් සමග.
"සොඳුරිය 
නුඹ මා විමසුවා මිස 
මා කියවා නැත.
නුඹ මා නැරඹුවා මිස 
මා දැක නැත.
උල් සැතක් ගෙන 
සිදුරු කරනු මැන මා ලය.
හමුවෙයි එවිට 
ඔබ ගැන ලියූ දෑ සැම ."

Thursday, February 06, 2014

.....සින්ඩරෙල්ලා....


.

.....සින්ඩරෙල්ලා....
පොඩිඋන් දෙන්නෙකුත් අරගෙන 
නැටුම්හල වෙත නොයයි 
දැන් ඇය .
කුමාරයාට මොන තහංචිද 
නොවැරදී නැටුමට යයි 
සෙනසුරාදට ,ඉරිදට.

Wednesday, February 05, 2014

.
....චිත්‍ර පාඩම.....
පෙම්වත 
අපි මුලින්ම 
ඇඟිලි දෙකක් අඳිමු.
කාලයක් ගිහින් 
හිතුනොත් 
මුදු දෙකක් අඳිමු.

Tuesday, February 04, 2014


.


ගිම්හාන අහස
වීසිකළ
වලාකුල් ලේන්සුව
හුන්නස්ගිරි පතනයක
පැතිර
.
.


අතනින් මෙතනින් 


පින්තාරුකළ 


ගහ කොළ රූ ඇති 


කැන්වසයකි 


වැස්ස.

.
අකුරු කොච්චර කලත් 



ඉලක්කම් නේද 



අන්තිමේ වැදගත්!

.
ආ බව හඟවන 

එකක් හා 

ගිය බව හඟවන 

එකක් යනුවෙන් 

පා සලකුණු දෙකකි 

ජීවිතය.

.
කෙකටියා මල් නිතර 
ගඟ ගැනම සිතුවාට 

මුහුදකට වැටුන ගඟ 

සිතයි මුහුදක් සේම.

අත්ලක පහස!!!

.

දිගු පාද තබමින් 
නික්ම යන කල කාළය 
වියළෙනු නොහැකිවෙද 
විළක් මුහුදක් තරම් ආලය.

කුඩා කවුළුව තුලින් 
සඳත් නික්මෙන මැදියම 
අමතක කරනු හැකිවෙයි 
මෘදු අත්ලක පහසද. 

ලය මත වැතිර හුන්
කෙහෙ කැරැල්ලක සුසුවඳ
තවත් නොදැනෙනු ඇත
අඩක් මියගිය හෙයින් හදවත. 

ඉදිරියට ඇවිද යන
දහසකුත් දන මගහැර
පසුපසට ඇවිද යන්නට
ඉතින් නැත මට දහිරිය.
.
මඳින් මඳ 
ක්ෂීණවුණු 
පාද ජාලයක 
මතකය
අඟලෙන් අඟල 
කිඳා බසින 
කිනිස්සක 
මුවහත.

පුරාණ පොසිලයක්!!!



Sergey Samsonov_

මියගියේ යැයි විසිකළ 
පැරණි ප්‍රේමෙක පොසිලෙක
තිබිය හැක බිජුවට කීපයක්
සුදුසු පොළොවක පැළවෙන. 

නොදන්නා නුවරක වුව 
සිටිනු හැක එක් යුවතියක්
වෙනත් නමකින් පිපෙන මල් වුව
තමන්ගේ මෙන් සුරකින. 

රාත්‍රිය නිදිගත් කල
නිහඬවම විත් කනට කොඳුරමි
අතර මගකින් පටන් ගත්තත්
ජීවිතය ඉමිහිරි බව.

.
දිගු වලිගයක් ඇති 
අහස් මකරෙක් 
රන් තැටියට 
මඳක් පහළින් .

.

ඇස් හීනි යුවතිය 

බලාගෙන
වැස්සට සේදෙයි

ඇස් වටා ඇඳි අංජන!

.

ගිමන් නිමනා
රෑ අහස යට

අතරමංවූ

කදෝපැණි මම.

නොනැවතී

විහිදුවත් එළිවැට

වගක්වත් නැත

තාරුකාහට.

.

සඳලුතලයක 

සුළං සීණුව ගී ගයයි.

සුළං රැල්ලක් 

කටින් පිඹ සඳරැස් නිමයි.

ගෙඹි කැලක් 

අනුරාගයේ ගීතය ගයයි 

ලොවම නිදියයි 

ඔබත් නිදි වරතැයි සිතෙයි.

.

නාඬන් කියා කිව්වත් 

උළලේනි අඬනවා තවම

සිහිවෙලා කපු ව.

රන්බන්ඩේ කිව්ව ලෙස

මදටිය ඇට වැටෙනවා ඇළට

කළතමින් පපුව.

ගානක් නෑ වගේ

හිනාවීගෙන හිටියත්

හඳටත් ඇඬෙනවා එවිට.

.
හුඟක් මල් 
බිම වැටී 
පෑගෙනායුරු දැකත් 
තවත් මල් 
බොහෝ වෙති 
හිත හදාගනු සමත්.

.
හරියටම හත්දොහේ දානෙට 
එක දවසකට කලියෙන් 
කවුරුත් නැති වෙලාවක 
ඔබ ඇවිත් හිටියා තනියෙන්.

සුදු කමිසයට කළු කලිසමක් 
මගුල් ගේක යන විදියට 
කෝට් එකක්,ටයි පටියක්.
හිනා යන තරමට පවුඩර් වැඩිව.

"ඔයාට හුඟක් පාළුද?
පුතත් ඉතිං යාවි නේද?
නිවාඩු නැතුවැති 
අපේ රටේ වගේ නෙමේනේ.

මාත් ඉතින් යන්න කියලා 
හෙට හවසට බණෙන් පසුව.
ඇවිද ඇවිද ඉඳලා ඇතිවෙලා 
කවද උන්නත් යන්න එපැයි .

මං කිව්වනේ ඔයාට 
ඩ්‍රයිවින් ඉගෙන ගන්න කියලා 
කෝ ඇහුවයැ,හිනාවුණා මිස 
හැමදාම ඉඳියි කියලා හිතුවද මම.

තාමත් මං ආසයි 
ඔයාගේ නිල් පාට ගවුමට
රැළි රැළි අත් දාපු 
දණට අඟලක් ඉහළින් නැවතුනු.

බැල්කනියට ඉහළින් 
හැමදාමත් හඳ පායයි 
එක හාන්සි පුටුවක් 
දැන් ඕනි නැති ගානයි.

අපි ආයේ දවසක හමුවෙයිද 
කහ ඉර පනිනකොට පාරෙදි 
පොළේදි ,පන්සලේදි,උයනෙදි 
කවදාවත් හමුවෙන්නෙ නැතිවෙයිද?

හමුවුනත් අඳුනාගනීද 
අඳුනාගත්තත් පෙම්කරයිද 
පෙම්කරත් විවාහවෙයිද 
මේ වගෙම ආයේ වෙන්වෙයිද?"

.
පියානෝ ගහන මානවක 
අතැඟිලි රතුවීදැයි 
බලන්නට 
කෙනෙක්වෙද 
හවසට?